brand logo
logo
විදුලි ගාස්තු සංශෝධනය ජනන සැලස්මකට

විදුලි ගාස්තු සංශෝධනය ජනන සැලස්මකට

10 October 2026 | සාලිය කුමාර ගුණසේකර

 කාලගුණික පුරෝකථන අනුව මේ වසරේ සිව්වැනි කාර්තුවේදී (ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්) ජල විදුලි බලාගාරවලින් විදුලිය නිපදවීමට සැලසුම්කර තිබෙන බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම සඳහන් කරයි.


ජල විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේදී වියදම ශත දශම ගණනක් වූවත්, තාප විදුලිගාරයකින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රුපියල් 55 ත් 60 ත් අතර මුදලක් වැයවන බවද එම සමාගම පවසයි.


විදුලි බල අය ක්‍රමය වසරකට සිව් වතාවක් වෙනස් වන බවත්, එය කාර්තු වශයෙන් සිදුවන බවත් එම සමාගම පවසන්නේය.


ඒ අනුව, මේ වසරේ සිව්වැනි කාර්තුව වන ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර්ය සඳහා ජනන සැලැස්මක් ඉදිරිපත් කරන බවත්, එම සැලැස්ම අනුව සිව්වන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව තීරණය කෙරෙන බවද අදාළ සමාගම සඳහන් කරයි.


මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාලගුණික පුරෝකථන භාවිත කෙරෙන බවත්, මෙහිදී අඩු වියදමක් සහිත ජල විදුලි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කෙරෙන බවත් එම සමාගම පවසයි.


මේ වසරේ සිව්වැනි කාර්තුවට අදාළව ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය සැලසුම් කර තිබෙන බවත්, ඒ නිසා එම කාලය තුළදී තාප විදුලි බලාගාරවල අවශ්‍යතාවක් බලාපොරොත්තු නොවන බවත් එම සමාගම කියයි.

ලබන වසරේ (2027) ජනවාරි සිට මාර්තු දක්වා වූ පළමු කාර්තුවේදී වියළි කාලගුණික තත්ත්වයක් තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙන බැවින් විදුලි ඉල්ලුමද ඉහළ යන බව සමාගම පවසයි. ඊට පෙර සූදානමක් ලෙස මේ වසරේ සිව්වැනි කාර්තුවේදී ජල විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 1,200 ක් පමණ වසර අගවනවිට ගබඩා කර ගැනීමට බලාපොරොත්තු වන බවද සමාගම කියයි.

දිට්වා තත්ත්වයත් සමග ඉකුත් වසරේ (2025) දෙසැම්බර් මාසයේදී ගබඩා කරගැනීමට හැකිවූයේ ගිගාවොට් පැය 1,133 ක් බවත්, නමුත්, මෙවර දෙසැම්බර් වන විටදී ජල විදුලි බලය ගිගාවොට් පැය 1,200 ක් පමණ ගබඩා කිරීමට සමාගම කළමනාකරණය කර තිබේ.


බැටරි ගබඩා පද්ධති මගින් මේ වසර අග වනවිටදී මෙගා වොට් 160 විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතුකර ගැනීමට නියමිත අතර, ලබන වසරේ පළමු කාර්තුවේදී එය මෙගා වොට් 250 ක් දක්වාද, ලබන වසර අගදී මෙගාවොට් 410 ක් දක්වාද ඉහළ නංවා ගැනීමට නියමිතය. මේ නිසා ඉදිරියේදී සැලසුම් සහගත විදුලි කප්පාදුවකට යාමට අවශ්‍ය නොවන බවද එම සමාගම පවසන්නේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘35 වැනි මෝසම් කතිකාවතේදී’ එම සමාගම මේ බව සඳහන්කරන ලදි.

 

More News..