brand logo
logo
ජනපතිවරණයට නොදෙවැනි කතරගම නිලවරණය

ජනපතිවරණයට නොදෙවැනි කතරගම නිලවරණය

10 August 2025 | අනීෂා මානගේ


විධායක ජනාධිපති පුටුවට පමණක් දෙවැනි වන මහ බලසම්පන්න පුටු දෙකක් මේ බිමේ ඇත්තේය. විධායක ජනපතිට පමණක් දෙවැනි වන යනුවෙන් කීවද ඇතැම් විට එම පුටු දෙක විධායක ජනපති පුටුවට වඩා බලසම්පන්න වන අවස්ථාද නැතුවාම නොවේ. ජනපති, අගමැති, මැති ඇමැතිවරුන් ඇතුළු ලොකු ලොකු තනතුරු තානාන්තර දරන කොයි කවුරුත් සිය ධුරයේ දිවුරුම් දී මුලින්ම දුවන්නේ මේ පුටු දෙක ඇති බිම වෙතය. එකක් දළදා මාලිගාවය. අනෙක කතරගම දේවාලයය. දළදා මාලිගාවේ භාරකාරයා දියවඩන නිලමේය. කතරගම දේවාලයේ භාරකාරයා බස්නායක නිලමේය. මේ නිලමේ පුටු දෙකම තව දෙතුන් මසකින් හිස් වන්නේය. එහි අරුත ජනපතිවරණයට නොදෙවැනි ඡන්ද සටනක් ළඟ ළඟට එන බවය.


කතරගම දේවාලයේද ඈත අතීතයේ පටන් බස්නායක නිලමේවරයෙක් පත්කර සිටියේය. වත්මනෙහි ඒ තනතුර දරන්නේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ය. ඩිෂාන්ගේ ධුර කාලය එළැඹෙන සැප්තැම්බර් විසිවැනිදා අවසන් වීමට නියමිතව ඇත්තේය. එහෙයින් කතරගම කන්දසාමි දෙවියන්ගේ වාස භවනේ භාරකාර උන්නැහේගේ පුටුව තවත් ටික දොහකින් හිස්වීමට නියමිතව ඇත්තේය. මේ දිනවල බස්නායක නිලමේ පුටුව සක්‍ර දෙවියන්ගේ පඩුපුල් ආසනයටත් වඩා උණුසුම් වී ඇත්තේ ඒ නිසාය.


මෑත කාලයේ වැඩිපුර රත් වූ බස්නායක නිලමේ පුටුව ගැන පමණක් නොවේ කතරගම දේවාලයේ තනතුරු තානාන්තර ගැන රටේ උදවියට කතා කරන්නට කලින් කලට අලුත් මාතෘකා කරළියට එන්නේය. මුහුණු සයක් ඇස් දොළහක් ඇති කන්දසාමි දෙවියන්ටත් විසඳිය නොහැකි ප්‍රශ්න ගොන්නක් උන්වහන්සේගේ නියෝජිත උන්නැහේලා පසුගිය කාලයේ උන්වහන්සේ හමුවට ගෙනාවෝය. ප්‍රශ්නවලින් හෙම්බත් වූ උන්නාන්සේට ඒවාට පිළියම් නැතිවිය. අවසානයේ මේ ප්‍රශ්න විසඳුණේ නඩුකාර උන්නාන්සේ ළඟට ගොසිනි.


කෙසේ නමුදු දැන් යළිදු වාරයක් කතරගම දේවාලය පැත්තේ කස පුපුරන්නේ බස්නායක නිලවරණය ළඟ ළඟම එන බව කියාපාන්නටය. බස්නායක නිලවරණයක් පවත්වන්නේ අවුරුදු පහකට වාරයකි. ඒ කියන්නේ තෝරා පත්කරගත් බස්නායක නිලමේවරයකුට දූෂණ චෝදනාවක් නොමැති නම් අවුරුදු පහක් එම තනතුරේ රාජකාරි කරන්නට පුළුවන. වසර පහක් අවසානයේ බස්නායක නිලවරණයක් පවත්වා අලුත් බස්නායක නිලමේ කෙනෙක් හෝ පැරණි බස්නායක නිලමේවරයාටම තවත් අවුරුදු පහක කාලයක් බස්නායක පුටුවේ රාජකාරි කරන්නට අවස්ථාව උදා වෙන්නේය.


බෞද්ධ විහාර දේවාලගම් පනතට අනුව බස්නායක නිලමේ තනතුරක පුරප්පාඩුවක් ඇති වූ විට ඒ පුරප්පාඩුව ඇති වී මාස තුනක් ඇතුළත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් නිලවරණයක් පැවැත්විය යුතු වන්නේය. පුරප්පාඩුව ඇත්තේ උඩරට පළාතක පිහිටි දේවාලයක නම් දේවාලය පිහිටි දිස්ත්‍රික්කයේ රටේ මහත්වරුන්, කෝරාළවරුන් හා ප්‍රාදේශීය ආදායම් නිලධාරිවරුන් සහභාගී විය යුතුවන්නේය.


වෙනත් ප්‍රදේශයක පිහිටි දේවාලයක නම් එම දිස්ත්‍රික්කයේ එවකට ප්‍රාදේශීය ආදායම් නිලධාරි ධුරයක් දරන තැනැත්තන්, ගම්මුලාදෑනිවරුන් සහ විදානආරච්චිවරුන් සහභාගි විය යුතුවන්නේය. දේවාලය පිහිටි පරිපාලන දිස්ත්‍රික්කය තුළ පිහිටි දේවාලවල බස්නායක නිලමේවරුන් ද නිලවරණයට එක්විය යුතුය. මහනුවර දිස්ත්‍රික්කයේ නම් දියවඩන නිලමේද එක්විය යුතුය. එමතු නොවේ, දේවාලය පිහිටි ප්‍රාදේශීය ආදායම් නිලධාරි කොට්ඨාසය තුළ පිහිටි සියලුම විහාරවල භික්ෂූන්වහන්සේ නොවන භාරකරුවන්ද නිලවරණයට යා යුතුය.


කෙසේ නමුදු බෞද්ධ හා දේවාලගම් පනත සංශෝධනයට 2016 වසරේ ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ සඳහන් වන්නේ දේවාලය පිහිටි දිස්ත්‍රික්කයේ පරිපාලන ලේකම් ධුරය දරන සියලු තැනැත්තන් මෙන්ම උඩරට පළාතේ දේවාලයක් නොවන විට එම දේවාලය පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සියලු විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ද රැස්වීමට කැඳවිය යුතු බවය.


මේ රැස්වීමේ මූලාසනය ගන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ය. පුරප්පාඩු වී ඇති නිලයට තෝරාපත් කරගැනීමට එක් අයකුගේ නමක් පමණක් යෝජනා වී ඇත්නම් එය අනුමත කර ඇත්නම් ඔහු බස්නායක නිලයට පත්වූ බව ප්‍රකාශ කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ය. යම් හෙයකින් එක් අයකුට වඩා එක් අයකුට වැඩි දෙනකුගේ නම් යෝජනා කර ඒවා අනුමත වී ඇත්නම් එම ඡන්ද ගණන් කර වැඩි ඡන්ද ගණනක් හිමි පුද්ගලයා ගැන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේය. සමාන ඡන්ද ගණනක් හිමිවූයේ නම් දෙවැනි වාරයටත් ඡන්දය පවත්වන්නේය. එතැනදී ඡන්දය දිය යුතුවන්නේ වැඩි ඡන්ද ගණනක් සමානව ගත් දෙදෙනා අතර පමණය. යම් හෙයකින් දෙවැනි වාරයේදීත් සමාන ඡන්ද හිමිවූයේ නම් ඊළඟට කරන්නේ කුසපත් ඇදීමකි.


කුසපත් ඇදීමෙන් තෝරාපත් කරගන්නා බස්නායක නිලමේ එම තනතුරට පත්වූ බව ප්‍රකාශ කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ය. බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රකාශ කළ පමණින් බස්නායක නිලමේවරයා පත්වන්නේ නැත. යම් කෙනෙක් බස්නායක නිලයට පත්වූයේ යැයි ප්‍රකාශ කළ තැන සිට මාසයක් ඇතුළත පත්වීම පිළිගත් බවට ලියවිල්ලක්ද දියයුතු වන්නේය. මේ ක්‍රියාවලිය ගැන බෞද්ධ හා දේවාලගම් පනතේ සඳහන්ව ඇත්තේය.


කතරගම බස්නායක නිලමේ තෝරාගන්නා නිලවරණය රටේ ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පත්කරගන්නා මැතිවරණයට සමාන කළ නොහැක. ඒ මන්ද යත් සාමාන්‍ය පුරවැසියන්ට සිය ඡන්දය භාවිත කරන්නට මේ නිලවරණයේදී නොහැකි නිසාය. ඡන්දය පාවිච්චි කළ හැකි වන්නේ තෝරාගත් දාහත් දෙනකුට පමණි. ඒ අතර කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පාර්ශ්වයද සහභාගි වෙන්නේය. බස්නායක නිලවරණයේදී ඡන්දය භාවිත කළ හැකි අය ගැන කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ මෙසේ කීහ.


“කතරගම කිරිවෙහෙර, කතරගම වැඩිහිටිකන්ද, කතරගම අභිනවාරාමය, මහදේවාලය, සෙල්ලකතරගම මහසෙන් රාජමහා විහාරය, කොටබෝව දේවාලය සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු එකොළොස්දෙනාගේ ඡන්දය බස්නායක නිලමේ පත්කිරීමේ නිලවරණයේදී භාවිත කරනවා. මේ අය එකතුවෙලා ඡන්දය දීලා බස්නායක නිලමේ කෙනෙක් පත්කරගන්නවා. ඉතිහාසයේ සිටම වෙලා තියෙන දේ තමයි කිරිවෙහෙර විහාරස්ථානයේ යෝජනාවෙන් අභිනවාරාමයේ ස්ථිරත්වයෙන් කෙනෙක් පත්කර ගැනීමයි.....”


බස්නායක නිලමේ තෝරාපත් කරගැනීමේ නිලවරණයේ තවත් එක් සුවිශේෂි කාරණාවක් ඇත්තේය. ඒ, කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි වීමය. විහාරස්ථානයන්හි ස්වාමීන්වහන්සේ හැරුණු කොට මේ නිලවරණයේදී ඡන්දය භාවිත කළ හැකි අය වේ නම් ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්ය. මොනරාගල දිස්ත්‍රිකයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකොළහේ ප්‍රාදේශීය ලේකම් ධුරය දරන කාන්තාවන් සිටින්නේ නම් ඔවුනට මේ නිලවරණයේදී ඡන්දය දිය නොහැකි ය. එය සම්ප්‍රදායක් ලෙස පැවත එන්නකි. කෙසේ නමුදු මෙවර නිලවරණයේදී නම් ඒ ගැටලුව මතුවන්නේ නැත. මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මහ පුටුවේ නෝනලා නැති නිසාය.


බස්නායක නිලවරණයට ඉදිරිපත් වීමේදී සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක් ද ඇත්තේය. එනම් රජයෙන් වැටුපක් ගන්නා අයකු නොවීමය. අනෙක් කාරණය වන්නේ නීතියෙන් වැරැදිකරුවෙක් නොවී සිටීමය. එමෙන්ම වයස අවුරුදු හැත්තෑවට අඩු අයෙකු විය යුතු වන්නේය. බෞද්ධ විහාර දේවාලගම් පනතට අනුව දේශපාලනඥයන්ටද බස්නායක නිලමේ තනතුරට ඉල්ලුම් කළ නොහැකිය. මේ නීතිය ගෙනාවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයකු වූ නෙරංජන් විජයරත්නගේ කාලයේදීය. ඒ එක්දහස් නවසිය අනූව වසරේදී ය.


“මේ කාලයේ මැති ඇමැතිවරු දිගින් දිගටම බස්නායක නිලමේ තනතුරට පත්වෙන්න පටන් ගත්තා. එය වෙනස් කරන්න වුවමනා නිසා මගේත් මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව පාර්ලිමේන්තු සහ පළාත් පාලන සභිකයන්ට දේවාල භාරකරුවන් විදියට ඉල්ලුම් කරන්න බැහැ කියල කොන්දේසියක් පනතට ඇතුළත් කළා... මගේ තාත්තා වුණ නිශ්ශංක විජයරත්න දියවඩන නිලමේ වෙනකොට දේශපාලනය කළේ නැහැ. ඔහු දියවඩන නිලමේ තනතුරට පත්වුණේ 1975 වසරේදීයි. දේශපාලනයට ආවේ ඊට පසුවයි.... ” හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න කියන්නේය. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අධිකරණ, අධ්‍යාපන ඇමැතිකම් දැරූ නිශ්ශංක විජේරත්න දේශපාලනයට එන්නට පෙර සිවිල් සේවකයෙකි.


කෙසේ නමුදු වසර ගණනාවක් තිස්සේ පැවැති මේ නීතිය දෙදහස් හයේදී බිඳ වැටුණේය. ඒ කතරගම දේවාලයේ බස්නායක නිලමේ හැටියට ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පත්වීමත් සමගය. බස්නායක නිලමේ තනතුරට දේශපාලනඥයන්ට ඉල්ලුම් කළ නොහැකි බවට වූ කොන්දේසිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බෞද්ධ විහාර සහ දේවාලගම් පනතෙන් ඉවත් කළ බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසන්නේ ය. ශෂීන්ද්‍ර රාජපක්ෂට කතරගම බස්නායක තනතුරට ඉල්ලුම් කරන්නට මඟ පෑදී ඇත්තේ ඒ නිසාය. 2006 වසරේ සිට 2015 දක්වා බස්නායක නිලමේ තනතුරේ ඔහු රාජකාරි කළේය. බස්නායක නිලමේ තනතුරට දේශපාලනඥයන්ට ඉල්ලුම් කළ නොහැකි බවට වූ කොන්දේසිය පනතට ඇතුළත් කෙරුණේ ආණ්ඩු පෙරළියත් සමගය. කෙසේ නමුදු මෙවර කතරගම බස්නායක නිලමේ තනතුරට දස දෙනෙක් ඉල්ලුම් කළ බව කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ පැවසූහ.


“බස්නායක නිලමේ හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. මේ වෙද්දි දහ දෙනෙක් වගේ ඉල්ලුම් කරල ඉන්නවා. ඒ අතුරින් කිහිපදෙනෙක් ඇවිත් අපිත් එක්ක කතා කළා. අවසානයේ අහවලා තමයි යෝජනා කරන්නේ කියන එක ගැන තවම තීරණය කරල නැහැ. සුදුසුකම් බලලායි එය තීරණය කරන්නේ. මට නම් දැනට කවුරුවත් බලපෑම් කරන්න ආවෙ නැහැ. බලපෑම් කළත් අපි ඒවාට යටත් වෙන්නෙ නැහැ. කතරගම කියන්නේ දළදා මාලිගාවට පමණක් දෙවැනි වුණ තැනක්. නිවැරැදි, සුදුසු කෙනෙක් පත් කරගන්න අපිට ලොකු වගකීමක් තියෙනවා...... ”


කොබවක ධම්මින්ද නාහිමි පවසන්නේ බස්නායක නිලමේ තෝරා පත්කරගන්නා නිලවරණය දශක තුන හතරක සිට පැවැත එන්නක් බවය. ඊට ඉහතදී සෑම අවස්ථාවකම බස්නායක නිලමේ තෝරා පත්වී ඇත්තේ නිතරගයෙනි. බස්නායක නිලවරණය සඳහා කිහිප දෙනෙක් ඉල්ලුම් කළද නිලවරණය පවත්වන දිනයේදී බොහෝ විට සහභාගී වන්නේ එක් අයෙක් පමණි. දෙදහස් පහළොවේදී ද දහනව දෙනෙකු ඉල්ලුම් කළද නිලවරණය දා පැමිණ ඇත්තේ එක් අයෙක් පමණි. එවන් අවස්ථාවලදී ඡන්දයක් පවත්වා නිලමේ තෝරාගැනීමට වුවමනාවක් නැත්තේය. බස්නායක නිලමේ තනතුරට ඉල්ලුම් කළත් නිලවරණය දා ඉල්ලුම්කරුවන් නොපැමිණීමට හේතුව වන්නේ තමන්ගේ නම යෝජනා කිරීමට කිසිවෙකුත් නොමැති බව කල්තියා දැනගැනීමය.


තමන්ගේ නම බස්නායක නිලවරණයට යෝජනා කරන්නට කිසිවෙකුත් නොමැති විත්තිය දැනගෙනම නිලවරණයට ආ අයෙක් අතීතයේ සිටියේය. ඒ, දෙදාහ වසරේ බස්නායක නිලවරණයටය. රුහුණේ උපන් අයකු වුවද ඔහු පැමිණ තිබුණේ කොළඹ සිටය. ඔහු සාමවිනිසුරු ජයසේන දහනායක ය. බස්නායක නිලවරණයට ආවද ඔහුගේ නම යෝජනා කරන්නට එදා කිසිවෙකුත් සිටියේ නැත. අපේක්ෂකයකු හැටියට නම යෝජනා කෙරුණේ නිලංග දෑල බණ්ඩාරගේ නම ය. ඔහු වර්තමානයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ය. කෙසේ වෙතත් එදා බස්නායක නිලවරණයට එක්වුණු දහනායක සැබෑවටම පැමිණ තිබුණේ බස්නායක නිලවරණයට නොවේ “බස්නාහිර” නිලවරණයටය. බස්නායක හා බස්නාහිර යන වචන දෙක පැටලී තිබුණේ ඔහුට නොවේ. බස්නායක නිලවරණය ගැන පුවත්පතක තිබූ දැන්වීමකටය. “බස්නාහිර නිලමේවරුන් තෝරා පත්කරගැනීම” ලෙස පුවත්පත් දැන්වීමේ ශීර්ෂපාඨ යොදා තිබුණේය.


කෙසේ නමුදු මෙවර බස්නායක නිලවරණයට ඉල්ලුම් කර ඇත්තේ කවුදැයි කියන්නට තවමත් රහසක් ය. අවසන් වරට කතරගම බස්නායක නිලමේ ධුරය දැරූ ඩිෂාන් ගුණසේකරගෙන් අපි විමසුවේ යළිදු වාරයක් බස්නායක නිලමේ තනතුරට ඉල්ලුම් කරනවාද යන්න ගැනය. ඔහු කතරගම දේවාලයට ලැබෙන පුද පඬුරුවලින් රට්ටුන්ට දැනෙන සේවයක් කළ අයෙක් කීවොත් වැරැදි නැත.


“තවත් කල් තියෙනවානේ. නිලවරණයට ඉදිරිපත් වෙනවාද කියල තවම හිතුවේ නැහැ. හැමදාම මේ තනතුරුවල ඉන්නත් හොඳ නැහැ. මම දෙයි හාමුදුරුවන් වෙනුවෙන් පින් දහම් කළා. මගේ පෞද්ගලික මතය නම් දැන් ඇති කියන එකයි. රජයේ ප්‍රතිපත්ති තීන්දු මොනවාද කියන දේ ගැනත් අපි හිතන්න ඕන. මම මගේ ශක්ති ප්‍රමාණයෙන් අවුරුදු පහක්ම කළා. තව පහක් ඉඳලා ඒ අවුරුදු පහත් හොඳට කළාම තවත් පහක් ඉන්න කියලා මිනිස්සු කිව්වොත්. ඒ නිසා බොහොම ගෞරවාන්විතව වෙන කෙනෙකුට භාර දීලා එයාට උදව් කරගෙන ඉන්න මම කැමැතියි. හැබැයි මම කාටවත් එන්න උදව් කරන්නේවත් කකුලෙන් අදින්නේවත් නැහැ...” බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කියන්නේය.


කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ පවසන්නේ අලුතින් පත්වන බස්නායක නිලමේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර අවසන් කළ තැනින් යළි රාජකාරි ඇරඹිය හැකි, අභියෝග භාරගත හැකි කෙනෙක් මීළඟ බස්නායක නිලමේ ලෙස පත්විය යුතු බවය.


“ඩිෂාන් ගුණසේකර මහත්තයා ඇත්තටම හොඳ කෙනෙක්. අපිත් එක්ක සුහදශීලිව වැඩ කළා. නිලමෙවරුන්ගේ ඉතිහාසයේ සෑහෙන්න වැඩ කොටසක් කළ කෙනෙක්. පූජා භූමිය පැත්තෙන් ගත්තත් සමාජය පැත්තෙන් ගත්තත් ලොකු වැඩක් කළ කෙනෙක්. ඊළඟට පත්වෙන කෙනාටත් අපි කියන්නේ මේ වගේ මහා අභියෝගයක් තියෙනවා. එතුමාත් මේවර යළි නිලමේ තනතුරට ඉල්ලුම් කරනවා කියලා ආරංචියක් තියෙනවා. එතුමා ආවොත් ගැටලුවක් වෙන්නෙ නැහැ. කරපු වැඩ ටික ඒ විදියටම කරගෙන යන්න පුළුවන්. අලුත් කෙනෙක් ආවොත් ඩිෂාන් ගුණසේකර මහත්තයා නතර කළ තැනින් පටන් ගන්න වෙනවා. එය ලොකු අභියෝගයක්. හැබැයි අපි යෝජනා කරන්නෙ කවුද කියලා තවම තීරණයට ඇවිත් නැහැ.” කොබවක ධම්මින්ද නාහිමියෝ පැවසූහ.

 

More News..