මීගමු හිරගෙදර සිද්ධියට වගකිවයුතු කවුරුන්ද?
08 July 2026
මීගමු හිරගෙදර සිද්ධියට වගකිවයුතු කවුරුන්ද?
08 July 2026
ඉකුත් ඉරිදා හා සඳුදා මීගමු බන්ධනාගාරයේදී සිදුවූ දෑ දැන් අපේ රටේ පොඩි ළමයි පවා දනිති. එය බන්ධනාගාර ඉතිහාසයේ හටගැනුණු ලොකුම කැරැල්ල නොවේ නම් ලොකුම කැරලිවලින් එකකි. මත්ද්‍රව්‍ය කරණ කොට රැඳවියන් දෙපිරිසක් අතර ඇරඹුණේ යැයි කියන ගැටුම අවසාන වූයේ රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව ගැසූ කැරැල්ලකිනි. බන්ධනාගාර නිලධාරීන් හත්දෙනකු හා රැඳවියන් විසිදෙනකුගේ මරණද දෙපැත්තේම සියයට අධික පිරිසක් රෝහල්ගත කිරීමද අඟහරුවාදා මේ ලියද්දී වාර්තාගත තත්ත්වයයි.
දැනට වාර්තාගත තත්ත්වය යයි අප කියන්නේ නිකමට නොවේ. ඊළඟට සිදුවන්නේ කුමක්දැයි පේන කීමට බැරි නිසාය. ඉරිදා දෙදෙනකු මරණයට පත්වී තිබියදී යළි සඳුදා තවත් විසිහතරදෙනකු මරණයට පත්වෙන තත්ත්වයක් වළක්වා ගන්නට බන්ධනාගාර පරිපාලනය අපොහොසත්වීම සුළුවෙන් තැකිය යුතු කාරණයක් නොවේ. මේ සිදුවූයේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කළ ආරක්ෂක හමුදාවක් සිටින රටේය. බන්ධනාගාර නිලධාරීන්ගේ ආධාරයට ඕනෑම මොහොතක ඒ හමුදාවන් කැඳවාගත හැකි තත්ත්වයක් තිබියදීය. දුසිම් ගණනින් බෝවී සිටින නිල නොලත් පශ්චාත් මරණ පරීක්ෂකවරුන් කුමක් කීවද ඉරිදා සිදුවීමෙන් පසු සඳුදා එබඳු තත්ත්වයක් පාලනය කරගැනීමට නොහැකි වීම පිළිබඳ වගකිව යුත්තේ කවුරුන්ද?
මේ සිදුවීමේ වගකීම තමන් භාරගන්නේ යැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියා සිටීම ඉතා වැදගත්ය. මේ අමාත්‍යවරයා රෝහණ විජේවීර තමන්ගේ නායකයා නොවේ යැයි ප්‍රසිද්ධියේ කියා සිටියෙකි. 2019න් පසු ජාතික ජන බලවේග ධජය යටතේ එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නොවන මිලියන ගණනකගේ නායකයකි. කෙසේ වුවත් චිත්‍රපටයක, දෙකකද රඟපා ඇති ඔහු මීගමු හිරගෙදර සිද්ධියේ වගකීම භාරගැනීම තවත් රඟපෑමක්දැයි තීරණය කිරීමට නම් තවමත් ඉක්මන් වැඩිය. එහෙත් මෙබඳු ඛේදවාචකයක වගකීම අදාළ අමාත්‍යවරයා භාරගැනීම ඊට පාර කැපූ පසුබිමටද ඔහු වගවිය යුත්තේ යැයි කියා පිළිගැනීමක් වන්නේය.
මීගමු බන්ධනාගාරය අපේ රටේ අනෙක් බන්ධනාගාරවලට නොදෙවැනි අධික තදබදයකින් යුක්ත ස්ථානයකි. නවසියයකට වඩා වැඩි පිරිසකට රැඳී සිටිය නොහැකි එහි දෙදහසක්, හාරසියයක් පමණ රැඳවියෝ සිටිති. ඉන් කියවෙන්නේ රැඳවිය යුතු ප්‍රමාණය මෙන් තුන්ගුණයකට ආසන්න රැඳවියන් ප්‍රමාණයක් එහි සිටින බවය. ඒ අතර සැකපිට අත්අඩංගුවේ සිටින්නන්, සුළු වැරදිවලට සිරගත වූවන් මෙන්ම බරපතළ අපරාධවලට දීර්ඝකාලීන සිරදඬුවම් ලැබුවෝද වෙති. මේ අන්දමින් සිරකරුවන් කලවම් මැල්ලුමක් බඳුව තබාගැනීමෙන් ඔවුන් පාලනය කිරීමට අපහසු වන බව කීමට බොහෝ කරුණු කාරණා දැනගත යුතු නොවේ. අධිකරණ අමාත්‍යවරයා තමන් සිද්ධියේ වගකීම භාරගන්නේ යැයි කී කල එබඳු තත්ත්වයකට මග පෑදූ අධික තදබදයටද ඔහු වගවිය යුතුය. එපමණක් නොවේ. මේසා විශාල පිරිසක් පාලනය කිරීමට සිටියේ බන්ධනාගාර නිලධාරීන් විස්සක පමණ සුළු පිරිසක් යැයි යන කාරණයටද බන්ධනාගාර භාර අමාත්‍යවරයා වගවිය යුතුය.
දැන් ආණ්ඩුව මීගමු බන්ධනාගාර සිද්ධිය විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර තිබේ. අපේ රටේ පත්කරන කමිටු හා කොමිෂන් සභා ගැන මහජනතාවගේ විශ්වාසය නැතිවී ගොස් බොහෝ කලකි. එහෙත් "නිකම් ඉන්න මට අහල ගියත් මදැයි" කීවාක් මෙන් එය ප්‍රතික්ෂේප කිරීමද අර්ථවිරහිතය. එහිදී සිද්ධියේ වගකීම භාරගත් අමාත්‍යවරයාද ඒ කමිටුව ඉදිරියට කැඳවිය යුතුම බව අපේ අදහසයි. දැන් බලයේ සිටින්නේ හැත්තෑහය අවුරුදු සාපය යැයි හඳුන්වා දුන් 1948-2024 පාලනයන් වෙනස් කිරීමට සිස්ටම් චේන්ජ් ගැන කතා කරමින් බලයට පැමිණි ආණ්ඩුවකි. ඒ ආණ්ඩුව ගෙවීගිය අවුරුදු එකහමාරක කාලය බන්ධනාගාරවල තත්ත්වය වෙනස් කිරීමට යමක් කළේද, එසේ නම් ඒ කුමක්ද, එබඳු යමක් නොකෙරුණේ නම් ඒ මන්ද යනාදිය අමාත්‍යවරයාගෙන් කමිටුව විමසිය යුතුය.
මේ බන්ධනාගාර ගැටුමේ මුල මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටුමක් යැයි කියවෙන බැවින් මත්ද්‍රව්‍ය ගැනද යමක් නොකියා බැරිය. රටේ මත්ද්‍රව්‍ය පිටුදැකීමට කලින් කලට විශාල ප්‍රසිද්ධියක් ලබාදී කරන වැඩසටහන් ඇති බව කවුරුත් දනිති. පසුගිය ආණ්ඩුද එවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරවා බන්ධනාගාර උතුරන්නට සිරකරුවන් පුරවාලුවේය. ඔවුනද බන්ධනාගාර යනු මනුෂ්‍ය වාසස්ථානයක් බව නොසිතූහ. (ඇතැමුන් නම් කියන්නේ ඒ මාධ්‍ය සංදර්ශනවලට වැඩිදෙයක් නොවන බවය) මේ වැඩසටහන්වලදී දහස් ගණනින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරෙන්නේ හිරගෙවල්වල තදබදය තවත් වැඩි කරමිනි. එහෙත් එබඳු වැඩසටහන්වලදී මත්ද්‍රව්‍ය වෙළෙන්දන් අත්අඩංගුවට පත් නොවන අතර ඒ නිසා රටේ මත්ද්‍රව්‍ය පැතිරීම කිසිසේත් අඩු නොවේ. හුදෙක් මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා හිරේ වැටුණු පිරිස්, බරපතළ අපරාධ කළ සිරකරුවන් හා මත්ද්‍රව්‍ය භාවිත නොකරන සිරකරුවන් අතරට නොයැවීමේ වැඩපිළිවෙළක් කිසිම ආණ්ඩුවකට තිබී නැත. ඒ මන්ද යන්නත් අධිකරණ අමාත්‍යවරයා කමිටුව ඉදිරියේ පැහැදිලි කළ යුතුව තිබේ.
අප ඉහතදීද කීවාක් මෙන් අධිකරණ අමාත්‍යවරයා සිද්ධියේ වගකීම භාරගැනීම හොඳය. 2020 දී මහර බන්ධනාගාරයේ ගැටුමක් ඇතිවූ අවස්ථාවේ එවකට විපක්ෂ මන්ත්‍රිවරයකු වූ වර්තමාන ජනාධිපතිවරයා කී දේ ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙයි. එහිදී අනුර කුමාර දිසානායක කියන්නේ ඒ සිද්ධියේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවය. රෝහණ විජේවීර තම නායකයා නොවන බව මේ අධිකරණ අමාත්‍යවරයා කියා ඇතත් අනුර කුමාර දිසානායක තමන්ගේ නායකයා බව ඔහු පිළිගන්නවා ඇත. එසේ නම් ඔහු සිය නායකයා නිවැරදි යැයි සලකන ක්‍රියාමාර්ගය අනුගමනය කරනු ඇද්දැයි රට බලා සිටී.

