චාල්ස් රජු බකිංහැම් මාලිගාව එපා කියයි
30 June 2026 | නිහාල් පීරිස්
චාල්ස් රජු බකිංහැම් මාලිගාව එපා කියයි
30 June 2026 | නිහාල් පීරිස්
පසුගිය වසර 190 කට ආසන්න කාලයක් පුරා බ්‍රිතාන්‍යයේ රජුගේ හෝ රැජිනගේ ප්‍රධාන නිල නිවාසය හැටියට භාවිත කෙරුණේ ලන්ඩන් නුවර පිහිටි බකිංහැම් මාලිගයයි. නමුත් වර්තමාන රජු වන 3 වැනි චාල්ස් රජු මෙම සම්ප්‍රදායෙන් බැහැර වීමට සූදානම් වෙයි.
මේ වනවිට බකිංහැම් මාලිගයේ මහා පරිමාණ අලුත්වැඩියාවක් සිදුවෙමින් ඇති අතර එය අවසන් වීමෙන් පසු චාල්ස් රජු එය සිය නිල නිවස බවට පත් කර ගැනීමට නියමිතව සිටියේය. නමුත් පසුගිය දා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඔහු පවසා තිබුණේ තමා එහි පදිංචියට ඒමට අදහස් නොකරන බවයි. තමා සහ තම බිරිඳ වන කැමිලා දිගටම ක්ලැරන්ස් මන්දිරයේ වාසය කරන බවත් චාල්ස් ප්‍රකාශ කර තිබේ.
ක්ලැරන්ස් මන්දිරයද පිහිටා තිබෙන්නේ ලන්ඩන් නුවරමය. 2022 වසරේ චාල්ස් රජකමට පත්වීමෙන් පසු ඔහු දිගටම සිය ලන්ඩන් වාසස්ථානය ලෙස භාවිත කළේ ක්ලැරන්ස් මන්දිරය යි. ඒ වනවිටත් බකිංහැම් මාලිගය පැවතියේ අලුත්වැඩියා කරමිනි. නමුත් ලබන වසරේ මෙම මහා අලුත්වැඩියාව අවසන් වීමට නියමිත අතර එයින් පසු චාල්ස් රජුට එය නිල නිවස බවට පත්කර ගැනීමට හැකියාව තිබිණි. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.
චාල්ස් රජකමට පත්වීමට පෙරත් ඔහුගේ ප්‍රධාන වාසස්ථානය වූයේ ක්ලැරන්ස් මන්දිරය යි. මහල් හතරකින් සමන්විත මෙම මන්දිරය සහ චාල්ස් අතර ලොකු සම්බන්ධයක් ඇත. ඔහු උපත ලැබීමෙන් පසු 1949 සිට 1953 දක්වා මුල් වසර කිහිපය සිය මව්පියන් සමග ගත කළේත් මෙම මන්දිරයේම යි. එයින් පසු ඔහුගේ මව එළිසබෙත් සිහසුනට පත්වීමෙන් අනතුරුව චාල්ස්ටත් මව්පියන් සමග බකිංහැම් මාලිගයට යාමට සිදු විය.
නමුත් 2003 වසරේ ඔහු නැවතත් ක්ලැරන්ස් මන්දිරය සිය ලන්ඩන් වාසස්ථානය සහ කාර්යාලය බවට පත් කරගත්තේය. ඒ වනවිට ඔහු වේල්සයේ කුමාරයා (Prince of Wales) ලෙස කටයුතු කරමින් සිටියේය.
මේ ආකාරයෙන් තම ජීවිතය සමග සමීපව බැඳී ඇති ක්ලැරන්ස් මන්දිරයේ සිය ජීවිතයේ ඉතිරි කාලයත් ගත කිරීමට 77 හැවිරිදි චාල්ස් රජු තීරණය කර ඇති බව පෙනේ. පෞද්ගලික වාසස්ථානයක් හැටියට ක්ලැරන්ස් මන්දිරය බකිංහැම් මාලිගයට වඩා ගැළපෙන, සුවදායක තැනක් ලෙස පිළිගැනේ.
ඉදිරියේ දී බකිංහැම් මාලිගය පොදු ජනතාවට වඩාත් විවෘත තැනක් බවට පත් කිරීමටත් චාල්ස් අදහස් කරන බව සඳහන් වේ. රජු එහි වාසය කරන විට අනුගමනය කෙරෙන ආරක්ෂක විධිවිධාන ආදිය නිසා ජනතාවට එය විවෘත වන්නේ බෙහෙවින් සීමා සහිතවයි.
රජ පවුල සහ ජනතාව අතර වඩාත් සමීප බවක් ඇති කිරීම කවදත් චාල්ස්ගේ අදහසක් වී තිබූ බව රහසක් නොවේ.
කෙසේ හෝ වේවා, බකිංහැම් මාලිගය තවදුරටත් රජුගේ නිල කාර්යාලය හාමූලස්ථානය ලෙස භාවිත කෙරෙනු ඇත. එනිසා රජු සම්බන්ධ වන සියලු නිල කටයුතු ඉදිරියේදීත් සිදුවනු ඇත්තේ එහි යි.
බකිංහැම් මාලිගයේ මේ වනවිට සිදු කෙරෙමින් ඇති අලුත්වැඩියාව ආරම්භ වූයේ 2017වසරේ ය. වසර 10 ක ව්‍යාපෘතියක් වන එය ලබන වසරේ අවසන් වීමට නියමිතව ඇත. එහි මෙවැනි මහා පරිමාණ අලුත්වැඩියාවක් කරන්නේ ඉතා දිගු කාලයකට පසුව යි. මාලිගයේ විදුලි පද්ධති, ජලනළ පද්ධති ආදිය බෙහෙවින් අබලන් වී තිබූ බව පැවසිණි. මේ නිසා ගින්නෙන්, ජලයෙන් මාලිගයට යම් බරපතළ හානියක් සිදු වීමට ලොකු ඉඩක් තිබූ බව විශ්වාස කෙරිණි.
මාලිගයේ පැරණි විදුලි සෝපාන පද්ධතිය ද වර්තමාන අවශ්‍යතාවන්ට නොගැළපෙන තත්වයට පත්ව තිබිණි. මෙම තත්වය තුළ නවීන තාක්ෂණයෙන් යුතු විදුලි සෝපාන ආදිය ද අලුතෙන් සවි කෙරෙන බව වාර්තා වේ.
මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල සුළුපටු මුදලක් නොවේ. එය ස්ටර්ලිං පවුම් මිලියන 370 කට ආසන්න බව සඳහන් ය. රුපියල්වලින් මෙය බිලියන 164 කට (කෝටි 16,400 කට) ආසන්න වියදමකි.
අක්කර 40 ක පමණ සුවිසල් භූමි භාගයක පිහිටා ඇති බකිංහැම් මාලිගය මහල් පහකින් සමන්විත ය. මෙම මාලිගයේ ඇති සමස්ත කාමර ගණන 775 ක් බවත් සඳහන් වේ. මේ අතරින් 52 ක් රජ පවුලේ සාමාජිකයන් සහ අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති නිදන කාමර ය. කාර්ය මණ්ඩලයේ අය වෙනුවෙන් වෙන් වූ නිදන කාමර 188 ක් ද එහි තිබේ. නාන කාමර 78 ක් ද, කාර්යාල කාමර 92 ක් ද, අමුත්තන් පිළිගැනීම සහ සාකච්ඡා ආදිය සඳහා වෙන් වූ කාමර 19 ක් ද බකිංහැම් මාලිගයේ ඇති බව පැවසේ.
බකිංහැම් මාලිගයේ මහල් පහෙන් එකක් යටිබිම් (Basement) මහලකි. මාලිගයේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇත්තේ මෙම මහලේ බව සඳහන් ය. විශාල වයින් ගබඩාව මෙහි ඇති තවත් විශේෂ අංගයකි.
මාලිගයේ බිම් මහලේ (Ground Floor) ඇත්තේ පරිපාලන කටයුතු කෙරෙන කාර්යාල ආදිය යි.
අමුත්තන් පිළිගැනීම සඳහා වෙන් වූ කාමර, බකිංහැම් මාලිගයේ ප්‍රධානම අංගයක් වන බෝල් රූම් ශාලාව ආදිය පිහිටා ඇත්තේ පළමුවැනි මහලේ ය. සිහසුන් තිබෙන කාමරය (Throne Room) මෙම මහලේ ඇති තවත් විශේෂ තැනකි.
රජු හා රැජින වෙනුවෙන් වෙන් වූ නිදන කාමර, ආරාධිතයන් සඳහා වන නිදන කාමර ආදිය ඇත්තේ දෙවැනි මහලේ යි.
මාලිගයේ ඉහළම මහල වෙන් කර තිබෙන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නිදන කාමර ආදිය සඳහා යි.
බකිංහැම් මාලිගය රජුගේ හා රැජිනගේ ප්‍රධාන නිල වාසස්ථානය ලෙස භාවිත කිරීමට පටන් ගත්තේ 1837 ජුලි මාසයේ සිට යි. ඒ, වික්ටෝරියා රැජින සිහසුනට පත් වීමත් සමග ය.
1703 මෙම ස්ථානයේ මුලින්ම ගොඩනැගිල්ලක් ඉදි කරනු ලැබ තිබුණේ බකිංහැම් ආදිපාදවරයා වූ ජෝන් ෂෙෆීල්ඩ් විසිනි. මහල් තුනක ගොඩනැගිල්ලක් වූ එය හැඳින්වුණේ Buckingham House යන නමිනි. 1761 වසරේ තුන්වැනි ජෝර්ජ් රජු එය රජ පවුල වෙනුවෙන් මිල දී ගෙන තිබිණි. 1820 දශකයේ මෙහි බොහෝ වැඩි දියුණු කිරීම් සිදු වූ බව වාර්තා වේ.
© 2026 All Rights Reserved. Powered by Summit

