පිහිනුම් තටාකයේ 'ගිල්වා මැරූ' මවගේ පදක්කම සොයා ග්ලාස්ගෝ එන දියණියෝ
27 June 2026
පිහිනුම් තටාකයේ 'ගිල්වා මැරූ' මවගේ පදක්කම සොයා ග්ලාස්ගෝ එන දියණියෝ
27 June 2026
මේ 1986 වර්ෂයයි. ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සිය ජීවිතයේ විශාලතම මොහොත අපේක්ෂාවෙන් සිටි ඇනට් කව්ලි නෙල්ට, කිසිදා අමතක නොවන දුක්බර පණිවුඩයක් ලැබිණි. ඒ ඇයට තරගයට සහභාගි වීම තහනම් කර, ක්‍රීඩක නේවාසිකාගාරයෙන් ද ප්‍රවේශ බාධාවකට ලක් කර ඇති බවකි.
ඇය අහිමි කරගත්තේ තරගයක් පමණක් නොවේ. වසර ගණනාවක් පුරා කළ කැපවීම, පුහුණුව සහ ලෝකය ඉදිරියේ තම හැකියාව ඔප්පු කිරීමට තිබූ අවස්ථාවද ඒ සමග ඇයගෙන් ගිලිහී ගියේය.
මෙම තහනමට ප්‍රධානම හේතුව වර්ණ භේද වාදය යැයි කියවුණද, ඇනට් වර්ණ භේද වාදය සඳහා සහය දුන්නියක් නොවේ. මෙම කාල සීමාව තුළ එනම් 1948 - 1990 දශකයේ මුල් භාගය දක්වා දකුණු අප්‍රිකාවේදී සුදු ජාතීන් විසින් එහි ස්වදේශික කළු ජාතීන් හිංසනයට පත්කිරීම සහ නොසලකා හැරීමක් සිදුවිණි. සෙසු රාජ්‍යයන් මේ කාල සීමාවේදී දකුණු අප්‍රිකාවට සම්බාධක පැනවීමට යෝජනා කළද බ්‍රිතාන්‍යයේ එවක පාලිකාව වූ 'යකඩ ගැහැනිය' හෙවත් මාග්‍රට් තැචර් එය ප්‍රතික්ෂේප කළාය.
ඇනට් යනු දකුණු අප්‍රිකාවේ උපත ලද, ඉංග්‍රීසි ජාතිකයකු වූ සිය මව හරහා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා, එංගලන්තය නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ තරගකාරියකි. මීටර 100 නිදහස් ආර ඉසව්වේ ප්‍රසිද්ධ පිහිනුම් ශූරියක් ලෙස නම් දරා සිටි ඇය, පිහිනීමට උපන් හපන්කම් ලත් ක්‍රීඩිකාවක් ලෙස සැලකිණි. නමුත් ඉහත ගැටලුව ක්‍රීඩාවට ඇතුළුවීමත් සමඟ ඇනට් පොදුරද මඩුලු තරගාවලියෙන් ඉවත් කෙරිණි.
මෙහිදී මූලික වශයෙන් මාග්‍රට් තැචර්ගේ තීරණයට සිය අප්‍රසාදය පළ කළ නයිජීරියාව, කෙන්යාව, ඝානා, උගන්ඩාව සහ ටැන්සානියාව ඇතුළු රටවල් 32ක් තරගාවලිය වර්ජනය කිරීමට තීරණය කළහ. මේ අතර තරග සංවිධායකයන් විසින් නේවාසිකත්වයේ නීතිය (residence rule) යන්න භාවිත කරමින් ඇනට් සමග සිටි දකුණු අප්‍රිකානු මැදි දුර දිවීම ක්‍රීඩිකා සොලා බඩ් ද ඉවත් කිරීමට කටයුතු කරන ලදී. ඇය 1985 වසරේ මීටර 3000 ලෝක වාර්තාව බිඳහෙලූ ක්‍රීඩිකාව බවට ද පත්ව තිබුණි. ඇනට් ඉවත් කිරීම සඳහා හේතු ලෙස ඔවුන් දක්වා තිබුණේ, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම වාසය කළ ඇනට්, බ්‍රිතාන්‍යයට වඩා වැඩි කාලයක් ඇමරිකාවේ රැඳී සිටීමය. නිලධාරින් විසින් එසේ කිරීමට ප්‍රධානතම හේතුව ලෙස ඉහත කී තරගාවලිය වර්ජනය කළ කණ්ඩායම් සැනසවීම බව ද කියැවුණි.
අවසානයේ ඇයට ප්‍රේක්ෂකාගාරයේ හිඳ ඇයට අනිවාර්යය පදක්කමක් හිමිවීමට තිබූ ඉසව්ව නරඹන්නට සිදු විය. ඉසව්ව ජය ගත් කැනේඩියානු ක්‍රීඩිකාව, ඇනට් සුදුසුකම් ලැබූ වේලාවටත් වඩා වැඩි වේලාවකින් සහ අඩු දක්ෂතාවකින් ජය ලැබූ අතර එය ඉතිහාසයේ නැවත ලිවිය නොහැකි ශෝකජනක ඡේදයක් ලෙස ඉතිරි වුණි.
කෙසේ වෙතත්, කාලය ගෙවී ගියේය. වසරක් දෙකක් නොව, දශක හතරක්ම ගෙවී ගියේය. නමුදු අද එම අතීත කතාවට අලුත් පරිච්ඡේදයක් එක් වී තිබේ.
ඇනට්ගේ නිවුන් දියණියන් වන ජෝර්ජියා නෙල් සහ ඔලිවියා නෙල්, 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා දකුණු අප්‍රිකානු පිහිනුම් කණ්ඩායමට තේරී පත්ව සිටිති.
මෙය තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ තේරී පත්වීමක් පමණක් නොවේ. මෙය වසර 40කට පෙර නතර වූ කතාවක නැවත ආරම්භයයි.
තවත් සංවේදී කරුණක් වන්නේ, මෙවර ක්‍රීඩා උළෙලද එදා එම දියණිවරුන්ගේ මව මහා අසාධාරණයකට ලක්වූ ස්කොට්ලන්තයේදීම පැවැත්වීමට යෙදී තිබීමය. 1986 දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි දී ඇනට්ගේ සිහිනය බිඳ වැටිණි. අද, ඒ අසල්වැසි ස්කොට්ලන්ත නගරයකටම ඇගේ දියණිවරු ජාතික ධජය රැගෙන පිහිනුම් තටාකයට පිවිසෙති. මෙම අවස්ථාව ජීවිතය පරිපූර්ණ වූ මොහොතක් ලෙස ඔලිවියා ම හඳුන්වන්නේ ස්කොට්ලන්තය නැවත ක්‍රීඩා ස්ථානය වූ හේතුවෙන්මය..
"මම මේ දේ කරන්නේ මගේ රට වෙනුවෙන් සහ මගේ පවුල වෙනුවෙනුත් කරන්නේ. නමුත් ඒ ඉතිහාසය, මාව නියෝජනය කරන්නට, ජය ගන්නට, හොඳ දේ කරන්නට විශාල ධෛර්යයක් දෙනවා," යනුවෙන් ඔලිවියා නෙල් ප්‍රකාශ කළාය. එය දියණියකගේ ප්‍රකාශයක් පමණක් නොව, වසර 40ක් පුරා නිහඬව රැඳී සිටි පවුලක බලාපොරොත්තුවක හඬයි.
ජෝර්ජියාද, සිය මවගේ කතාව ගැන සිතද්දී ඇය සිත් තැවුලට පත්වන බව පවසන්නීය. ජය ගැනීමට කෙතරම් කෙනෙකු කැප වූවාද, ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ගිලිහී ගිය ආකාරය ගැන ඇය ගැඹුරු හැඟීමකින් සිතන්නීය. ඒ අප්‍රිය ඉතිහාසය ඔවුන් දෙදෙනාටම පිහිනුම් තටාකයේ ජයග්‍රාහී අවසානයට ළඟාවීමේ ශක්තිය ලබා දෙනු ඇත.
ක්‍රීඩාව යනු සෑම විටම ජයග්‍රහණ හෝ පරාජයන් පිළිබඳ කතාවක් පමණක් නොවේ. සමහර විට එය කාලය, ඉතිහාසය, දේශපාලනය, කැපවීම සහ පවුලේ බැඳීම් එකිනෙක ගැටෙන අපූරු මිනිස් කතාන්දරයකි.
ඇනට් කව්ලි නෙල්ගේ සිහිනය 1986 දී නතර වූවා විය හැකිය. එහෙත් එය අවසන් වූයේ නැත. එය ඇගේ දියණියන්ගේ හදවත්වල ජීවත් විය.
අද, වසර 40කට පසු, එම සිහිනය නැවත වරක් පිහිනුම් තටාක දියෙන් මතුව එයි. මෙවර එය මවගේ නමින් නොව, ඇගේ දියණියන් දෙදෙනාගේ නමින් ලෝකය ඉදිරියේ පිහිනයි.
මෙම කතාව සමගින් වැදගත් කරුණක් තරයේ මතක තබාගත යුතුමය. "සමහර සිහින මිය යන්නේ නැත. මියැදෙන්නට ඉඩහැරිය යුතුද නැත. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරමින්, කවදා හෝ යථාර්ථයක් බවට පත්වන්නේය."
සසිත සේනානායක
කොළඹ 7 විජේරාම මාවත අංක 91 හි පිහිටි ලිබර්ටි පබ්ලිෂර්ස් (පෞද්ගලික) සමාගම විසින්, මල්වාන කළුකොඳයාවේ පිහිටි සිය මුද්‍රණාලයේ මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදී.

