ඩෙංගු මදුරුවෙක් මරාගන්න බැරි ඇයි?
27 June 2026 | හර්ෂණී දිසානායක
ඩෙංගු මදුරුවෙක් මරාගන්න බැරි ඇයි?
27 June 2026 | හර්ෂණී දිසානායක
රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වූ සඳලි තාරකා ඉකුත් 24 වැනිදා මිය ගියාය. විසිතුන් වියැති ඇගේ ගම දෙණියාය, කළුගල්හේනය. ඇගේ මරණයට ගමේ සබඳතාවක් නැති මුත් ඈ විශ්වවිද්‍යාලයට යාමට නතර වූ ගමේ සබඳතාවක් තිබුණේය. ඒ, සඳලිගේ මාරයා ආවේ විශ්වවිද්‍යාලයට කිට්ටුව ඈ නතරව සිටි බෝඩිමෙන් නිසාය. ඇගේ මාරයා මදුරුවෙකි. සඳලිගේ මරණයට වෛද්‍ය හේතුව ඩෙංගු රක්තපාතය හේතුවෙන් බහු අවයව අකර්මණ්‍ය වීමය.
සඳලි නවාතැන් ගෙන සිටි විශ්වවිද්‍යාලය කිට්ටුවේ පමණක් නොව, රට පුරාම දැන් ඇත්තේ ඩෙංගු අවදානම් කලාපය. කොටින්ම කියනවා නම් ඉතිහාසයේ මුල් වරට දිනකට ඩෙංගු රෝගීන් දහසක් ඉක්මවා වාර්තා වූයේ ගිය සතියේය. හැම රෝහලකම වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස්ය. එක ඇඳේ ලෙඩ්ඩු තුන් හතරකි. ඇඳවල් ඉඩ නැති නිසා වාට්ටුවල බිමත් රෝගීන්ය. මේ, දැනට තිබෙන තත්ත්වයය.
සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ වැසි තත්ත්වය වැඩිවෙත්ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් වසංගත තත්ත්වයක් දක්වා මෙය වර්ධනය විය හැකි බවයි.
මෑත කාලයකදී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ගැන වාර්තා වූයේ නම් ඒ 2017 වසරේදීය. එකල ඩෙංගු රෝගීන් එක් ලක්ෂ අසූහය දහස් එකසිය එක් දෙනකු වාර්තා විය. ඩෙංගු හේතුවෙන් වූ මරණ හාරසිය හතළිහකි. මේ සියලු මරණ සහ රෝගී වාර්තාවන් දිස්ත්‍රික්ක කිහිපයකට වෙන් වූවක් නොව සමස්ත ලංකාවෙන්ම වාර්තා වූ සංඛ්‍යාවයි.
පසුගිය වසරට සාපේක්ෂව ගත් කල මෙවර මාස හයක් ගෙවී යන විටත් ඩෙංගු රෝගීන් හතළිස් හත්දහස් පන්සිය තිස් දෙනකු වාර්තා වී තිබිණි.
මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අවදානම ගැන කියන්නට නම් පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ දත්ත හා සැසඳිය යුතුය. එහිදී පසුගිය වසරේ සති විසි හතරක් ගෙවී ගිය පසු ඩෙංගු රෝගීන් වාර්තා වී තිබුණේ එක්දහස් තුන්සිය තිස් හතරකි. ඒත් මේ වසරේ සති විසි හතරක් යන විට ඩෙංගු රෝගීන් හාර දහස් අටසිය විසි හතරක් වාර්තා වූයේ පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද උඩු යටිකුරු කරමිනි.
එපමණක් නොව, සති විසි හතරක කාලයක් පුරා වාර්තා දත්ත පදනම් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස එකසිය දොළහක් ඇති බවයි. ඒ වගේම ඩෙංගු මැදි අවදානම් කලාප එක්දහස් පන්සිය අනූවක් ඇති බවත් වාර්තා වේ. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජුනි විසි දෙවැනිදා වන විට වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ, නවදාස් නවසිය අනූතුන් දෙනෙකි. කොළඹට පසුව ඩෙංගු රෝගීන් දෙවැනියට වාර්තා වන දිස්ත්‍රික්කය ලෙස ගම්පහ නම් වූයේ ඩෙංගු රෝගීන් අටදහස් අටසිය නව දෙනකු වාර්තා වීමත් සමගය.
එසේ බලන විට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන්නේ බස්නාහිර පළාතේය. එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් ගත්විට විසි හතර දහස් හයසිය හැත්තෑවකි. කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් එසේ වාර්තා වන විට ඩෙංගු මරණ විසි නවයකුත් වාර්තා වී තිබුණේ මෙවර ඩෙංගු වසංගත තත්ත්වයේ අවදානම මනාව අවබෝධ කර දෙමිනි. දැන් දැන් ඩෙංගු ගැන කතා වුණාට මීට දශක කිහිපයකට පෙර ලොකුම වසංගතය වූයේ මැලේරියාවය. රජරට ගොවි ජනපද ව්‍යාපාරවල සේම කෑගල්ල, රුවන්වැල්ල, යටියන්තොට ප්‍රදේශවල මැලේරියාව පැතිර ගියේය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරලා රෝගීන්ට පිහිට වීමට යද්දී ඇතැම් නිවාසවල පණ ඇති කිසිවෙක් නොසිටි බව එදවස කියැවුණේය. තවත් තැනක ළදරුවෙක් මවගෙන් කිරි බොමින් සිටියදී ඇයත් සමග මැරී වැටී සිටියේලු.
මැලේරියාවෙන් රටම සදහටම නිදහස් වුයේ 2016 වසරේදීය. එය වචනයට නිදහස් වුවක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පැමිණ දුන් මැලේරියා තුරන් කිරීම වෙනුවෙන් දුන් සහතිකයකි.
ඒ සහතිකය දිනා වසර තුන හතරක් යනවිට රටේ තැන් තැන්වලින් මැලේරියාව වැලඳුණු රෝගීන් සිටින බවට වාර්තා පළවෙන්නට පටන් ගත්තේය. එහිදී, සෞඛ්‍ය නිලධාරීන් කළ පරීක්ෂා කිරීමේදී දැනගන්නට ලැබුණේ මෙම රෝගීන්ට මැලේරියාව වැලඳී ඇත්තේ මෙරටේදී නොව ඔවුන් රැකී රක්ෂාවන් කිරීමට ගිය විදෙස් රටවලදී බවය. විශේෂයෙන් පතල් ආශ්‍රිතව රස්සාවලට දකුණු අප්‍රිකාවට හා මැඩගස්කරයට යන අය අතර මැලේරියාව වැඩි වී තිබුණේය. එසේ නැතිව දැන් ලංකාවේ මැලේරියාව නැත.
මැලේරියාව මර්දනය කළාක් සේ ඩෙංගු මර්දනය කරන්නට නොහැකි ඇයිදැයි අපි විමසුවේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගරගෙන්ය.
"සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවා බිත්තර දාන්නේ පිරිසුදු ජලයේ. ඒ මදුරුවා දෂ්ට කරන්නේ උදේ පාන්දර සහ හවස් යාමයේ. නමුත් මැලේරියා මදුරුවා කියලා කියන්නේ 'ඇනෝෆිලික්ස්' මදුරුවාට. ඌ බිත්තර දාන්නේ පිරිසුදු ජලයෙ නෙවෙයි, අපිරිසුදු ජලයෙයි. අනික උන් දෂ්ට කරන්නේ රාත්‍රි කාලයේදී. අන්න ඒකයි මැලේරියාව සහ ඩෙංගු සම්පූර්ණයෙන්ම වෙනස් රෝගී තත්ත්වයන් දෙකක් කියලා කියන්නේ. අනිත් දේ තමයි මැලේරියාව බෝවෙන්නේ වයිරසයක් මගින් නෙවෙයි, 'ප්ලාස්මෝඩියම්' නමැති පරිපෝෂිතයා මගින් තමයි මැලේරියාව බෝවෙන්නේ. මැලේරියාව මර්දනය කරන්න අපිට බෙහෙත් තිබුණා. අනික මැලේරියා මදුරුවා බෝවීම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ගත් අපිට තිබුණා. නමුත් ඩෙංගු කියන්නේ වයිරසයකින් ඇතිවෙන රෝගී තත්ත්වයක්. මේකට නියම කරපු බෙහෙතක් නැහැ.
අනිත් දේ තමයි මැලේරියාව වසංගතයක් දක්වා වර්ධනය වෙන්න හේතුව වුණේ අපි ඒ කාලේ මැලේරියාව සුව කරන්න බෙහෙත් දෙන්නේ නැතුව පරිසරය පිරිසුදු කරන්නේ නැතිව ඒ දේවල් අත ඇරලා දාලා හිටපු එකයි. අනික ඩෙංගු කියන්නේ වයිරස් එකක්. මේක බොහොම ඉක්මනට පැතිරිලා යනවා. ඒ වගේම මේකට තවමත් ඖෂධ වර්ගයක් හොයාගෙන නැහැ. රෝගීන් වැඩි වෙන්න වැඩි වෙන්න තවත් මදුරුවෝ ගිහිල්ලා ඒ රෝගීන්ව දෂ්ට කරාම ඒ රෝගීන්ගෙන් ඒ ඩෙංගු වයිරසය දෂ්ට කරපු මදුරුවන්ට පැතිරෙනවා. ඒ මදුරුවා ගිහිල්ලා නිරෝගී කෙනෙක්ට දෂ්ට කළොත් ඒ පුද්ගලයාටත් ඒ වයිරසය පැතිරෙනවා. ඒ නිසා මැලේරියාව මර්දනය කරපු විදිහට අපිට ඩෙංගු මර්දනය කරන්න බැහැ. එනිසා ඩෙංගු කියන දේ අපට ලංකාවේ නිට්ටාවටම අයින් කරලා දාන්න බැහැ. දැනට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි පරිසරය පිරිසුදු කරලා ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කරන එකයි..."
කෙසේ වෙතත්, තවමත් සෞඛ්‍ය අංශවලට ඩෙංගු තුරන් කිරීමට හෝ මර්දනය කිරීමට නොහැකිව ඇත්තේ මන්දැයි කියා අපි විමසීමක් කළේ මේ දිනවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා රටම පීරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩුවගෙන්ය.
"ඩෙංගු රෝගය බෝකරන මදුරු වර්ග හතරක් ඉන්නවා. ඒ වර්ග හතර එකම මොහොතේ සමාජයට එකතු වෙන්නේ නැහැ. කාලෙන් කාලයට ඩෙංගු අවදානම් ඇති කරන මදුරු වර්ගය වෙනස් වෙනවා. ඒ කියන්නේ 2017 - 2018 කියන කාලවල හිටියේ එක වර්ගයක්. ඊට පස්සේ 2023 වසරෙදි තව කාණ්ඩයක් ආවා. මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ ඒ දෙකටම වෙනස් වෙනත් කාණ්ඩයක් වෙන්නත් පුළුවන්. දැනට පවතින එකම ඩෙංගු මර්දනය තමයි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම. හැබැයි මේ ක්‍රමය ඩෙංගු මදුරුවා කියන සතාව සහමුලින් විනාශ කරන්න පුළුවන් ක්‍රමවේදයක් නෙවෙයි."
"ඒ කියන්නේ වෙනත් ක්‍රමවේද තියෙනවද..?"
වර්තමානය වන විට වෛද්‍යවරු, සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරන්නේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර නිවෙස් අවට පිරිසුදුව තබාගන්නා ලෙසය. සිය නිවෙස් අවට කෙතරම් පිරිසුදුව තබා ගත්තද ඩෙංගු මදුරුවන් අඩු නොවීමට හේතුවක් කුමක්දැයි කියා අපි ඔහුගෙන් විමසුවෙමු.
"ඒකට හේතුව තමයි මදුරුවා කියන්නේත් සතෙක්. සාමාන්‍යයෙන් සත්තු තමන් ඉන්න පරිසරය අනුව අනුවර්තනය වෙනවා. මදුරුවටත් වෙන්නේ අන්න ඒ දේමයි. ඌත් ඉන්න පරිසරයට අනුවර්තනය වෙනවා. ඒ අනුවර්තනය වීම ගැන මගේ පුද්ගලික අත්දැකීමෙන්ම උදාහරණයක් දෙන්නත් පුළුවන්. ඒ තමයි අපි සාමාන්‍යයෙන්ම පිළිගන්න තර්කය වෙන්නේ ඩෙංගු මදුරුවා ඇතිවෙන්නේ පිරිසුදු කුඩා ජල ප්‍රමාණයක කියලනේ. ඒත් 2007/ 2008 යන කාලවලදී මම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විදිහට වැඩ කළේ කල්පිටිය කලාපයේ. ඒ කාලයේ මේ වගේම ඩෙංගු වසංගත තත්ත්වයක් තිබුණා. කල්පිටිය මිනිස්සු පුදුම කැපවීමකින් ඩෙංගු මදුරුවා මර්දනය කිරීමේ කටයුතුවලට සහභාගි වුණේ. ගෙවල් අවට පාරවල් අවට ගම අවට මේ මිනිස්සු පුදුම කැපවීමකින් පිරිසුදු කළා. ඒ පිරිසුදු කරලා සතියක් විතර ඩෙංගු ව්‍යාප්තිය අවම වුණා. ඒත් හිටි හැටියෙම ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන්න ගත්තා. අපි මේ ගැන විවිධ වූ පර්‌යේෂණ නියැදි ක්‍රම මගින් මේකට හේතුව හොයන්න උත්සාහ කළා.
එතැනදී තමයි දැනගන්න ලැබුණේ ගම අවට අස්පස් කළාට මදි, මේ මදුරුවෝ එතැනින් ඉවත්වෙලා ගියාට පස්සේ ඒකට අනුවර්තනය වෙලා ඊට ගැළපෙන වෙනත් තැනක් තෝරගෙන තිබුණා බිත්තර දාන්න. උන් හොයාගෙන තිබුණේ කල්පිටිය කලපුවේ වෙරළ අයිනට වෙන්න තියෙන ජාල පෝෂක ප්‍රදේශයයි. කවුරුත් හිතුවේ නැහැ කලපු ජලයේ ඩෙංගු මදුරුවා බිත්තර දමයි කියලා" ඩෙංගු මදුරුවාගේ අනුවර්තනය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩුව කියන්නේ එලෙසය.
චමිල්ගේ අත්දැකීම් අනුව මෙලෙස ඩෙංගු මදුරුවාගේ අනුවර්තනය වීම ගැන ඔහුට තවත් අත්දැකීමක් ඇත්තේය. ඔහු ඒ අත්දැකීමට මුහුණ දෙන්නේ 2017 - 2018 කියන්නාවූ ඩෙංගු අධි අවදානම් වසංගත කාලයේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එකල රට පුරාම ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් පවතින මොහොතක චමිල් ඇතුළු කණ්ඩායම මඩකලපුවේ ජනතාවට යෝජනා කර ඇත්තේ සිය ගම්බිම් ඩෙංගු මදුරු අවදානම් කලාපයන් බවට පත්නොවන්නට පිරිසුදුව තබාගන්නට කියාය. ඒත් ගමම එකතුවී දින ගණන් වෙහෙස වී ගමම පිරිසුදු කර සතියක් යන්නටත් මත්තෙන් නොසිතූ ලෙස ඩෙංගු වසංගතය මඩකලපු දිස්ත්‍රික්කය සොයා ආවේය.
මීට හේතුව කුමක්දැයි කියා සොයා බලනා විට පිරිසුදු වතුර පොදක්වත් නැති පරිසරයක බිත්තර දමන්නේ නැතිව ඩෙංගු මදුරුවන් බිත්තර දමන්නට තෝරාගෙන ඇත්තේ වතුර ටැංකිය. ඊළඟට ඔවුන්ට ඇති වූ ගැටලුව වූයේ හොඳින් වසා ඇති ටැංකිවල ඩෙංගු මදුරුවන් බිත්තර දමන්නේ කෙසේදැයි කියාය. ඒ ගැන සොයා බලනා විට ඔවුන්ට අවබෝධ වී ඇත්තේ ඩෙංගු මදුරුවන් ජල ටැංකියේ ඔෆ්ලෝ බටයෙන් ටැංකියට ගොස් එහි බිත්තර දමන බවයි.
"ඇත්තටම අපි පිරිසුදු කිරීමේ ව්‍යාපෘති කොච්චර කළත් එතැනදි වෙන්නේ ඩෙංගු මදුරුවා මර්දනය වීම නෙවෙයි, තාවකාලිකව අඩු වෙන එකයි. ඒත් වර්තමානයේදී අපිට ඕන වෙන්නේ ඒ වගේ තාවකාලික විසඳුමක් නෙවෙයි. මේ මදුරුවෝ මර්දනය කරන්න පුළුවන් දිගුකාලීන විද්‍යාත්මක විසඳුමක්. ඒකට මම දකින විසඳුමක් තමයි පාලිත අවස්ථාවේදී මදුරුවන් බෝවෙන්න ඉඩ දී උන් කීට අවස්ථාවේදී විනාශ කිරීම තමයි මම දකින විසඳුමක් වෙන්නේ. එහෙම නැතුව මේ තාවකාලික පිරිසුදු කිරීම්වලින් වෙන්නේ ඒ මොහොතට විතරක් තාවකාලික විසඳුමක් ලැබෙන එක විතරයි" චමිල් එලෙස කියනා විට අපිට මතක් වූයේ වොල්බැකියා බැක්ටීරියාවය.
'වොල්බැකියා' බැක්ටීරියාව ශ්‍රී ලංකාවට මුල්වරට හඳුන්වා දුන්නේ 2016 වසරේදී මෙරටේ පැවැති ජාත්‍යන්තර ඩෙංගු මර්දන සැසිවාරයට සමගාමීවය. ඔස්ට්‍රේලියාවේ පර්‌යේෂණාගරයක අත්හදා බැලු මේ බැක්ටීරියාව මෙරටට ප්‍රදානය කළේ රුපියල් මිලියන ගණනක නියමු ව්‍යාපෘතියක් ලෙසය. මෙය මෙරටට හිමිවන්නට පෙරාතුව මැලේසියාව, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, කොලොම්බියාව, වියට්නාමය, මෙක්සිකෝව සහ ඉන්දියාව ආදී රටවල සාර්ථකව අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල හිමිකරගත් බැක්ටීරියාවක් බව කියන්නේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීවය.
ඔහු ප්‍රශ්න නගන්නේ මිලියන ගණනක පරිත්‍යාගයක් ලෙස ලැබුණු 'වොල්බැකියා' බැක්ටීරියාවට වූයේ කුමක්දැයි කියාය. 2016 වසරේදී වොල්බැකියා බැක්ටීරියාව මෙරටට ප්‍රදානය කළත් එය අත්හදා බැලීමේ කටයුතු අරඹා තිබුණේ 2020 වසරේ මාර්තු මාසයේදීය. ඒ අනුව මෙහි පළමු නියම ව්‍යාපෘතිය ආරම්භ කළේ බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන මට්ටක්කුලිය සහ නුගේගොඩ යන ප්‍රදේශවලිනි.
කෙසේ වෙතත් එලෙස ඇරඹූ ව්‍යාපෘතිය අතරමග නවතන්නට වන්නේ හිටි හැටියේම ලංකාව ආක්‍රමණය කළ කොවිඩ් වසංගතය නිසාය. යළිත් මේ නියම ව්‍යාපෘතිය ඇරඹෙන්නේ 2023 වසරේදීය. එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ සාගල රත්නායක ඩෙංගු මර්දන වැඩසටහන් සම්බන්ධයෙන් කළ කතාවකදී කියා සිටියේ උතුරු කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට උදව් වූයේ වොල්බැකියා බැක්ටීරියාව බවයි.
එහෙයින් ඒ බැක්ටීරියාව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාපෘතිය මට්ටු කරන්නට භාවිත කරන ලෙසත් උපදෙස් දුණි. ඒ උපදෙස දී අදට වසර තුනකි.
"වොල්බැකියා බැක්ටීරියාව සාර්ථක වුණා කියලා මීට අවුරුදු දෙකකට කලින් කිව්ව නේද..?" අපි ඔහුගෙන් විමසුවෙමු.
"මම කලින් කිව්වා වගේ අපි මදුරුවා බෝ වෙන තැන් විනාශ කළාට උන් ඉන්න පරිසරයට අනුවර්තනය වෙන්න උත්සාහ කරනවා. අනිත් දේ තමයි ඔය වගේ බැක්ටීරියා ගෙනැල්ලා අපිට හිතුමතේට ඒ දේවල් පාවිච්චි කරන්න බැහැ. ඒකට හේතුව තමයි අපි කොච්චර අපේ ගෙවල් අවට පිරිසුදු කරලා තිබුණත් අපි ගෙදරින් එළියට ගිහිල්ලා එකතු වෙන්නේ මහා සමාජෙට. එතැන මේ ඩෙංගු කියන මදුරුවා ඉන්න පුළුවන්. ඒ පරිසරය අපේ නිවෙස් අවට පරිසරය වගේ පිරිසුදු නොවෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ බැක්ටීරියා ක්‍රමයත් තාවකාලික දෙයක් විතරයි.
අනිත් දේ තමයි කලිනුත් මේ වගේ ක්‍රමවේද ගෙනැල්ල තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් ගොඩක් දුරට සාර්ථක වුණේ නැහැ. ඒකට එක හේතුවක් තමයි මේ දේවල් අපිට රටපුරා ව්‍යාප්ත කරන්නට බැරිවීම. අනිත් ඒ තමයි හැම කෙනාම එක වගේම මේ දේවල් ගැන හිතන්නෙ නැති එක. එක තැනක් පිරිසුදු කළාට තව තැනක ඕනෑ තරම් ප්ලාස්ටික්, පොලිතින්, කෝප්ප වගේ දේවල් තියෙන්න පුළුවන්. අනික මේ විදිහට ප්ලාස්ටික්, කෝප්ප වගේ දේවල් ගොඩ ගහපු තැන්වලට ගිහිල්ලා ඔය කියන බැක්ටීරියා ඉහින්නත් බැහැ. ඇත්තටම මේක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. හැබැයි අර මම කලින් කිව්වා වගේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් හොඳ ප්‍රායෝගික සැලැස්මක් තිබුණොත් අපිටත් ඩෙංගු මර්දනය කරන්න පුළුවන්" මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩුවගේ අදහසයි ඒ.
පසුගිය දින තුනක කාලයක් පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රට පුරා ස්ථානීය පරීක්ෂාවන් හැත්තෑ පන්දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් කළහ. ඒ අතරේ ඩෙංගු මර්දනය කළ දින තුනක කාලයේදී ඩෙංගු මදුරුවන් බෝවන්නට ඉඩ දුන් ස්ථාන පන්දාහසකට විරුද්ධව නඩු පැවරීම, අවවාද කිරීම සහ රතු නිවේදන නිකුත් කිරීම ආදී පියවරයන් ගෙන තිබිණි. එසේ කොතරම් නීති මගින් ක්‍රියා කළත් බොහෝ දෙනකුට ඒ ගැන වගේ වගක් නැති සේය. උසාවි ගොස් දඩ ගෙවා දමා දෙතුන් සතියක් යද්දී යළිත් වත්තේ මදුරු කීටයන් බෝවෙන්නට ඉඩ දී බලා සිටිති.
එසේ බලන විට තිස් වසක් පුරා පැවැති ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තාට ඩෙංගු මදුරුවාගෙන් නම් රට මුදා ගන්නට මේ මිනිසුන් සමග නම් බැරි බව පැහැදිලිය.

