පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 514 දක්වා ඉහළට
29 June 2026
පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 514 දක්වා ඉහළට
29 June 2026
මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 514ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, 2025 වසරේ අදාළ කාලසීමාව සමඟ සැසඳීමේදී මෙය සියයට 21ක වර්ධනයක් බවය.
මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් නාවික මාර්ගවලට බාධා එල්ලවීම, නැව් ගාස්තු සහ රක්ෂණ වියදම් ඉහළ යාම මෙන්ම ඉන්ධන මිල වැඩිවීම වැනි අභියෝග මධ්‍යයේ මෙම වර්ධනය ලබා ගැනීම විශේෂත්වයක් බවද ඔහු සඳහන් කළේය.
පොල් අස්වැන්න ඉහළ යාම සහ අපනයන සඳහා ඇති ඉල්ලුම වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
කෙසේ වෙතත්, පවතින යුද තත්ත්වය හේතුවෙන් තැඹිලි අපනයනය සියයට 33කින් පමණ අඩුවී ඇති බවද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ තැඹිලි අපනයනයෙන් සියයට 95ක් පමණ ඩුබායි වෙළඳපොළ වෙත සිදුකරන බැවින් එම තත්ත්වය බලපා ඇති බවත්, අනෙකුත් පොල් ආශ්‍රිත අපනයන ක්ෂේත්‍රවල වර්ධනයක් පවතින බවත් පොල් සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.
පොල් මද ආශ්‍රිත නිෂ්පාදන, පොල් ලෙලි ආශ්‍රිත කර්මාන්ත සහ පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු සියලුම අංශ මෙම අපනයන වර්ධනයට දායක වී ඇති බවද සඳහන්ය.

