brand logo
logo
රෝහල්වලට වෛද්‍යවරුන් හිඟයි; වෛද්‍යවරුන්ට රැකියා හිඟයි

රෝහල්වලට වෛද්‍යවරුන් හිඟයි; වෛද්‍යවරුන්ට රැකියා හිඟයි

01 July 2026


මේ දිනවල පුවත්පත් කලාවේදියෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සමග කතා කළහොත් රටේ රෝහල්වල වෛද්‍ය හිඟයක් පවතින බව එහිදී දැනගත හැකිය. ඒ ප්‍රවෘත්තියෙන් සන්නද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකුට කතා කළහොත් එතැනින් අසන්නට ලැබෙන්නේ එබඳු හිඟයක් නැති බවය. ඒ අතරේ සුදුසුකම් ලද වෛද්‍යවරුන් විශාල පිරිසක් රජයේ පත්වීම් නොලැබ සිටින බව නම් දෙපැත්තෙන්ම අසන්නට ලැබෙනවා ඇත. ‘‘අන්තෝ ජටා බහි ජටා......’’ ආදී වශයෙන් ඇතුළතත් ගැටලුවකි, පිටතත් ගැටලුවකි යැයි බුදු හාමුදුරුවන් දෙසා වදාළේ වසර දෙදහස් පන්සිය හැත්තෑවක් ඉදිරියේ ශ්‍රී ලංකාව දිව්‍යඥානයෙන් දැක නොවන්නට ඇතත් ඒ ගාථාව මෙතැනට මොනවට ගැළපෙයි.


අපට වෙනදාට පුවත්පත්වලින් කියවන්නට ලැබෙන්නේ රජයේ රෝහල්වල වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයන් ගැනය. එහෙත් දැන් දැන් සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ට රජයේ රැකියා හිඟවීම ගැන ද විටින් විට අසන්නට ලැබෙන අතර ඉදිරියේදී එය පාඨකයන්ට කියවා හුරුපුරුදු ප්‍රවෘත්තියක් වන්නට ඇති ඉඩකඩ ද වැඩිය. එහෙත් ශ්‍රී ලංකාව සිලෝන් නමින් හැඳින්වුණු 1964 දී පටන් ගත් කලා උපාධිධාරීන්ට රජයේ රැකියා හිඟවීමේ මුල කවදා හෝ අවසන් වන්නේ වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ රැකියා හිඟවීම දක්වා ගමන් කිරීමෙන් යැයි අනාවැකි කියවුණත් දුහුනන් ඒ විශ්වාස කළේ නැත. අ⁣දටත් අපේ රටේ මිනිසුන් ඉතා වැඩිදෙනා රැකියාවල අග්‍රඵලය හැටියට සලකන්නේ දොස්තරවරයකු වීමය. එබඳු වූ දොස්තරවරුන්⁣ට ද රැකියා පෝලිමට එක්වීමට සිදුවනු ඇතැයි කියා ඔවුන් කෙසේ නම් විශ්වාස කරන්නද?


ඉහත කී පරිදි මීට අවුරුදු 62 කට කලින් මුලින්ම රජයේ රැකියාවලට කණකොකා හැඬුවේ කලා උපාධිධාරීන්ටය. ටික කලක් යන විට එය රටුන්ට හුරු වුණේය. ඊළඟට විද්‍යා උපාධිධාරීන්ට රජයේ රැකියා නැතිවී යන විට රට්ටු ඒ ගැන දැනුවත් වුණේවත් නැත. ඊට පසු සෑම සියලු ක්ෂේත්‍රයකම උපාධිධාරීන්ට වෙනදා උපාධි අපේක්ෂකයන් හැටියට ලැබුණු රජයේ රැකියා උපාධිධාරීන් වීමෙන් පසුවද නොලැබී ගියේය. ඛේදයකි. දැන් රැකියා ක්ෂේත්‍රයේ අග්‍රඵලයට ද රජයේ රැකියා නැතිවී ගොස් තිබේ.


මෙය විපතක් වුවත් මෙහිදී අපට සතුටින් දන්වා සිටිය හැකි කාරණයක්ද එහි තිබේ. ඒ අභාග්‍යය 2024 දී ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් පසු සිදුවූ වරදක් නොවන නිසාය. එය අවුරුදු එකොළහක් තිස්සේ එනම් ජනාධිපතිවරුන් හතරදෙනකුගේ සේවා කාලය මුළුල්ලේ කෙරීගෙන ආ වරදකින් මතු වූ තත්ත්වයක් නිසාය. රැකියා හිඟය ඇති වී තිබෙන්නේ වෙන කිසිත් කාරණයක් නිසා නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලුම හා සැපයුම පිළිබඳ ආර්ථික විද්‍යාවේ මූලික නියාමයවත් නොදන්නා නිසාය. සමාවන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය පමණක් නොවේ. සිදුවී ඇති අබග්ගයේ වගකීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ද ගැලවිය නොහැකිය. කෙටියෙන් කියන්නේ නම් අද මේ තත්ත්වය උද්ගත වී ඇත්තේ රජයේ වෛද්‍ය සේවයේ සේවා අවශ්‍යතාවයන් පිළිබඳ අවුරුදු තුනෙන් තුනට යාවත්කාලීන කළ යුතු විගණනය 2015 න් පසුව සිදු නොවීම නිසාය. ⁣එසේ තිබියදී රජයේ ⁣වෛද්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිළිබඳ නිසියාකාරව ගණන් බැලීමකින් තොරව රටට වෛද්‍ය උපාධිධාරීන් බිහිකර තිබීමයි. දේශපාලනයෙන් තොර කිසිවක් නැතැයි කියන කාරණය හැබෑ කරමින් මෙතැනදීද අවසාන වශයෙන් එන්නේ පුරප්පාඩු පිළිබඳ නිසි අධ්‍යයනයකින් තොරව වෛද්‍ය පීඨ ගණන ඉහළ දැමීම හා අ.පො.ස (උසස් පෙළ) සමතුන් අතරින් වෛද්‍ය අංශවලට බඳවාගන්නා ප්‍රමාණය වැඩි කිරීම හුදෙක් දේශපාලන තීන්දු මත සිදුකරනු ලැබීමය.


එහෙත් රජයේ සේවයේ වෛද්‍ය හිඟය පිළිබඳ කතාවද ඇත්තය. ඊට එක් හේතුවක් වී ඇත්තේ රට පුරා රජයේ රෝහල්වල අලුත් ක්ෂේත්‍ර ඇති කර තිබීමත්, අලුතින් වෛද්‍යවරුන් යොදවා ක්‍රියාත්මක කළ යුතු එකී ක්ෂේත්‍ර මෙතෙක් සේවයේ යෙදී සිටි වෛද්‍යවරුන් ලවාම කරවීම නිසා ඇතිවී තිබෙන වෛද්‍ය හිඟයත්ය. තවත් හේතුවක් වන්නේ අවුරුදු පතා විශ්‍රාම යන හා රට හැර යන එක් දහසක් පමණ වන වෛද්‍යවරුන් නිසා ඇතිවන පුරප්පාඩුය. මේ නිසා ග්‍රාමීය රෝහල්, ප්‍රාදේශීය රෝහල්, දිස්ත්‍රික් රෝහල්වල පමණක් නොව මහ රෝහල්වලද වෛද්‍ය ඇබෑර්තු තිබේ. මේ නිසා ඇතැම් කුඩා රෝහලක එකදිගට පැය විසිහතරම එක වෛද්‍යවරයකුට රාජකාරියේ යෙදී සිටීමට සිදුවන අවස්ථාද ඇතැයි කියනු ලැබේ.


මෙතැන සිදුවී ඇත්තේ සේවා අවශ්‍යතාවය පිළිබඳ නිසි විගණනයක් සිදුනොවීම නිසා පුරප්පාඩු ඇතිවීම හා ඒ වෙනුවෙන් මුදල් වෙන් නොකිරීම නිසා අලුතින් පත්වීම් ලබාදීමට නොහැකි වීමේ ප්‍රශ්නයයි. හෙට අනිද්දා වන විට රජයේ වෛද්‍ය රැකියා පෝලිමේ සිටින සංඛ්‍යාව 5000 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ. මේ තත්ත්වය කළමනාකරණය කිරීමට නම් වහාම කරුණු කාරණා යාවත්කාලීන කරන විගණනයක් කළ යුතුය. රටේ සියලු ප්‍රශ්නවලට සාඩම්බරයෙන් පිළිතුරු බඳින සෞඛ්‍ය අමාත්‍යවරයා අනුන්ගේ ගෙවල්වල පිටුපස ඇති කුණු කසළවලට වගඋත්තර කීමට පෙර තමන්ගේ ගෙදර ඉදිරියේ ඇති මේ කුණුගොඩ සුද්ද කිරීමට නිහතමානීව පියවර ගනු ඇතැයි අපි උදක් බලාපොරොත්තු වෙමු.

 

More News..