brand logo
logo
'ශ්‍රී ලංකාවේ විදුලිය' යෙවාන් 'ෆෝමියුලා-3' හිදීත් නම රන්දයි

'ශ්‍රී ලංකාවේ විදුලිය' යෙවාන් 'ෆෝමියුලා-3' හිදීත් නම රන්දයි

06 July 2026


ෆෝමියුලා 3 කාණ්ඩයේ මෝටර් රථ තරගාවලියේ 5 වැනි අදියර වූ මහා බ්‍රිතාන්‍ය අදියරේ පෙරේදා (4 වැනිදා) පැවැති 'ස්ප්‍රින්ට්' තරග වටයේදී එහි දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමත් විය. ඒ අනුව එම කාණ්ඩයේ තරගාවලියක ජයග්‍රහණ පීඨිකාවේ ස්ථානයක් හිමිකර ගැනීමට සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් වාර්තා අතරට එක්වූයේය.


සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් 11 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ යෙවාන් 'ස්ප්‍රින්ට්' තරගයේ 2වැනි ස්ථානයේ හිඳිමින් ආරම්භය ලබාගත් අතර එහිදී ඔහුට පෙර තරගය ඇරැඹූ වත්මන් තරගාවලියේ ප්‍රමුඛයා වන යූගෝ ඌගෝචුක්වුට පමණක් දෙවැනි වෙමින් සිය කරගය නිම කිරීමට සමත් විය. මෙහිදී යෙවාන් භාවිත කළ ආරක්ෂිත ධාවන උපක්‍රමය සියල්ලන්ගේම අවධානයට ලක් වුණි. එහිදී යෙවාන් යූගොට තත්පර 17ක් පසුපසින් තරගය නිම කරමින් වට 18කින් සමන්විත වූ තරගය මිනිත්තු 33 තත්පර 8.248කින් නිම කිරීමට සමත් විය. ඒ සමගින් සමස්ත තරගාවලියේ රියදුරන් වර්ගීකරණයේ 18 වැනි ස්ථානය ද යෙවාන්ට හිමි විය.


එසේම ඊයේ (5 වැනිදා) පැවැති මෙම අදියරේ ප්‍රධානම තරගය වූ වට 21කින් සමන්විත 'ෆීචර්' තරගයේ 11 වැනි ස්ථානයෙන් තරගය ඇරැඹි යෙවාන්, 11 වැනි ස්ථානයම සතු කරගැනීමට සමත් වූ අතර එහිදී ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 40 තත්පර 55.620කි. මේ සමගින් පෙර රියදුරු වර්ගීකරණයේ 18 වැනි ස්ථානයේ රැඳුණු යෙවාන්ට 20වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුුව තිබේ.


ෆෝමියුලා 3 තරගාවලියේ මීළඟ තරග අදියර මෙම මස 17 සිට 19 දක්වා බෙල්ජියම්හි ස්පා-ෆ්‍රැන්කෝචෑම්ප්ස් ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

 

More News..