brand logo
logo
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 13

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 13

08 July 2026

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම, අගෝස්තු මස 13වැනිදා පෙ.ව. 6 පසුවී විනාඩි 17ට යෙදෙන සුබ නැකතට අනුව සිදු කෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.


දළදා පෙරහැර පැවැත්වෙන දින වකවානු පිළිබඳ නිල වශයෙන් දැනුම්දීම සඳහා අද (8) පස්වරුවේ දළදා මාලිගය පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශයට පත් කළේය. 


මෙහිදී පෙරහැර පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්ද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.


ඒ අනුව අගොස්තු 13වැනිදා කප් සිටුවීමෙන් පසු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.


පළමු කුඹල් පෙරහැර 18 දින ආරම්භ වන අතර, එතැන් සිට 22වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.

පළමු රන්දෝලි පෙරහැර 23 දින ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 දිනයේ පැවැත්වේ.

පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ඉන් අනතුරුව එදිනම පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදි පෙරහැර සාර්ථකව සිදු කළ බවට දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය භාරදීමට නියමිතය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල නාහිමිපාණන් වහන්සේලා, සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

More News..