brand logo
logo
ලෝකය කැරකෙන වේගේ වෙනස් වෙයිද?

ලෝකය කැරකෙන වේගේ වෙනස් වෙයිද?

27 June 2026 | රුක්ලන්ති පෙරේරා

මිනිසා තාක්ෂණය අතින් කෙතරම් නම් දියුණු යැයි කීවත්, ස්වභාවදහමේ බල පරාක්‍රමය හමුවේ ඔහු තවමත් අසරණ බව කියාපාන තවත් එක් ස්වභාවික සංසිද්ධියක් නුදුරේදීම අපට අත්දකින්නට සිදුවන බවට අනාවැකි පළවෙමින් තිබේ. එල් නිනෝ යන වචනය අපට තරමක් නුහුරු වුවත් ඉන් හැඳින්වෙන මෙම කාලගුණික සංසිද්ධිය වූ කලී පෘථිවියට කිසිසේත්ම නව්‍ය වූවක් නොවේ. විද්‍යාඥයන් පවසන පරිදි මෙම ස්වභාවික සංසිද්ධිය වසර මිලියන සිය ගණනකට ඉහත සිට පෘථිවි කාලගුණය යම් යම් පරිවර්තනයන්ට ලක් කරමින් යළි යළි පුනරාවර්තනය වෙමින් තිබුණකි. එල් නිනෝ යන වචනය මෙම සංසිද්ධියට ආදේශ වූයේ ක්‍රි.ව. 1600 තරම් වූ ඈත අතීතයකදීය. ඒ එම තත්ත්වය මුල්වරට නීරීක්ෂණය කළ පෙරුවියානු ධීවරයන් පිරිසක් විසිනි. ස්පාඤ්ඤ බසින් ක්‍රිස්තු දරුවෝ යන අර්ථය ඇතිව ඔවුන් එය මුලින්ම නම්කොට තිබුණේ ‘එල් නිනෝ ඩී නැවිඩැඩ්‘ කියාය.


සාමාන්‍යයෙන් වරක දී මාස නවයත්, දොළහත් අතර කාලයක් පුරා පවතින මෙම කාලගුණික සංසිද්ධියේ මූලාරම්භය ගැබ්වී තිබෙන්නේ උණුසම් ජල තරංග හා කුණාටු සහිත කාලගුණිත තත්ත්ව ඉක්වදෝරයේ සිට පේරු දක්වාත්, ඉන්දුනීසියාව වෙතටත් තල්ලු කර හරිමින්, නැඟෙනහිර සිට බටහිර දෙසට සුළං හමායන නිවර්තන පැසිෆික් සාගර කලාපයේය. මෙම සුළං ධාරා දුර්වල තත්ත්වයට පත්වන විට උණුසුම් ජල තරංග නැගෙනහිර දෙසට ගලා යන්නේ කුණාටු සහිත කාලගුණික තත්ත්වය ද ඒ සමග රැඟෙන යමිනි. එවිට එම සාගර කලාපයේ මතුපිට උෂ්ණත්වය ද ඉහළ යන්නේ පෘථිවි වායුගෝලයේ සංසරණ රටාව වෙනසකට බඳුන් කරමිනි.


සාගර තලයෙන් යටවූ ගැඹුරු ස්ථරවල ද උෂ්ණත්වය මීට සමගාමිව මාස කිහිපයක් පුරාවට ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැඟීමකට ලක්වන්නේ අවසානයේ දී එල් නිනෝ කියා හැඳින්වෙන සංසිද්ධියට මුල පුරමිනි. උෂ්ණත්වයේ ඉහළ යෑම වැඩිවන තරමට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම ද ප්‍රබල වන්නේය. නුදුරේ දී අපට මුහුණ දීමට නියමිතව තිබෙන්නේ එවන් තත්ත්වයකටය. මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් දැනටමත් ඉහළගොස් තිබෙන පාරිසරික උෂ්ණත්වය හමුවේ එළැඹීමට නියමිත එල් නිනෝ තත්ත්වය සුපිරි එල් නිනෝවක් වනු ඇති බවට ද මේ වනවිට බිය පළවෙමින් තිබේ. මෙවන් තත්ත්වයක දී පැසිෆික් සාගර තලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් පමණ ඉහළයන අතර ඉතාම විරල වන එවන් සංසිද්ධියක් අවසන් වරට වාර්තා වූයේ මීට අවුරුදු දහයකට පමණ පෙර එනම් 2015 – 2016 යන වසරවලදීය.

එම තත්ත්වය ඊට පෙර අසූව හා අනූව දශකවල වාර්තා වූ සුපිරි එල් නිනෝ තත්ත්වයන්ට බෙහෙවින් සමානකම් කී බැවින් මෙවර තත්ත්වය ද ඊට වඩා වැඩි වෙනසක් සිදු නොවනු ඇති බවට බලාපොරොත්තු වේ. ඒ අනුව එලැඹෙන 2027 වසර පෘථිවි ඉතිහාසයේ වඩාත් උණුසුම් වසරක් ලෙස වාර්තා අතරට එක්වනු ඇති බවට බලාපොරොත්තු වේ. ඉතාම ප්‍රබල එසේත් නැතිනම් සුපිරි එල් නිනෝවක් හටගන්නේ සාගර මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් ඉහළ ගොස් දිගු කාලීනව එම ඉහළ අගයේම පැවතීම නිසාය. දැනටමත් පැසිෆික් සාගරයේ ඇතැම් කලාපවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක හයකින් පමණ ඉහළ ගොස් ඇතිවා පමණක් නොව මධ්‍යම පැසිෆික් කලාපයේ අවපීඩන තත්ත්වයක් ද වර්ධනය වී ඇති බව පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණික සංවිධානයේ එම තහවුරුකිරීම මත පදනම්ව අනාවැකි පළකරන සාගර හා වායුගෝලීය අධිකාරිය පවසන්නේ අති ප්‍රබල එල් නිනෝවක් හටගැනීමේ සම්භාවිතාව 63% ක් බවයි.


මේ බව ජපාන කාලගුණික විද්‍යාතනය ද තහවුරු කොට තිබේ. ඒ අනුව 1950 වකවානුවේ සිට හටගත් එල් නිනෝ සංසිද්ධි අතර මෙවර එල් නිනෝව දැවැන්තමයෙකු වනු ඇති බවයි ඔවුන් අනතුරු අඟවන්නේ. මෙම තත්ත්වය 2027 වසර දක්වා පැවතීමට නියමිතය.


සාමාන්‍ය එල් නිනෝ තත්ත්වයකට වඩා සුපිරි එල් නිනෝ තත්ත්වයකින් ඇති කරන ව්‍යසනය වඩාත් දරුණු වනු ඇති බව ජාතික සාගර හා වායුගෝලීය අධිකාරිය කියා සිටින්නේ 2015 -2016 දී ගෝලීය වශයෙන් අත්දකින්නට ලැබුණු උපද්‍රව හා සසඳමිනි. එම කාලයේ දී මධ්‍යම උතුරු පැසිෆික් කලාපය හරහා මීට පෙර නොවූ විරූ අන්දමේ වාර්තාගත සුළි කුණාටු තත්ත්වයක් ද, පුවර්ටෝ රිකෝහි දැඩි ජල හිඟයක් ද, ඉතියෝපියාවේ බිහිසුණු ඉඩෝරයක් ද හටගත් අතර ගෝලීය උෂ්ණත්වය වාර්තාගත අන්දමින් ඉහළ ගිය බවයි ජාතික සාගර හා වායුගෝලීය අධිකාරිය පෙන්වා දෙන්නේ. සමස්තයක් ලෙස එල් නිනෝවේ ප්‍රබලත්වය අනුව ඉන් පෘථිවිය කෙරෙහි ඇති කරන බලපෑම සුළි කුණාටු, නියඟ, වන ජීවි ජනගහණයේ වෙනස්කම් සිට පෘථිවියේ භ්‍රමණ වේගය වෙනස් කිරීම දක්වා වූ පරාසයක විහිද යා හැකිය. මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර උෂ්ණත්වය ඉහළයෑම නිසා එම කලාපයේ වඩාත් ප්‍රබල සුළි කුණාටු හටගත හැකි බැවින් ඒවායින් ලෝකය පුරාම කාලගුණික රටාවන්ට විශාල වශයෙන් බලපෑම් එල්ල කිරීමමේ හැකියාව ඇත.


නිදසුනක් ලෙස ඇමරිකාව හා ටෙක්සාස් වැනි පෙදෙස්වල වැසි සහිත කාලගුණික තත්ත්වයේ ඉහළ යාමක් සිදුවෙද්දී දකුණු අප්‍රිකාව වැනි පෙදෙස්වල ඉඩෝර සමය වඩාත් දරුණු වීමෙන් ආහාර හා ජල අර්බුදවලට තුඩු දියහැකිය. එසේම ඉන්දුනීසීයාව හා ඔස්ට්‍රේලියාව වැනි ආසියාතික රටවල ලැව්ගිනි හටගැනීමේ ප්‍රවණතාව ද ඉහළ යා හැකිය. එල් නිනෝවෙන් වනජීවින් කෙරෙහි ඇතිකරන බලපෑම වැඩි වශයෙන් දැනෙනු ඇත්තේ ගැලපගෝස් දිවයින්වලට බව වනජීවි විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ මීට පෙර ලබා ඇති අත්දැකීම්වලිනි. ඔවුන් පෙන්වා දෙන්නේ අසූව හා අනූව දශකවල දී හටගත් එල් නිනෝ තත්ත්ව නිසා ගැලපගෝස්හි පෙන්ගුයින් ගහණය විශාල වශයෙන් අඩුවූ බවයි. මීට හේතුව වන්නේ සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා එහි සිටින මත්ස්‍යයන්ට ලැබෙන ක්ෂුද්‍ර පෝෂක ප්‍රමාණය අඩුවීමෙන් ඔවුන්ගේ ගහණය අඩුවීම නිසා පෙන්ගුයින් පක්ෂීන්ගේ දෛනික මත්ස්‍ය පරිභෝජනයට බාධා එල්ලවීමයි.

1850 වකවානුවේ සිට මේ දක්වා ගෙවුණු කාලයේ දී සුපිරි එල් නිනෝ සංසිද්ධි හයක් පමණ වාර්තා වී තිබේ. ඒ 1877-1878, 1888-1889, 1972 – 1973, 1982-1983, 1997-1998, හා 2015-2016 යන වසරවලදීය. ඒ අතරින් වඩාත් ප්‍රබලම හා මිනිස් සංහතියට දරුණුම ඵල විපාක ගෙනදුන් ව්‍යසනයකට තුඩු දුන්නේ 1877 දී ඇරැඹූනු සුපිරි එල් නිනෝවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හටගත් අති දරුණු නියං සමය හා සාගතය නිසා ලෝක ජනගහනයෙන් 3% - 4% ක ප්‍රතිශතයක් මරුමුවට පත්වුහ. ඉන්දියාවේත්, චීනය හා බ්‍රසීලය වැනි රටවල පමණක් මිලියන පනහකට අධික පිරිසක් මියගියහ. අද වැනි කාලයක එය සිදුවූවා නම්, වත්මන් ජනගහන සංඛ්‍යාත අනුව නම් එය මිලියන දෙසියපනහකට ආසන්න පිරිසකි. පරිසර විද්‍යාඥයන් එය හඳුන්වා දෙන්නේ මනුෂ්‍යත්වයට එරෙහිව නැඟී සිටි ස්වභාව දහමෙන් එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුකළ බිහිසුණුම පාරිසරින ව්‍යසනය ලෙසය.


වසර ගණනාවක සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ මෙම එල් නිනෝ තත්ත්වය වඩාත්ම දරුණු වුයේ එම කාලයේ දී එවන් තත්ත්වයක් ගැන අත්දැකීම් හෝ නිසි දැනුමක් නොතිබුණු නිසා මෙන්ම අධිරාජ්‍යවාදීන් විසින් සිය යටත්විජිතවල ප්‍රජා පද්ධතිවල හුරුපුරුදු ජීවන රටාව වියවුල් කර තිබීම නිසා බව පවසන්නේ වොෂින්ටන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන දීප්ති සින්ග්ය. වර්තමානයේ දී වායුගෝලිය හා සාගර උෂ්ණත්ව තත්ත්ව 1870 වකවානුවටත් වඩා ඉහළගොස් තිබෙන් බැවින් එම කාලයේ දී අත්වින්ඳාට වඩා කිහිප ගුණයකින් දරුණු අත්‍යන්ත තත්ත්ව හටගැනීමේ සම්භාවිතාවක් අපට තිබුණ ද, එම අතීතයට වඩා වත්මන් පරම්පරාව එල් නිනෝ ගැන දැනුවත් බැවින් පොහොසත් වීමත්, කාලගුණික අන්වේක්ෂණ පද්ධති හා අනාවැකි පළකිරීම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතියත් නිසාවෙන් මෙවන් සංසිද්ධියකට මුහුණ දීමට ලෝකය වඩාත් හොඳින් පෙර සූදානමක් ඇතිව සිටීම එහි බලපෑම යම්තාක් දුරකට සීමා කරනු ඇති බවට මහාචාර්ය සින්ග් බලාපොරොත්තු පළ කරයි.


“කෙසේවුවත් හානිකර කාලගුණික තත්ත්ව දිගු කාලීනව පැවතීමේ වැඩි නැඹුරුතාවක් දක්වන කලාපවල මෙවැනි අත්‍යන්ත කාලගුණික තත්ත්ව නිසා ආහාර, ජලය හා ආර්ථික සුරක්ෂිතතාවය අවධානමට ලක්කරන්නත්, අන්තර් සම්බන්ධිත ආර්ථික සමාජීය පද්ධතිය ඔස්සේ ගෝලීය වශයෙන් ව්‍යප්ත වීමටත් හැකියාවක් තියෙනවා.” මහාචාර්ය සින්ග් පවසන්නීය.

ශ්‍රී ලංකාව සැලකු කල ප්‍රබල ඒල් නිනෝ තත්ත්වයකින් වැඩිම බලපෑමක් එල්ලවනු ඇත්තේ නිරිතදිග මෝසමටය. ශ්‍රී ලංකාවට ප්‍රධානකොටම වැසි ලැබෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා විහිදෙන, බස්නාහිර, මධ්‍යම හා දකුණු කොටස්වලට වැසි ගෙනෙන නිරිතදිග මෝසමෙන් හා දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා දිවෙන, උතුරු හා නැගෙනහිර වෙරළබඩ තීරයට ප්‍රධාන වශයෙන් වැසි ගෙනෙන ඊසාණදිග මෝසමෙනි. එල් නිනෝ තත්ත්වයක දී නිරිතදිග මෝසම දුබලවීම නිසා මධ්‍යම හා බස්නාහිර කලාපවල කෘෂිකාර්මික වගාබිම්වලට ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය අගයට වඩා බෙහෙවින් අඩු විය හැකිය. කෙසේවුවද මීට ප්‍රතිවිරුද්ධ ත්ත්වයක් ඊසානදිග මෝසම සම්බන්ධයෙන් දැකිය හැකි වනු ඇති බවයි කාලගුණික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.


එනම් උතුරු හා නැගෙනහිර කලාපවල ජල ගැලීම් තත්ත්වයකට පවා තුඩුදිය හැකි අන්දමේ ඉහළ වර්ෂාපතනයක් එල් නිනෝව නිසා අපේක්ෂිතය. කෙසේවුවද සමස්තයක් ලෙස සැලකු කල එල් නිනෝ නිසා ලංකාව පුරාම දැඩි උණුසුම්, වියළි කාලගුණික තත්ත්වයක් හටගත හැකි බවත්, ඒ නිසා ජලාශ සිඳීයාම, වගා කටයුතු අඩාලවීම සිදුවිය හැකිවා සේම, දැඩි උණුසුම හමුවේ මහජන සෞඛ්‍ය, ජල සැපයුම හා ශ්‍රම ඵලදායිතාව අවධානමට ලක්විය හැකි බවට විද්වත්හු අනතුරු අඟවති. විශේෂයෙන්ම වර්ෂාව මතම යැපෙන ලංකාවේ යල හා මහ කන්නවල අස්වනු එල් නිනෝ හමුවේ දැවැන්ත පසුබෑමකට මුහුණ දීමට නියමිතය.

2026-2027 එල් නිනෝව හමුවේ ශ්‍රී ලංකාව මුහුණදීමට නියමිත අර්බුදය සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් කිව හැක්කේ එය සියලුම ශ්‍රී ලාංකිකයන්ට අයපත් කාලගුණික තත්ත්වයක් ගෙන එන්නක් නොවන බවය. සිදුවනු ඇත්තේ අදියර දෙකකින් යුතු සංකීර්ණ කාලගුණික රටාවකට, එනම් ආරම්භයේ දී බස්නාහිර හා දකුණුදිග කලාපවලට වියළි හා ඉඩෝර සමයකුත්, නැඟෙනහිර හා උතුරුදිග කලාපවලට ඊට සමගාමීව වැසි හා ගංවතුර තත්ත්වයකුත් හටගැනීමය. එනම් ලංකාව සම්බන්ධයෙන් එල් නිනෝව ඒකාකාරී ව්‍යසනයක් ඇති කරනවා වෙනුවට විවිධ කාලවල දී විවිධ ප්‍රදේශවලට එකිනෙකට සපුරා හාත්පසින්ම වෙනස් අත්‍යන්ත කාලගුණික තත්ත්ව ඉන් හටගන්වනු ඇති හෙයින් මීට සාර්ථකව මුහුණ දීම සඳහා කලාපීය හා සෘතුමය වශයෙන් විශේෂිත වූ යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබේ.

 

More News..