brand logo
logo
වැඩිහිටියන් 76,000කට  ‘අස්වැසුම’  දෙන්න අමාරුයි

වැඩිහිටියන් 76,000කට ‘අස්වැසුම’ දෙන්න අමාරුයි

04 July 2026 | සාලිය කුමාර ගුණසේකර

ජාතික හැඳුනුම්පත​ නොමැති වීම හේතුවෙන් වයස අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභි වැඩිහිටියන් 76,706 දෙනකුගේ තොරතුරු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට එකතු කිරීමට නොහැකි වී ඇතැයි අනාවරණය වේ.


‘අස්වැසුම’ පළමු සහ දෙවැනි අදියර යටතේ වැඩිහිටියන් 698,790 දෙනකුට රුපියල් 5,000ක වැඩිහිටි දීමනාව ලබාදෙන බවත් ජුනි මස 22 වැනිදා වනවිට සමාජ ආරක්ෂණ පද්ධතියට එම තොරතුරු ඇතුළත් කර ඇති වැඩිහිටියන් සංඛ්‍යාව 179,298ක් බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මංචනායක පැවැසීය.


තවද වැඩිහිටි දීමනාව ලබන වැඩිහිටියන්ගෙන් 232,496 දෙනකුට උප තැපැල් කාර්යාල මගින් අදාළ දීමනාව ලබාදෙන බවද ඔහු කීවේය.


සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට අදාළ තොරතුරු ඇතුළත් කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් සතුව ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා බවත් වැඩිහිටියන්ට එය ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ගත යුතු ක්‍රියාමාර්ග දැනුම් දී තිබෙන බවත් ලේකම්වරයා කියා සිටියේය.


මේ අතර ‘අස්වැසුම’ ප්‍රතිලාභය ලබන පවුල්වල ආබාධ සහිත තැනැත්තන් 175,684 දෙනකු සඳහා ආබාධිත දීමනාව ලබාදෙන බවද මෙම පිරිසෙන් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කර ඇත්තේ පුද්ගලයන් 105,672 දෙනකුගේ පමණක් බවද ඔහු කීවේය.


මේ අනුව අදාළ ආබාධිත පුද්ගලයන් සංගණනය නොකර තිබීම, ජාතික හැඳුනුම්පත නොමැති වීම සහ පද්ධතියේ අභ්‍යන්තර දෝෂ යනාදී කාරණා හේතුවෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිටින ආබාධිතයන්ගේ දත්ත සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට එකතු කිරීමේදී ගැටලු සහගත තත්ත්වයන් උද්ගතව තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.


අඩු ආදායම්ලාභි පවුල්වල පුද්ගලයන් 53,013 දෙනකු වකුගඩු රෝගී ප්‍රතිලාභය ලබාගන්නා බවත් ජුනි මස 22 වැනිදා වනවිට එම පිරිසෙන් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කර ඇත්තේ 27,407 දෙනකු පමණක් බවත් හෙතෙම කීවේය.


මෙලෙස ඔවුන්ගේ දත්ත සමාජ ආරක්ෂණ පද්ධතියට එකතු නොවීමට බලපා ඇත්තේ එම රෝගී පුද්ගලයා සංගණනය කර නොතිබීම, ජාතික හැඳුනුම්පතක් නොතිබීම, පද්ධතියේ තාක්ෂණික දෝෂ සහ වෛද්‍ය වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයන් යන කාරණා බවද ඒ මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව කියා සිටියේය.

 

More News..