සබරගමුව වෛද්‍ය පීඨය ජූලි 04 සිසු අයිතියට - පීඨාධිපති
02 July 2026
සබරගමුව වෛද්‍ය පීඨය ජූලි 04 සිසු අයිතියට - පීඨාධිපති
02 July 2026
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, ජුලි මස 04 දින සිසු අයිතියට පැවරීමට නියමිතව තිබේ.
එම වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිර්මලී වික්‍රමරත්න මහත්මිය සඳහන් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදුකිරීමට නියමිත බවයි.
මීට සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධානී Eng.Faisal M. Alkahtani මහතා ඇතුළු ආරාධිතයන් ද එක්වන බව පීඨාධිපති පවසයි.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රදානයන් යටතේ ඉදිකර ඇති මෙම වෛද්‍ය පීඨය පිහිටා ඇත්තේ රත්නපුර නව නගරය ආශ්‍රිතවය.
අක්කර 21කින් යුක්ත භූමියක පිහිටි මෙම වෛද්‍ය පීඨය තුළ මෙම වර්ෂය සදහා වෛද්‍ය සිසුන් 162 දෙනෙකු ඇතුලත් කර ගෙන ඇත.
මේවන විට මෙහි වෛද්‍ය සිසුන් 750 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරනු ලබයි.
මෙම පීඨය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදී ඇති මුදල රුපියල් මිලියන 1096කි.
සෞදි රාජ්‍යය මේ සඳහා ලබාදී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 50කි.
මෙය සිසුන් 500කට එකවර නේවාසික පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින්ද, 1060කට එකවර අසුන් ගත හැකි ශ්‍රවණාගාරයකින්ද යුක්තය.
එමෙන්ම මෙය අසුන් 250කින් සමන්විත දේශනාගාර දෙකකින්ද, සිසුන් 200 ක් අසුන් ගත හැකි දේශනාගාර එකකින් ද සහ සිසුන් 160ක් අසුන් ගත හැකි දේශන ශාලා තුනකින්ද සමන්විතය.
කාර්ය මණ්ඩලයේ නේවාසිකාගාර, ආපනශාලාවලින්ද මෙම පරිශ්‍රය සමන්විතය.
රත්නපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව මහල් නවයකින් යුත් අංගසම්පූර්ණ මහාචාර්ය ඒකකයක්ද මෙම වෛද්‍ය පීඨය වෙනුවෙන් ඉදිකරමින් පවතියි.
එහි ඇඳන් 418 ක් සහ අංගසම්පූර්ණ විද්‍යාගාර, රසායනාගාර ඇතුළු වෙනත් පහසුකම්වලින් එය සමන්විතය.
මේ පිළිබඳ වැඩිදුරට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිර්මලී වික්‍රමරත්න මහත්මිය මෙසේ පැවසීය.
"වර්ෂ 2005 දී සබරගමුව විශ්වවිද්‍යාලයේ සැලැස්මට මෙම වෛද්‍ය පීඨය ඇතුළත් කළා.
වර්ෂ 2019 දී රජය මගින් ගැසට් කර එම වර්ෂයේදීම සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සිසුන් 72 දෙනෙකුගෙන් ආරම්භ කළ කළා.
එය කුරුවිට පිහිටි රජයේ විගණන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සංකීර්ණයක එය ආරම්භ කළා.
මීට අමතරව රත්නපුර පිහිටි විදේශ සේවා නියුක්ති කාර්‍යංශය සතු ගොඩනැගිලි සංකීර්ණයක, සබරගමුව පළාත් සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකද දේශන පැවැත් වූවා."

