brand logo
logo
බලු ලියාපදිංචිය රජ වැඩක්

බලු ලියාපදිංචිය රජ වැඩක්

04 July 2026 | බියංකා නානායක්කාර

අද ඔහොම ලංකාවේ පාරවල් ගානේ බල්ලන් දඩාවතේ ගියත් සුද්දන්ගේ කාලයේ නම් මෙහෙම පාරවල් ගානේ රජකරන්නට බල්ලන් සිටියේ නැත. ඒ සුද්දන් විසින් මිනිසුන්ට පැනවූ බදු අතරට ‘බලු බද්දක්’ ද පැනවූ නිසාය.

1848 අංක 9 දරන පනත යටතේ ගෙදර දොර ඇති කරන ලද හෝ ගැවසුණු බල්ලන් වෙනුවෙන් සුද්දන්ගේ ආණ්ඩුවට බද්දක් ගෙවිය යුතු වුණේය. යම් බල්ලෙක් වෙනුවෙන් කිසිවෙක් ඒ බද්ද නොගෙවා සිටියේ නම් අදාළ බල්ලා දියේ ගිල්වා මරන්නට ද එදවස නි​යෝග කර තිබිණි. ප්‍රාණඝාතය අකුසලයක් ලෙස සලකන බෞද්ධ සමාජයෙන් එයට එදා දැඩි වි​රෝධතා ද පැන නැගුණේය. දැන් අපේ රට සුද්දන්ට යටත් නැත. ඒ නිසා බලු බදුද ඇත්තේ නැත. බද්දක් නැති නිසාදෝ බල්ලන් දහස් ගණනකට අද මහපාර උරුම වී ඇත.

හදිසියේම පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ලාල් කාන්ත ඇමැතිවරයාට බලු බද්ද අලුතෙන් මතක් වුණේය. ඒ ප්‍රාදේශීය සභාවලට සල්ලි හම්බකර ගන්නා ක්‍රමය ගැන පාඩමක් කියා දෙන අවස්ථාවේය.

‘‘ප්‍රාදේශීය සභාවකට කරන්න වැඩ තියෙනවනේ. ඒ වැඩවලට සල්ලි ඕන. ඒ ගොල්ලන්නට බලය තියෙනවා ඒ ආදායම් හොයන්න. එක එක වැඩ කරන්න ඕන ඒකට. කඩවල්වලින් බදු ගනියි. එක්කො බදු අඩු කරන්නත් පුළුවන්, බදු වැඩි කරන්නත් පුළුවන්. සල්ලි මදිනම් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පස් බාගේ ‘බල්ලො හදන හැම ගෙදරකටම බලු බද්දක් ගහන්න.’’

මේ කතාවත් සමග පසුගිය කාලයේ බල්ලන් හදන බොහෝ දෙනකුගේ හිත් සැකයෙන් උණුසුම් වී තිබුණේ ජාතික ජන බලවේග ආණ්ඩුවෙනුත් සුද්දන්ගෙ කාලයේ මෙන් හැම ගෙදරකම හදන බල්ලන් වෙනුවෙන් බද්දක් ගසනු ඇතැයි කියාය. එමෙන්ම බද්දක් ගෙවන්නට හිමිකාරයකු නැති බල්ලන්ගේ ඉරණම ශෝචනීය වනු ඇත කියාය. නමුත් එසේ නොවී අවුරුද්දක්ම එය කතාවක් පමණක් වී දෙසවන්හි රැඳී තිබුණා පමණි. අවුරුද්දකට පසුව අපේ රටේ බල්ලන් ගැන කතාවක් ආණ්ඩුවෙන්ම මේ සතියේ යළිත් කරළියට ආවේය. ඒ මේ සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ දීය.

2026 ජුනි 30 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ අතරේ ‘‘සුනඛ ලියාපදිංචිය අනිවාර්ය කරන ගැසට්ටුවක් ගැන තීරණය වී තිබිණි. ඒ අනුව එහි වැඩි විස්තර ලෙස සඳහන්ව තිබුණේ (476 වන අධිකාරිය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥා පනත සහ (477 වන අධිකාරිය වූ) සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥා පනත ඒකාබද්ධ කර සුනඛ ගහනය පාලනය කිරීම, සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත් දීම විධිමත් කිරීම හා අනිවාර්ය කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීමේ නීතිමය වශයෙන් ශක්තිමත් කිරීම, එම කාර්යයන් සඳහා වගකිව යුතු ආයතනවල බලතල හා වගකීම් පැහැදිලි කිරීම සහ එකී වගකීම් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම යන කාර්යයන් අරමුණු කරගනිමින් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2025 සැප්තැම්බර් 22 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන ඇමැති ආචාර්ය චන්දන අබයරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

පවතින පනත් දෙකක් එක්කර අලුත් පනතක් ලෙස එන ලංකාවේ සුනඛයන් ලියාපදිංචි කිරීම අස්සේ ලාල් කාන්ත ඇමැතිවරයා කීවා සේ තමන්ගේ ගෙදර හැදෙන බල්ලා වෙනුවෙන් ලියාපදිංචි ගාස්තුව දැනගත හැකිවන්නේ මේ පනත ආවාට පසුවය.

නමුත් ජලභීතිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරෝෂන් ගමගේ කියන්නේ මේ පනතින් වඩා වටින්නේ පනත නිසි ලෙස ක්‍රියාත්මක වූ විට 2030 වන විට ලංකාවෙන් ජලභීතිකාව තුරන් කළ හැකි බවයි.

‘‘අලුත් පනතක් ලෙස එන සුනඛයන් ලියාපදිංචිය ලංකාවට ඉතාම හොඳ වැඩක්. මේකෙන් සිද්ධ වෙන විශේෂතම දේ ජලභීතිකාව තුරන්වීම. ජලභීතිකාව ගැන අනෙකුත් ලෙඩ වගේ නිතර කතා නොකළත්, ලංකාවේ හැම අවුරුද්දකම ජලභීතිකාවෙන් මිනිස්සු මැරෙනවා. 1970 ගණන්වල 400 ක් විතර මේ රටේ ජලභීතිකාවෙන් මිනිස්සු මැරුණා. මර්දන වැඩසටහනත් එක්ක මේ වෙද්දී ඒ සංඛ්‍යාව ගොඩක් අඩු වුණා. ගිය අවුරුද්දේ අපේ රටේ ජලභීතිකා මරණ 14 යි වාර්තා වුණේ. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑවේ සතුන් එන්නත් කිරීම සහ සතෙක් මිනිසෙක් හපා කෑ කල ප්‍රතිකාර කරන්නට ප්‍රතිකාර මධ්‍යස්ථාන සෑම රෝහලකම දමා තිබීම. මේක නොපෙනුණාට ලොකු ව්‍යසනයක්. ජලභීතිකාවට 40% ක් පමණ භාජනය වන්නේ අවුුරුදු 14 ට අඩු ළමයි. 70 දෙනෙක් විතර ජලභීතිකා මරණ සිද්ධ වෙලා තියෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. රටේ ජලභීතිකාවට 99% ක් වග කියන්න ඕන සුනඛ සපාකෑම්. ගෙදර සුරතලයට සුනඛයෙක් හදනවා නම් වගකීම් සහගත පාලනයකට ඒ සතා හදන්න ඕන. කෑම, බීම, නඩත්තුව නිරෝගීව තබා ගැනීම සඳහා නිසිලෙස එන්නත් කිරීම වන්න ඕනෑ. සුනඛ ලියාපදිංචියෙන් සිදුවන්නේ මේ දේ ක්‍රමවත් කිරීම.’’

අපේ රටේ කෙතරම් ප්‍රමාණයක් බල්ලන් සිටින්නේ දැයි සංගණනයක් කර නැතත්, පැරණි විද්‍යාත්මක ගණනයන්ට අනුව අනුමාන ඇස්තමේන්තුව ලංකාවේ මිලියන තුනකට ආසන්න බල්ලන් ප්‍රමාණයක් සිටින බවටයි. ඒ මිලියන තුන තුළට අයිතිකාරයන් ඇති, අයිතිකරුවකු හිටියත් නෑ වගේ ඉන්නා සහ සම්පූර්ණයෙන් අයාලේ යන වීදි සතුන් ඇතුළත්ය. විවිධ ආයතනවලින් කර ඇති ගණනයන්ට අනුව වීදි සතුන් මේ වෙද්දී 12% ක් පමණ ලංකාව තුළ ඇති බවට අනුමාන කරයි.

‘‘1950 ගණන්වල ඉඳලම ලංකාවේ ජලභීතිකා මර්දන ව්‍යාපාරය තිබුණත් දූපතක් වෙලත් තවමත් මේ රෝගය අපට තුරන් කරගන්න බැරි වුණා. ජලභීතිකා එන්නත ගහන්න අපි ගමට ගියත් සමහර මිනිස්සු සතාට එන්නත් කරන්න ගේන්නෙ නෑ. සමහර මිනිස්සු ගෙදර හදන සතා ගැන වගකීමක් ගන්නෙ නෑ. අයිතියක් ගන්නෙ නෑ. ගෙවල් ගාව ඉන්න සතෙක් කියනවා. ඉතින් එවැනි තත්ත්වයනට මේ එන ලියාපදිංචි කිරීමේ පනත ඉතාම හොඳ දෙයක්. සමහර ප්‍රාදේශීය සභාවලින් දැනටත් ජලභීතිකා එන්නත විදින කොට ඒ සුනඛයන් ලියාපදිංචි කරනවා. රුපියල් 50 ක් විතර අය කරලා. ඒක මේ පනත මගින් ක්‍රමවත් වෙනවා. ගෙදර හදන සතා ලියාපදිංචි කරලා ඒ නීති රීතිවලට අනුව හදන කොට, පාරේ ඉන්න සත්තු යම් කාලෙක මැරිලා ගියාම, ආයෙ පාරට සත්තු වැටෙන්නෙ විදියක් නෑ. එතකොට වීදි සුනඛ ප්‍රශ්නය ඉවරයි. ජලභීතිකා ප්‍රශ්නයත් ඉවරයි. මහමග සුනඛ සපාකෑම් සිදුවන්නෙත් නෑ.’’

අවුරුදු 70 ක් තිස්සේ අවසන් කරන්නට හදන ජලභීතිකාව ප්‍රශ්නය මේ අයුරින් අවසන් කරන්නට හැකි, නව පනත, මේ රටටත් මිනිස්සුන්ටත්, සුනඛයන්ටත් ඉතාම සුවදායක එකක් බව කීවේ රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය උපුල් රංජිත් කුමාරයි.

පාරේ ඉන්න බල්ලන්ට කෑම දෙන්නට බොහෝ දෙනෙක් හුරුවී ඇතත් නීතියට අනුව පාරේ බල්ලන්ට කෑම දෙන විට ඒ අයගේ අයිතිය සහ වගකීම් ඇත්තේ කෑම දෙන්නා ළඟ බව බොහෝ දෙනක් නොදන්නා නොසිතන කාරණයකි. ගේ ළඟ පාරේ ඉන්නා බල්ලා මිනිසකු සපා කෑ කල ඒ බල්ලා අපේ නෙවේ, පාරේ ඉන්නේ, මං කෑම දෙනවා කියා ඇඟ බේරා ගන්නට බැරිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ කියන්නේ සුනඛයන් ලියාපදිංචි කිරී​මේ නව ගැසට්ටුව ආ කල එසේ අයිතියක් ඇති සතුන් සියල්ල ලියාපදිංචි වියයුතු බවයි. ගෙදර බල්ලන් දහදෙනකු හදන්නේ නම් දහදෙනාමද ලියාපදිංචි කළ යුතුය.


‘‘පනත ආවාම තමයි ඇත්තටම ලියාපදිංචි ගාස්තුව වගේ දේවල් දැනගන්න වෙන්නේ. නමුත් පවතින පනත් දෙක එක්තැන් කරලා එන මේ පනතින් අපේ ර​ටට හොඳ දෙයක් මිසක් අයහපතක් වෙන්නේ නෑ ඔහු කීවේය.


 

More News..