brand logo
logo
ඉස්කෝලෙට ෂෝට් ඊට්ස් වානා බත් - ආප්ප - ඉඳිආප්ප කොස් කොත්තුම ඕනෑ

ඉස්කෝලෙට ෂෝට් ඊට්ස් වානා බත් - ආප්ප - ඉඳිආප්ප කොස් කොත්තුම ඕනෑ

27 June 2026 | ඉන්දික සංජීව විතාන

හෘදයාබාධයකින්, අධික රුධිර පීඩනයෙන් හෝ දියවැඩියාවෙන් රෝගියකු දිවි සැරිය නිමා කළේ නම් ඔහු හෝ ඇය දිවි ගමනේ සැඳෑ සමය ගත කළ අයෙක් වූයේ ඉස්සරය. දැන් දැන් නම් හිටි හැටියේ තරුණ තරුණියන් මරණයට


පත්වීමට හේතුව ඉහත කී කාරණා බව කීම අදහා ගන්නට බැරි පුවතකි. කොටින්ම කියනවා නම් දෙසතියකට ඉහතදී රටම කම්පා වූ මරණයකට හේතුව හෘදයාබාධයකි. ඒ මරණය ගැන කම්පා වූයේ මියගොස් ඇත්තේ 24 වියැති තරුණයකු වීම නිසාය. ඔහු ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුමගේ පුතාය. ඔහුගේ මරණයට හේතුවද හෘදයාබාධයකි. විවිධ රෝග ඇති දෙමාපියන් ජීවත්ව සිටියදී මෙසේ දරුවන් අකාලයේ මැරෙන්නේ ඇයි? ඊට වෛද්‍ය විද්‍යාත්මකව දෙන පිළිතුර වන්නේ අධික ලුණු, සීනි හා පිටි හා මේදය ය.


දරුවන් මේ තරම් පිෂ්ටයට සේම සීනිවලට හුරුවන්නේ පැටිවියේ පටන්ය. එහි හැරවුම් ලක්ෂ්‍යය දරුවන් පාසල් යාමට පටන් ගන්නා කාලය ය. ඒ ගැන කල්පනා කළ සෞඛ්‍ය බලධාරීහු ගිය සතියේ දැඩි තීරණයක් ගත්හ. ඒ, සමස්ත පාසල් පද්ධතියේ සිටින දරුවන්ගේ ජීවන රටාව සැලකිල්ලට ගෙන අධික ලුණු, සීනි, සහ ශරීරයට අහිතකර මේදය අඩංගු අධි සැකසූ ආහාර වර්ග රැසක් පාසල් ආපන ශාලාවෙන් ඉවත් කිරීමටය. වර්තමානයේ දරුවන් අතර අධි බර සහ ස්ථුලතාව සමගම ඒ හේතුවෙන් ඇතිවන බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ඉහළ යාමේ බරපතළ ප්‍රවණතාවක් පවතින බැවින් සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි සෞඛ්‍යසම්පන්න ආහාර සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් මෙලෙස නව දැඩි මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේය.


කලකට ඉහත අපට වැලඳුණ ලෙඩේ මොකක්දැයි ඇසූවිට අප කියන්නේ එක් ලෙඩක්ය. එක්කෝ පපුවේ අමාරුවක්ය. නැත්නම් බඩේ අමාරුවක්ය. ඔය ආදී වශයෙන්ය. නමුත් වර්තමානය වන විට අප රෝග කිහිපයක් එකතු කර එක් නමක් කියන්නට පුරුදු වී ඇත්තේය. වෛද්‍ය භාෂාවෙන් ඒ සියල්ලටම කියන තනි වචනය බෝ නොවන රෝග කියාය. ඒ වාගේම එකල වයිරසයක් හෝ බැක්ටීරියාවක් වැලඳීමෙන් රෝගි වෙනවා කීවද අද වන විට එවැනි හේතුවක් නොමැතිව වැලඳෙන සේ පෙන්වන බෝ නොවන රෝග අද ජනයා අතර බහුලව පැතිර යන්නේය. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පිළිකා මේ වනවිට බෝ නොවන රෝග වශයෙන් හඳුනාගෙන ඇත්තේය.


කොහොම නමුත් එකල මේ ආකාරයේ බෝ නොවන රෝග කියා අහන්නට දකින්නට ලැබුණේ ඉතා කලාතුරකින්ය. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පිළිකා රෝග මේ ආදියෙන් යම් පුද්ගලයකු මියගියේ නම් එය ද ඉතා කලාතුරකිනි. අපේ පැරැන්නන් එකල මෙවැනි රෝගවල නමක් පවා දැනගෙන තිබුණේදැයි කියන්නට බැරිය.


වර්තමානයේ මේ කියන බෝ නොවන රෝගවලට මූලිකම හේතුව වශයෙන් දකින්නේ එදා අපේ පැරැන්නන්ගේ ආහාර රටාව අමතක කිරීම බවය. රෑට උයන බත් ඉතිරි වුවහොත් දිය බත් ආහාරයට ගැනීම එදා සිරිතය. ශරීරයේ උෂ්ණ ගතිය ඇත්නම් දිය බත්ද ශක්තිය අවශ්‍ය නම් හීල් බත් ද වැදගත්ය.

‘හීලට තිබුණ බත් දීපන් ළමයින් ට


රාලට ටිකක් දීපන් වැඩට යන්න ට’

යන පැරණි කවි දෙපදයෙන් ද මෙය තහවුරු වෙන්නේය. ළමයාට මානසික හා කායික ශක්තිය අවශ්‍යයි. ‘රාල’ යනු ගෙදර ප්‍රධානියාය. ඔහු උදේ යන්නේ හේනේ, කුඹුරේ වැඩටය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හීල් බතෙන් ලැබුණේය. හීල් බත් කා හේනට කුඹුරට ගිය ගැමියා ඉහින් කනින් දාඩිය වැගිරෙන තුරු වැඩපොළ කර දහවලට ගෙදර ආවේ වැවෙන් දිය නාගෙනය.ඔවුන් නිතරම ආහාරයට ගත්තේ කැලේ කොළේ වැවෙන වස විස නැති අල බතල පලා ඔය ආදිය ය. වැවෙන් ඕලු නැටි, මානෙල් නැටි, කෙකටිය මල් මිටක් කඩාගෙන ආවේය. හේනෙන් එළබටු ටිකක් ලෝලු දලු, තෝර කොළ, කර කොළ, අඟුණකොළ, මැල්ල කොළ, කරපිංච අත්තක්, තැල්කොළ මිටක් කඩාගෙන ආවේය. එයට අමතරව කංකුන්, මුඟුණුවැන්න, තුන්හිරිය පලා ටිකක් වාගේම මෑකරල්, මුං, බණ්ඩක්කා, තම්පලා ඔය ආදිය ද ගෙදරට ගෙනාවේය. එදා රතුහාලේ බතක් එක්ක පලා මැල්ලුමක්, මුං ඇට හොද්දක්, අඹ හොද්දක්, කුරක්කන් රොටියක්, පිට්ටුවක් , ආනමක් හදා කෑමට ගත්තේ කිසිම වස විසක් නැතුවය. එයට අමතරව එදා අපේ පැරැන්නන් අනුභව කළ තවත් ගමේ ආහාර බොහොමයක් තිබුණේය. ඒ නිසාම ඔවුන් අවුරුදු 90-100 පරමායුෂ ගෙව්වේ ඉහින් බහින රෝගයක් නැතිවය.


නමුත් අද වන විට යටකී ආහාර පාන ආහාරයට ගත් පුද්ගලයෙක් තබා දුටු අයෙක්වත් නොමැති තරම්ය. ළමා, තරුණ පිරිස පමණක් නොව වැඩිහිටියන් කන්නේ බොන්නේද යෝගට්, අයිස්ක්‍රීම්, චොක්ලට්, සෝස්, ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල්, මුරුක්කු, චොක්ලට් බීම ඔය වැනි දේවල්ය. දිගින් දිගටම එවැනි ආහාර අනුභවය බෝ නොවන රෝගවලට හේතුවක් බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වෙන්නේය. ඒ අතරේ ෂෝට් ඊට්ස් හෙවත් කෙටි ආහාර හැම ඉස්කෝලයකම අසල කඩවලට ආවේය.


ඊට අම්මා තාත්තාද ප්‍රිය කළෝය. බතක්, මුංඇට, කඩල තම්බා දරුවන්ට පිළියෙල කරදීමට වඩා රෝල්ස්, කට්ලස්, පැටිස්, සැන්ඩ්විච් කඩෙන් දරුවන්ට මිලදීගෙන දීම අම්මලා තාත්තලාට පහසු වූවේය. එහි ප්‍රතිඵලය දැන් ලැබී ඇත්තේය. පැටි වියේ දරුවන්ටත් හෘදයාබාධය ය, අධික රුධිර පීඩනය ය, සීනිය. අලි පැටව් සේ ළමයි ස්ථුලය. අඩි දහයක් ඇවිදින්නට බැරිය. ඒ සියල්ලට හේතුව කෑම බීමය.


එමෙන්ම 2024 වසරේ පවත්වන ලද ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයට අනුව, සැලකිය යුතු පාසල් සිසුන් පිරිසක් (අවුරුදු 13 - 17 අතර) සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන වර්ග නිතර පරිභෝජනය කරන බව වාර්තා වී ඇති බවත් එහි දත්තයන්ට අනුව සිසුන්ගෙන් 17.4% ක් දිනපතා කාබනීකෘත බීම වර්ග ලබාගන්නා බව ද සිසුන්ගෙන් හතරෙන් එකකට වඩා වැඩි පිරිසක් (28%) දිනපතා සීනි සහිත පාන වර්ග පරිභෝජනය කරන බව ද අවධාරණය කරන ලදි.


ඒ වාගේම සිසුන්ගෙන් 28.5% ක් දිනපතා ලුණු අධික කෙටි ආහාර සහ 29.3% අධික මේදය සහිත ආහාර ලබා ගන්නා බවද, 40.9% ක් දිනපතා අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බවද විශේෂයෙන්ම, සිසුන්ගෙන් අතිමහත් බහුතරයක් (70.4%) පසුගිය සතිය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ක්ෂණික ආහාර අලෙවිසල්වලින් හෝ මග දෙපස වෙළෙන්දන්ගෙන් ආහාර හෝ කෙටි ආහාර ගෙන ඇති බවද පෙන්වා දෙන්නේය.


හෙට දවසේ රට භාර ගැනීමට සිටින අනාගත දරු පරපුර වෙත ඉහළම බලපෑමක් ඇති කරනු ලබන ප්‍රධානතම ආයතනය වන්නේ පාසලය. වයස අවුරුදු 5-18 අතර වයස් කාණ්ඩයේ රටේ ජනගහනය, පැය 6කට වැඩි කාලයක් ගත කරන්නේ පාසලේය. මේ නිසාවෙන් දරුවන්ගේ පෝෂණය සහ යහපැවැත්මේ තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන්නේ පාසලටය. පාසල් කාලයේදී, නිවැරැදි ආහාර පරිභෝජන රටාවකට යොමු කිරීමට සුදුසු ස්ථානය පාසල් ආපන ශාලාවය. ඒ හරහා නිවැරැදි පෝෂණ පුරුදුවලට හුරු කිරීමෙන් නීරෝගි දරු පරපුරක් රටට දායාද කිරීමට මෙන්ම අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමටද ඉන් මනා පිටුබලයක් ලැඛෙන්නේය.


මේ අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ එක්ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් සකස් කළ ‘සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය’ පසුගියදා එළිදැක්වීය. මෙම මාර්ගෝපදේශය මගින් පාසල් දරුවන් අතර නිවැරැදි ආහාර පුරුදු වර්ධනය කිරීම, අහිතකර ආහාර පරිභෝජනය අවම කිරීම සහ පාසල් ආපනශාලා සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම අරමුණු කරගෙන ඇත්තේය.

පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වස විසෙන් තොර ආහාර රටාවකට හුරු කිරීම සඳහා මෙම පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශනය විද්වත් කමිටුවක් විසින් සියලු අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවෙන් යුතුව වසර එකහමාරක පමණ කාලයක් ගෙන සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පෝෂණ අංශය) විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න කියා සිටියාය.

මෙහිදී අපි ප්‍රධාන අරමුණු 5කට අදාළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තමයි මෙම මාර්ගෝපදේශය එළිදැක්වූවේ. එතැනදී නිසි පෝෂණයෙන් යුතු, බෝ නොවන රෝග අවදානමින් මිදුණු නිරෝ• පාසල් දරු පරපුරක් රටට දායාද කිරීම, පාසල් සිසුන්ට රසවත්, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම, පාසල් ළමුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ නිවැරැදි ආකල්ප ඇති කිරීමට දායකවීම තුළින් නිවැරැදි ආහාර පුරුදු හා හැසිරීම් ඇති කිරීම, සෞඛ්‍ය සම්පන්න / නිවැරැදි ආහාර පුරුදු පාසල් දරුවා මගින් සමාජගත කිරීම සහ ආපනශාලා නිසි පරිදි පවත්වාගෙන යාම සහ සනීපාරක්ෂාව සහතික කිරීම ඒ අතර වෙනවා.

ඒ අනුව වර්තමානයේ වෙළෙඳපොළේ සුලබව පවතින සෞඛ්‍ය සම්පන්න නොවන විවිධ ආහාරපාන නිසා දරුවන් යොමුවී ඇත්තේ වැරැදි ආහාර රටාවන්ටය. දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට නම් එවැනි සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පරිභෝජනය අවම කළ යුතුය.


ඒ සදහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ නිර්දේශ මත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඇතැම් ආහාර වර්ග පාසල් ආපනශාලා සහ පාසල් පරිශ්‍රයන් තුළ අලෙවි කිරීමත් ප්‍රචාරණය කිරීමත් තහනම් කර ඇත්තේය.


ඒ සිරුරට අහිතකර මේදය අඩංගු ආහාර, අධික ලුණු සහ කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර, සීනි අධික ආහාර, පෝෂණ ගුණයෙන් හීන කැලරි අධික ආහාර සහ අති සැකසූ ආහාර වර්ගය.

ඉහත ගණයට අයත් වන්නේ සොසේජස්, මීට් බෝල්ස්, බේකන් සොසේජස් බනිස්, බර්ගර්, හොට්ඩෝග්, පීසා සබ්මැරින්, ක්‍රීම් බනිස්, ජෑම් බනිස්, පේස්ට්‍රි, කෘත්‍රිම රසකාරක යෙදූ චිලිපේස්ට්, සුප් කැට, සීසනින් පවුඩර් යෙදූ ආහාර, ක්ෂණික සුප් වර්ග, තක්කාලි සෝස්, සෝයා සෝස්, ක්ෂණික නූඩ්ල්ස් වර්ග, පැකට් හා ටින් කරන ලද අච්චාරු වර්ග, චුයින්ගම් ටොෆි, ලොසින්ජර්, ලොලිපොප්, දෝසි, කිසස්, ජුජුබ්ස්, බොම්බයි මොටයි, බුල්ටෝ, අයිස් පැකට්, අයිස් පලම්, ජෙලි වර්ග, අධික ජෙලටින් අඩංගු ආහාර වර්ග, බූන්දි, මස්කට්, බයිට්, මුරුක්කු, චොකලට් වර්ග, සියලු බිස්කට් වර්ග, කේක් වර්ග, අධික සීනි සහිත පුඩින් වර්ග, කාබනික දෑ අඩංගු බීම වර්ග, රසකාරක හා වර්ණ කාරක අඩංගු පාන වර්ග, යෝගට්, ශක්තිපාන වර්ග, ක්ෂණික තේ හා කෝපි ආදිය ය.


එමෙන්ම දිනපතා ප්‍රවර්ධනය කළයුතු ආහාර රැසක්ද පාසල් ආපන ශාලාවට හදුන්වාදීමට බලධාරීන් පියවරගෙන ඇත්තේය. එහිදී ප්‍රධාන ආහාරවේල් සඳහා බත් වර්ග, කිරි බත් වර්ග, පිට්ටු, ඉඳිආප්ප, ආප්ප, කොස් කොත්තු, පෝෂණ රොටි, පෝෂණ තෝසේ, ඉඩ්ලි, උත්තාපම්, උප්පමා, තම්බාගත් අල වර්ග, පියලි ඇට වර්ග මේ ආදිය ප්‍රමුඛ වෙන්නේය. එයට අමතරව කෙටි ආහාර වශයෙන් වැඩිපුර හඳුන්වා දී ඇත්තේ පලතුරුය. බඩඉරිඟු , කඩල, කජු, රටකජු, මුදවාගත් කිරි, වණ්ඩු ආප්ප, කිතුල් පිටි තලප යනාදියය. එමෙන්ම පාන වර්ග වශයෙන් නැවුම් කිරි, කැඳ වර්ග, සුප් වර්ග, ඖෂධීය පාන වර්ග, පලතුරු යුෂ, තැඹිලි කුරුම්බා ඔය ආදිය ය.

අද දරුවන් වැරැදි ආහාර රටාවන් නිසා කුඩා කාලයේදීම බෝ නොවන රෝගවලට ගොදුරු වීම රටේ අනාගතයට දැඩි තර්ජනයකි. "අනාගත පරපුර බේරා ගැනීමේ ජාතික වගකීම" අප සතුවන බැවින් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම නව නීති මගින් පාසල් තුළ ගුණාත්මක ආහාර පරිසරයක් නිර්මාණය කර දරුවන්ගේ අනාගතය රැකගත හැකි බවය.


 

More News..