කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි
07 July 2026
කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි
07 July 2026
ධාවනය සඳහා ප්‍රමාණවත් බලවේග කට්ටල (Power Sets) නොමැති වීම හේතුවෙන්, දිනපතා ධාවනය වූ කොළඹ - කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව, මීට පෙර දිනපතා උදෑසන 05.15 ට ගල්කිස්සෙන් ආරම්භ වී, උදෑසන 05.45 ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 01.50 ට කන්කසන්තුරයෙන් ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය, 2027 ජූලි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දින හතරේ පමණක් ධාවනය කිරීමට නියමිතය.
යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ද මේ වන විට දිනපතා ධාවනය නොවන අතර, එය ධාවනය වන්නේ දිනක් හැර දිනක් පමණි.
මෙම නව සංශෝධනයත් සමඟ සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම උදෑසන කාලයේ කොළඹ සිට යාපනය හෝ කන්කසන්තුරය දක්වා ධාවනය වන කිසිදු දුම්රියක් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙයි.
එම දිනවල කන්කසන්තුරය බලා ධාවනය වන එකම දුම්රිය වන්නේ රාත්‍රී 08.00 ට පිටත්වන රාත්‍රී තැපැල් (Night Mail) දුම්රිය පමණි.
දුම්රිය හිඟය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය භාවිතා කරන මගී ජනතාව මේ වන විටත් දැඩි අපහසුතාවන්ට ලක්ව සිටිති.
පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට වගකිවයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.
මේ හේතුවෙන් ඉදිරි කාලයේදී මෙම දුම්රිය අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අවධාරණය කර සිටියි.

