ලෝක බැංකුවෙන් මෙරටට ඇ. ඩො මිලියන 150 ක මූල්‍ය ආධාරයක්
01 July 2026
ලෝක බැංකුවෙන් මෙරටට ඇ. ඩො මිලියන 150 ක මූල්‍ය ආධාරයක්
01 July 2026
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා අමරිකානු ඩොලර් මිලියන 150 ක මුදලක් අනුමත කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන තිබේ.
අද (01) නිල වශයෙන් නිවේදනය කරන ලද මෙම මූල්‍ය පහසුකම හරහා ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීම, තරඟකාරීත්වය ශක්තිමත් කිරීම සහ නව රැකියා අවස්ථා බිහිකිරීම අපේක්ෂා කෙරේ.
මෙම මූල්‍ය ආධාරය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන ප්‍රතිසංස්කරණ සංවර්ධන වැඩසටහන යටතේය.
මෙය යෝජිත අදියර තුනකින් යුත් වැඩසටහනක පළමු අදියර වන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩසටහනෙන් ඔබ්බට යමින් දිගුකාලීන ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.
ලෝක බැංකුව සඳහන් කළේ පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනය සහ රැකියා උත්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන, රටේ ආර්ථික පාලනය සහ තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට රජය දරන උත්සාහයන් සඳහා මෙම REGROW මාලාව සහය දක්වන බවයි.
*වෙළඳ බාධක අවම කිරීම.
*ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම සහ මූල්‍ය අංශය ශක්තිමත් කිරීම.
*කාන්තා රැකියා නියෝජනය පුළුල් කිරීම.
*රාජය සතු ව්‍යවසායන් හි කාර්යසාධනය සහ පාලනය නියාමනය කිරීම.
*වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් බලශක්ති පිරිවැය අඩු කිරීමට විදුලි බල අංශයේ තරගකාරීත්වය ඉහළට නැංවීමේ පියවරයන් සඳහා සහයෝගය ලබාදීම.
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan මහතා ප්‍රකාශ කර ඇත්තේ, "ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කරගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා. දැන් වඩාත්ම වැදගත් වන්නේ පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම, ඉහළ වටිනාකමකින් යුත් අපනයන ප්‍රවර්ධනය සහ රැකියා උත්පාදනය සඳහා වන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමයි," යනුවෙනි.
ලෝක බැංකුව වසර 70 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන අතර මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, බලශක්ති, ප්‍රවාහන, කෘෂිකර්ම සහ සමාජ ආරක්ෂණ ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රයන්හි අමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘති 13 ක් ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
එමෙන්ම, ලෝක බැංකුවේ පෞද්ගලික අංශයේ අනුබද්ධිත ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් 2021 සහ 2026 වසර අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.8 කට ආසන්න දිගුකාලීන සහ කෙටිකාලීන මූල්‍ය පහසුකම් සපයා දී ඇත.

