brand logo
logo
'Bavi' දරුණු සුළි කුණාටුව ගුවාම් දූපත් දෙසට

'Bavi' දරුණු සුළි කුණාටුව ගුවාම් දූපත් දෙසට

05 July 2026

පැසිෆික් සාගරයේ පිහිටි අමෙරිකානු දූපත් කලාපයන් වන ගුවාම් සහ උතුරු මරියානා දූපත් දෙසට 'Bavi' නමැති අතිශය දරුණු සුළි කුණාටුව පැමිණෙමින් තිබීම හේතුවෙන් එම වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේ හදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

අමෙරිකානු ජාතික කාලගුණ සේවයට අනුව,හෙට (06) උදෑසන වන විට මෙම කුණාටුව ගොඩබිමට කඩා වැදීමට නියමිතය.

 එම අවස්ථාවේදී පැයට කිලෝමීටර් 257 කපමණ අතිශය දරුණු සුළඟක් හැමිය හැකි බවට අනාවැකි පළ කර ඇත.

මෙම "අතිශය භයානක" කුණාටුව හේතුවෙන් ව්‍යසනකාරී හානි සිදු විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයන් ඇති විය හැකිය.

මුහුදේ රළ මීටර් 11 ක් වැනි අසාමාන්‍ය උසකට ඉහළ යාමට ඉඩ ඇත.

කුණාටුවේ කේන්ද්‍රය පැමිණීමට පැය 8 කට හෝ 10 කට පෙර සිටම විනාශකාරී කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

සාමාන්‍යයෙන් සංචාරක පාරාදීසයක් ලෙස හැඳින්වෙන, ලක්ෂ එකහමාරකට අධික ජනගහනයක් වෙසෙන ගුවාම් දූපතේ පාසල් කේන්ද්‍ර කරගනිමින් හදිසි සහන කඳවුරු 5ක් විවෘත කර ඇත. ඉන් ඇතැම් මධ්‍යස්ථාන මේ වන විටත් උපරිම ධාරිතාවට පැමිණ ඇති බව වාර්තා වේ.

'බාවි' කුණාටුව, 4 වැනි හෝ 5 වැනි ගණයේ සුළි කුණාටුවකට සමාන විනාශකාරී බලපෑමක් එල්ල කළ හැකි " දරුණු සුළිකුණාටු" ගණයට අයත් වන බව අමෙරිකානු නාවික හමුදාවේ ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම නිසා මෙවැනි ප්‍රබල කුණාටු ඇතිවීම වර්ධනය වී ඇති බවයි. 

එමෙන්ම දැනට පවතින සක්‍රීය එල් නිනෝ තත්ත්වයද කුණාටු වඩාත් දරුණු වීමට හේතු වී තිබේ.

මෙය ගතවූ දශකය තුළ අමෙරිකානු කලාපයට කඩා වදින 11 වැනි දරුණුතම කුණාටුව බව සඳහන් වේ.

මේ වසරේ අප්‍රේල් මාසයේදී ද 'Sinlaku' නමැති දරුණු කුණාටුව කඩා වැදුණු අතර, ඉන් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් අමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට අධික දේපළ හානියක් සිදුව ඇති බව සඳහන් වේ


 

More News..