brand logo
logo
ගාස්තු ඉහළ නගින ප්‍රමිතිය බහින බස් සේවාව

ගාස්තු ඉහළ නගින ප්‍රමිතිය බහින බස් සේවාව

03 July 2026


ජූලි හයවැනිදා සිට ඉහළ දැමූ බස් ගාස්තු ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. දිනපතා මගීහු ලක්ෂ පනහකට ආසන්න පිරිසක් මගී ප්‍රවාහන බස්රථවල ගමන් කරති. ඒ අතුරින් වැඩි පිරිසක් පෞද්ගලික හිමියන්ගේ බස් රථ ද අනෙක් පිරිස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවලද ගමන් කරති. ඒ අතර සැලකිය යුතු පිරිසක් කාර්යාල දුම්රිය සේවාවල පිහිට ලබා ගනිති. එහෙත් දිට්වා කුණාටුවට හසුව දුම්රිය මාර්ග පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් බස්රථවල ගමන් කරන මගීන්ගේ ප්‍රමාණයද ඉහළ ගියේය.


ඉන්ධන මිල ඉහළ යාමේ සූත්‍රය අනුව බස්රථ ගාස්තු ඉහළ පහළ යාම අමුතු දෙයක් නොවේ. සාමාන්‍යයෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලරයකින් ඉහළ ගියද ඊට පහුවැනිදාම බස් ගාස්තු වැඩිකළ යුතු යැයි කෑ ගැසීමට පෞද්ගලික බස්රථ හිමිකරුවන්ගේ සංගම් අමතක කරන්නේ නැත. ලෝකයේ බොහෝ රටවල මගී ප්‍රවාහන සේවාව ඉතා ඉහළ තැනකට වර්ධනය වී තිබේ. එහි ප්‍රමාණාත්මක වර්ධනයට දෙවැනි නොවන ආකාරයට ගුණාත්මක පැත්තද වර්ධනය වී තිබේ. එහෙත් මෙසිරි ලංකාවේ මහ පාරේ ගමන් කරන බස්රථවල ප්‍රමාණය ඉහළ ගොස් තිබුණද, මගීන්ගේ ප්‍රමාණය වර්ධනය වී තිබුණද ගුණාත්මක වර්ධනයක් නම් දැකිය නොහැකි තරම්ය. මිල ගණන් ඉහළ දැම්මද ගුණාත්මක පැත්ත ඉහළ දැමීමට සමත් වී තිබෙන බවක් දැකිය නොහැකිය. බස්රථයකට ගොඩ වූ විටමෙසේ පරිදි ප්‍රවේශ පත්‍රයක් ලැබීම, ආරක්ෂිතව බස්රථයේ ගමන් කිරීම, ලබාගන්නා ප්‍රවේශ පත්‍රයට සරිලන ආකාරයේ පහසුවක් ලැබීම යන මගී අයිතිවාසිකම් නම් මේ රටේ මගීන්ට නම් බෙහෙවින් අහිමි දේවල්ය. පොල් පැටවූ ආකාරයේ බස්රථවලට නැග තම ගමනාන්තය ඉතා වෙහෙසකරව අවසන් කිරීමට තවමත් අපේ රටේ බොහෝ මගීන්ට සිදුවෙයි. විශේෂයෙන් කාර්යාල වේලාවන්හිදී මගීන්ට එකී පීඩාවට පත්වීමට සිදුවෙයි. එසේම නොහික්මුණු රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ තර්ජන ගර්ජනවලටද නොමඳව ලක්වීමට සිදුවන බව නොරහසකි. මේ ආකාරයට මගී අයිතිවාසිකම් කඩා වැටුණු බස්රථ සේවාවක් මගින් පහසුකම් සලසා ගැනීමට මගීන්ට සිදුවේ.


සාධාරණ පදනමක් යටතේ බස් ගාස්තු ඉහළ දමනවාට මගීන් විරුද්ධ නැත. එහෙත් ඉහළ දමන ගාස්තුවලට සරිලන ආකාරයට සේවාවක් නොලැබෙන්නේ කවර හේතූන් නිසාදැයි ඔවුහු විමසති. එපමණක් නොව පසුගිය කාලයේ පෞද්ගලික හිමියන්ගේ පමණක් නොව රජය යටතේ ධාවනය වන බස්රථ ද රැසක් අනතුරට ලක් විය. ඒ හේතුවෙන් අහිංසක මගින් බොහෝ දෙනකුට ජීවිත අහිමි විය. මාර්ගය තුළ අපට දැකිය හැක්කේ බස්රථ රියැදුරන්ගේ ඉතා බිහිසුණු ත්‍රස්තවාදයකි. නොහික්මුණු බස්රථ රියැදුරන්ට දිනපතා රටේ කවර හෝ මාර්ගයකදී මගියෙක් ගොදුරු වෙයි. මාරාන්තික තරගය සහ සමහර රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම මෙකී අනතුරුවලට බෙහෙවින් හේතු වී තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. වර්තමාන ආණ්ඩුවද ගුණාත්මක බස්රථ සේවාවක් ලබාදීම සඳහා විවිධ යෝජනා ක්‍රියාත්මක කළ අයුරු පසුගිය කාලයේ දැකගත හැකි විය. ඒ අතර මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් සහ කොන්දොස්තරලා හසුකර ගැනීම සඳහා වැටලීමක් ක්‍රියාත්මක කළ අයුරු දැකගත හැකි විය. රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය කෙතරම් බිහිසුණු තැනකට පත්ව තිබේද යත් දක්ෂිණ අධිවේග මාර්ගයේ අධිවේග බස්රථයක ගමන් කළ කොන්දොස්තර කෙනකු මියගියේ කුසෙහි සඟවා ගෙන ගිය අයිස් නමැති මත්ද්‍රව්‍යයෙහි ඇතිවූ රසායනික විපර්යාසයක් හේතුවෙනි. මාධ්‍යවල සඳහන් වූයේ කොන්දොස්තර තැන කුසෙහි අයිස් පිපිරීම හේතුවෙන් මියගිය බවය.


සියයට දොළහකින් බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව 30 සිට 34 වනු ඇත. එසේම කිලෝමීටර සියය දක්වා කෙටි සහ මධ්‍ය දුර ධාවනය වන බස්රථවල ගාස්තු සියයට දොළහකින්ද කිලෝමීටර සීය ඉක්මවා ධාවනය වන බස්රථවල ගාස්තු සියයට විස්සකින්ද ඉහළ යනු ඇත.


පසුගිය කාලයේ කිහිප විටක්ම බස්රථ ගාස්තු ඉහළ ගියේය. එසේම රටවැසියන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද වේගයෙන් ඉහළ ගියේය. නාගරික සහ ග්‍රාමීය භේදයක් නොමැතිව ආහාර භාණ්ඩවල උද්ධමනය ඉහළ ගොස් තිබේ. ආණ්ඩුව සඳහන් කරන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම මේ සියල්ලට හේතුව බවය. විපක්ෂයේ සිටියදී නම් දැන් ආණ්ඩු පක්ෂයේ සිටින උදවිය පැවසුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවන හැටියට රටේ ජනතාවගේ ආහාර මිල ගණන් සහ බස් ගාස්තු ඉහළ යන්නේ නම් ආණ්ඩුවක් අවශ්‍ය නැති බවය. ඒ කතාවෙහි ඇත්තක් ඇත්තේම නැතැයි සඳහන් කළ නොහැකිය. එනිසා ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර මහජනතාවට දරාගත හැකි ආකාරයට මිල ගණන් පාලනය කිරීමට හැකියාවක් ආණ්ඩුවට තිබිය යුතුය. ජනතාවට ද දරා ගැනීමේ සීමාවක් තිබෙන බව අමතක කළ යුතු නොවේ.

 

More News..