මහා පරිමාණ දූෂණ වංචා හෙළි කරන අයට කොමිසමෙන් රැකවරණය
28 June 2026 | ඉෂාර රත්නකාර
මහා පරිමාණ දූෂණ වංචා හෙළි කරන අයට කොමිසමෙන් රැකවරණය
28 June 2026 | ඉෂාර රත්නකාර
මහා පරිමාණ අල්ලස් දූෂණ ක්‍රියා හෙළිදරව් කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට අල්ලස් කොමිසම පියවරගෙන තිබේ.
දේශපාලනඥයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු හිතවතුන්, රජයේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස් සිදුකර ඇතැයි කියන රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් ඇතුළු දූෂණ ක්‍රියා පිළිබඳ අනාවරණය කරමින්, ඒවා හෙළිදරව් කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එලෙස පියවරගෙන ඇතැයි වාර්තා වෙයි.
‘‘දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ඇතැම් පිරිස් විසින් සිදුකරන ලදැයි කියන මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබුණද, ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට පුද්ගලයන් බියක් දක්වනවා. එලෙස ඔවුන් බියක් දක්වන්නේ චෝදනා එල්ල වන පුද්ගලයන් ප්‍රභූ පන්තියේ පිරිස්වීමයි. නමුත් ඕනෑම අල්ලසක්, දූෂණයක් පිළිබඳව පැමිණිලි කරන, හෙළිදරව් කරන සහ ඊට අදාළව සාක්ෂි ලබාදෙන පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා මේ වනවිට අල්ලස් කොමිසම මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා’’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකු ‘සති අග අරුණ’ ට පැවසීය.
‘‘රුපියල් කෝටි ගණනින් සිදුවන අල්ලස් සහ දූෂණ ක්‍රියාවන් පිළිබඳ හෙළිදරව් කරන යම් කිසි පුද්ගලයකුගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත දැනුම් දී අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ කටයුතු කරන නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීමට කටයුතු කරනවා. විදෙස්ගතව සිටින යම් සාක්ෂිකරුවකු වේ නම්, ඔහු මෙරටට පැමිණීමත් සමගම අවශ්‍ය ආරක්ෂාව ලබාදෙනවා’’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

