brand logo
logo
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්

ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්

27 June 2026

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


එම කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන කරන්දෙණියේ රාජු නම් අපරාධකරුට විදෙස්ගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.


ඒ අනුව සැකකරු අද (27) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.  


කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන කරන්දෙණියේ රාජු පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන එනු ලැබීය.


ඒ අනුව, සැකකරු මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන විමර්ශන සිදුකරන අතර එහිදී ඔහුට විදේශගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් විදෙස්ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබුණි.


එහිදී අනාවරණ වී ඇත්තේ 2023 වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කළ පුද්ගලයෙකු අදාළ ගුවන් ගමන් බලපත්‍රය සකස්කරදී ඇති බවය.


ඔහු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එම පුද්ගලයා මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවය.


ඒ අනුව 41 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

More News..