ඩෙංගුවල බරපතළකම තාම තේරුම් ගෙන නෑ - මරණ 31 ක් - රෝගීන් 54189 ක්
01 July 2026 | ශිරාන් රණසිංහ
ඩෙංගුවල බරපතළකම තාම තේරුම් ගෙන නෑ - මරණ 31 ක් - රෝගීන් 54189 ක්
01 July 2026 | ශිරාන් රණසිංහ
ඩෙංගු වසංගතය දිනෙන් දින දරුණු අතට හැරෙමින් තිබේ. මේ වන විට රජයේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි වෛද්‍යවරු පුන පුනා කියන කතාවකි. දින පතාම පාහේ ‘‘ඩෙංගු වසංගයේ බරපතළ කම පිළිබඳ මාධ්‍ය හමු කැඳවමින් වෛද්‍යවරු විසින් ජනතාව දැනුම්වත් කළත් ජනතාව මේ මාරාන්තික රෝගය පිළිබඳ තාමත් හරි හැටි තේරුම් ගෙන නැතැයි ද වෛද්‍යවරු නගන චෝදනාවකි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද ඊයේ (30) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කළේ ඉදිරි දින කිහිපයක්, ඉදිරි සති කිහිපයක් ඉතා තීරණාත්මක නිසාය.
මේ ගෙවී යමින් තිබෙන්නේ මෙම වසරේ විසිපස් වන සතියයි. විසිපස් වන සතිය අවසන් වන විට ඩෙංගුවලින් තිස්එක් දෙනකු නිරපරාදේ මිය ගොසිනි.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර ඊයේ (30) ඩෙංගුවල තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළේ මේ ආකාරයටය.
‘‘මේ වන විට මේ රටේ ඩෙංගු රෝගීන් 54,189 ක් හමුවෙලා. මරණ 31 ක් විසිහය වැනි සතිය ආරම්භ වන විට රෝහල් රැසක උපරිම ධාරිතාව ඉක්මවලා ගිහින්. රෝහල්වල රෝගී ධාරිතාව තවදුරටත් ඉක්මවා යාමෙන් සිදුවන මරණ සංඛ්‍යාවත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතු වෙලා.
බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වලින් තමයි වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. සමස්ත රෝගීන්ගෙන් 52.1% ක් ම බස්නාහිර පළාතෙන් හමුවීමත් විශේෂත්වයක්.
මිය ගිය 31 දෙනාගෙන් 25 දෙනකුම කාන්තාවන්ය.පිරිමි හයදෙනකුද මිය ගොසිනි. මිය ගිය අයගෙන් පස් දෙනකු වයස අවුරුදු 19 ට අඩු අය. ඉතිරි අය මැදි වයසේ සහ වැඩිහිටි අයයි.
සතියකට ඩෙංගු රෝගීන් 5200 ක් හමුවන තැනට ඇවිත්.
කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, මහනුවර, ගාල්ල, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් බහුලවම වාර්තා වෙන්නේ.’’
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ පැතිර යන වයිරස ප්‍රභේද පිළිබඳ පැහැදිලි කළේ මේ අයුරිනි.
‘‘ඩෙංගු වයිරස් කාණ්ඩ හතරක් තිබෙනවා. දැන් මේ පැතිර යන්නේ Den V - 2 වයිරස ප්‍රභේදයයි. 2017 වසරෙදිත් පැති ගියේ Den V - 2 වයිරස ප්‍රභේදය. 442 ක් එම වසරේදී මිය ගියා. රෝගී වූ පිරිස 186,101 ක් වාර්තා වුණා. මෙම වසරේදී මෙරටින් හමුවූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 80 ක් Den - 2 වයිරසය ආසාදිත වූවන්, සියයට 20 ක් Den - 3 වයිරස කාණ්ඩය ආසාදිත වූවන්ය.
මේ මොන වයිරස කාණ්ඩය වැලඳුනොත් උණ වැලඳී ඇත්නම් පැය 48 ක් ගිය පසු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතුයි. තමන්ට වැලඳී ඇත්තේ ඩෙංගු ද නැද්ද යන්න සොයා ගැනීමට නම් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කර ගත යුතුයි. බොහෝ අය NSI පරීක්ෂණය (ඩෙංගු උණ රෝගය පෙන්වන රුධිර පරීක්ෂණය) මගින් Den - V - 2 වයිරසය ගතවී තිබුණත් ඩෙංගු වැලඳී ඇත්නම් එයින් පෙන්වන්නේ සියයට 63 ක පමණ පිරිසකටය. ඒ නිසා Ns-1 රුධිර පරීක්ෂණයක් කර ඩෙංගු නැතැයි කියා තීරණය කරගත නොහැකිය. එනිසා සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගත යුතුමය.
ඩෙංගු වසංගතය පරදවමු
ඩෙංගු වසංගතයට එරෙහිව මුළු රටම එක්විය යුතුය. කරන්නට ඇති එකම දේ මදුරුවන් බෝ වන ස්ථාන වනසා දැමීමය. එහෙත් මේ දක්වා රටම එකට එක් වී එය ක්‍රියාවට නංවා නැත. මේ දක්වා සෞඛ්‍ය නිලධාරින් එක්ව රට පුරා පරිශ්‍ර 242,000 ක් පරීක්ෂාවට ලක්කර ඇත.
ඉන් වැඩිම ඩෙංගු මදුරු කීටයන් හමුවී ඇත්තේ පාසල් ආශ්‍රිත පරිශ්‍රවලය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 41 කි. රජයේ ආයතවලින් සියයට 27 ක ඩෙංගු කීටයන් ය. ආගමික ස්ථානවලින් සියයට 25 කම මදුරු කීටයන්ය. නිවාස පරිශ්‍රවලින් සියයට 9 කින් ඩෙංගු මදුරු කීටයන් හමුව ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ට හෝ සෞඛ්‍ය විද්‍යා කීට නිලධාරීන්ට පමණක් ඩෙංගු බෝවන ස්ථාන විනාශ කළ නොහැකිය. ඩෙංගු වයිරසය දිගටම තිබෙන දෙයකි. මුළු වසර පුරාම ඩෙංගු රෝගීන් වරින්වර හමුවන බව පැහැදිලිය. දැන් මේ ඇති වී තිබෙන්නේ ඩෙංගු වසංගත තත්ත්වයකි.
ඉකුත් 2025 වසර තුළම මෙරටින් හමු වූයේ ඩෙංගු රෝගීන් 51000 ක් පමණකි. මිය ගියේ 29 දෙනෙක් ද පමණකි. 2017 වසරට පසු ඩෙංගු වසංගතයක් යළි නිර්මාණය වී ඇත්තේ මෙම වසරේය. කඩින් කඩ වැටෙන වැස්සත් ඩෙංගු වසංගතයට එක් හේතුවකි. කරන්නට තිබෙන එකම දේ තම නිවස, ගෙවත්ත, තම සේවා ස්ථාන, පූජනීය ස්ථාන, පොදු ස්ථාන, කම්හල්, වැඩබිම්වල මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමය. ඒ ඒ පළාත් පාලන ආයතන ද මහමග ගොඩ ගැසෙන කුණු ඉවත් කොට කාණු ශුද්ධ පවිත්‍ර කළ යුතුය. නිවාසවල ශීතකරණය පිටුපස ද ඩෙංගු මදුරුවන්ගේ රජ දහනකි.
දරුවන් ද අනතුරකය
මල් වැනි දරුවන් ඩෙංගු මාරයාට ගොදුරු විය හැකිය. මේ පිළිබඳ වෛද්‍ය නලින් ඩී. කිතුලාවත්ත කියන්නේ මේ ටිකය.
‘‘දරුවකුට උණ වැලඳී ඇත්නම් වඩාත් සැලකිලිමත් විය යුතුය. මේ දිනවල වයිරස උණ වර්ග කිහිපයක් ම පැතිර යමින් තිබේ. ඩෙංගු වැලඳුණ දරුවකුට ඇඳ විවේකය අත්‍යවශ්‍යය. වැඩිහිටියන්ට ද එය පොදුය. එහෙත් ඩෙංගු හෝ වෙනත් වයිරස් උණක් වැලඳුන පසු දරුවන් පාසල් වෙත යැවීමට බොහෝ අය කටයුතු කරති. පැරසිටමෝල් නියම මාත්‍රාවට ලබාදීම හොඳම ප්‍රතිකාරයය. එහෙත් ඇතැම් දෙමාපියන් වෙනත් ඖෂධ ලබාදී උණ අඩුකර දරුවන් සාමාන්‍ය තත්ත්වයේ සිටිතැයි කල්පනා කරති. එය අතිශයින් භයානකය. ඩෙංගු වැලඳී උණ අඩුවී ගොස් ඊට පසු විවිධ සංකූලතා ඇති විය හැකිය. එය තීරණාත්මකය. හොඳම දේ වන්නේ දරුවන්ට ඩෙංගු වැලඳීමට ඉඩ නොතැබීමය. එසේ නම් කළ යුත්තේ නිවස තුළත් නිවසින් පිටතත්, විශේෂයෙන්ම පාසල් පරිශ්‍රත් මදුරුවන්ගෙන් තොර ස්ථාන බවට පත් කිරීමය.
ඉදිරි මාස ඉතා තීරණාත්මකයි
මෙම වසරේ ගෙවී ගිය මාස හයේදී පමණක් ඩෙංගු රෝගීන් 54,189 ක් හමුවීම, ඉන් 31 දෙනකු මිය යාම බරපතළයි. මෙම වසරේ ජූලි, අගෝස්තු මාස ඉතා තීරණාත්මකය. වසංගතය අධි වසංගතයක් බවට පත් වුවහොත් ඩෙංගු මරණ දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇත. කොළඹ ජාතික රෝහල, ගොතටුව බෝ නොවන රෝග විද්‍යායතනය (අයිඩීඑච්) කළුබෝවිල, රෝහල, පානදුර, ගාල්ල කරාපිටිය ආදී රෝහල් රැසක මේ වන විටත් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොසිනි. රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් ගණනට වඩා ඩෙංගු රෝගීන් වාර්තා වුවහොත් රෝහල්වල ඇඳන් ප්‍රමාණවත් වන්නේ නැත. වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල ද සීමා සහිතය. මේ මොහොතෙත් වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල සිටින්නේ දැඩි පීඩනයෙනි. අවිවේකීව එක දිගටම රෝහල්වල රැඳී සිටින්නට ඔවුනට නොහැකිය. ඩෙංගු රෝගීන් ට අමතරව වකුගඩු, හදවත් රෝගීන් මෙන්ම හදිසි අනතුරු කර ගන්නා රෝගීන්ගෙන් ද රෝහල් පිරී ඇත. මෙරට සෑම රෝහලකම ඩෙංගු සඳහා ප්‍රතිකාර කරන්නට ද නොහැකිය. ඩෙංගු ප්‍රතිකාර ලබාදීමට නම් විශේෂඥ වෛද්‍යවරයකු ඒ රෝහලේ සිටිය යුතුය. ඒ අනුව මෙරට ඩෙංගු රෝගී ප්‍රතිකාර කළ හැකි රෝහල් ඇත්තේ අතළොස්සකි.
මේ වන විටත් රෝහල්වල උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි වෛද්‍යවරු පවසති.
ඉන් සිදු වන්නේ ඩෙංගු වැලඳුන රෝගීන් පමණක් නොව වෙනත් රෝග සඳහා රෝහල්වල නේවාසික ප්‍රතිකාරවලට එන අයට ප්‍රතිකාර නොගෙනම මරුවා සොයා යාමටය. ඩෙංගු රෝගීන් යනු පැයෙන් පැයට ඔවුනගේ ලේ, මුත්‍රා පිළිබඳ පරීක්ෂා කළ යුතු රෝගී තත්ත්වයකි. රෝගීන් වැඩිවන්නට වැඩි වන්නට අදාළ ප්‍රතිකාර කටයුතු අඩාළවී යා හැකිය. එවිට සිදු වන්නේ මිය යන්නටය.
කරන්නට ඇත්තේ එකම එක දෙයකි. වයිසරය වැනසිය නොහැකිය. කරන්නට ඇත්තේ මදුරුවන් බෝවන තැන් වැනසීමය. මේ රටේ මිනිසුන් ඒ දේ නිසි ලෙස තේරුම් ගෙන අවට පරිසරය පිරිසුදු කරගෙන ‘‘මදුරු රජ දහන්’’ වනසා නොදමන්නේ නම් සිය සමීපතමයන් මරුවා සමග යන දෙස බලා වැලපෙනවා හැර වෙනත් දෙයක් ඉතිරි වන්නේ නැත.

