brand logo
logo
 ගිං ගඟට දමා තිබු මළ සිරුර ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරුගේ බව හෙළිවෙයි

ගිං ගඟට දමා තිබු මළ සිරුර ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරුගේ බව හෙළිවෙයි

27 June 2026


දෑත් හා දෙපා කොන්ක්‍රීට් කණුවක ගැටගසා ගිං ගඟට දමා තිබු මළ සිරුර ලොකු පැටී නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන අල්මේදා නමැත්තාගේ බව පොලීසිය පවසයි.


අදාළ මළ සිරුර ගිං ගඟේ පාවෙමින් තිබියදී ඉකුත් 23 රාත්‍රියේ පෝද්දල පොලීසිය විසින් සොයාගනු ලැබීය.


මළ සිරුරේ හිසට දැඩි හානි සිදුව තිබීම හේතුවෙන් එය හඳුනාගැනීමට නොහැකි වූ අතර වැඩිදුරටත් පොලීසිය සිදුකළ සොයාබැලීමේදි අනාවරණ වී තිබුණේ, එය අහුංගල්ලේ පදිංචිකරුවකු වන විරාජ් රෂ්මික ද සොයිසා හෙවත් අල්මේදා නමැත්තාගේ බවයි.


එම පුද්ගලයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ කාන්තාවක් ඔහුගේ සිරුරෙහි වූ පච්චා මගින් මළ සිරුර හඳුනාගනු ලැබු බව පොලීසිය පවසයි.


එම පුද්ගලයාගේ මව්පියන් ද ඔහුව එහිදී හඳුනාගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ, වසර 4ක පමණ සිට ඔහු සමඟ කිසිඳු සබඳතාවක් නොමැති බවයි.


මෙම මියගිය තැනැත්තා ලොකු පැටී නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.


මේ අතර, පොලීසිය පැවසූවේ ත්‍රිකුණාමලය, අහුංගල්ල හා ගාල්ල ප්‍රදේශවල ලොකු පැටීගේ මෙහෙයවීමෙන් සිදුකළ ඝාතන තුනකම වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවයි.


මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරු එක් අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද චෝදනා රැසක් පවතින බව සඳහන් වෙයි.


ඔහු පොලීසිය මඟහරිමින් සැඟව සිට ඇති අතර කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයට ද ඔහු දැඩි තර්ජනයක් වී ඇති බව ද වාර්තා වෙයි.


දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, තියුණු ආයුධයකින් ගෙලට පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.


 

More News..