යුරෝපයට ඉර කඩා වැටේ
27 June 2026 | වරුණ අබේසේකර
යුරෝපයට ඉර කඩා වැටේ
27 June 2026 | වරුණ අබේසේකර
‘‘මේ දවස්වල එංගලන්තයේ රස්නය නෙවෙයි ගින්දර පිට වෙනවා. මගේ ගෙදර ඉස්සරහ දොර අරින්න බැහැ. ඒ යකඩ දොර අධික රස්නෙට ඇඹරිලා ගිහිල්ලා. ගේ ඇතුළෙ නම් කොහොමත් ඉන්න බෑ, පාරවල්වල තාර උණු වෙලා, සමහර පාසල් වැහිලා, ඉස්සරහට පාසල් පමණක් නෙවේ බොහෝ ආයතන වහන්න වේවි, දුම්රිය ගමනාගමනයත් අඩාළ වෙමින් තියෙන්නේ. මේ, එංගලන්තය ඇතුළු බොහෝ යුරෝපීය රටවල භවභෝග සරුවට වැවෙමින් තිබෙන කාල පරිච්ඡේදය. ඒත් අධික උෂ්ණත්වය නිසා භවභෝග විනාශ වෙලා, මේ නිසා ඉදිරියේදී ඉතා ප්‍රබල ආහාර අර්බුදයක් ඇතිවෙනවා. මේ ආකාරයට ආහාර දාමය අර්බුදයට යාම ලොකු අනතුරක් බව පැහැදිලියි. අනිත් කාරණය තමයි, එංගලන්තයේ හුණ්ඩු සයිස් එකේ ඒවා, ඒ නිවාස හදලා තියෙන්නේ සීත දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට, එනම් උණුසුම වැඩි වන ආකාරයට. දැන් ඒ හුණ්ඩු ගෙවල් පෝරනු බවට පත්වෙලා. නිතරම ෆෑන් දමාගෙන තමයි අපි ඉන්නේ. නැත්නම් එළිමහනේ තමයි බොහෝ දෙනා ඉන්නේ.’’
එංගලන්තවාසී මාධ්‍ය මිත්‍රයෙක් ගින්දර පිට කරන යුරෝපය පිළිබඳ තම අදහස් දැක්වූයේ එසේය. සාමාන්‍යයෙන් යුරෝපය යැයි කියූ සැණින් අප තුළ ඇතිවනුයේ ඉතා සිහිල් හැඟීමක් විය හැකිය. එසේම හිම අතරින් මතුවන සුරංගනාවන් පිළිබඳ රසවත් යුරෝපීය කතන්දර කුඩා සන්දියේදී අප කොතෙකුත් අසා කියවා ඇත. කාලිදාසගේ ඍතු සංහාරය කියවන කල ගිම්හාන ඍතුවේ පෙම්වතුන් සහ පෙම්වතියන් අනඟ රැඟුම් රඟන අයුරු සෞන්දර්යකාමීන්ගේ සිත් සන්තුෂ්ටියට පත්කරයි. ඒ, දීර්ඝ සීත ඍතුවෙන් පසු එළැඹෙන ගිම්හානය ගත සිත ප්‍රබෝධයට පත් කරන හෙයිනි. මානවයන්ගේ ගත සිත පමණක් නොව ගහකොළ වැලඳ ගිම්හානයේදී ප්‍රබෝධයට පත් වෙයි. දීර්ඝ සීත ඍතුවකට මුහුණ දෙන දේශවාසීන්ට ගිම්හානය සහනයක් බව නොකිවමනාය. එංගලන්තවාසීන් හොඳට ඉර පායා තිබෙන උදෑසනක් පිළිබඳ අනෙකාට සිය සතුට ප්‍රකාශ කරනුයේ ‘good morning’ යැයි කියමිනි. එයට හේතුව එවැනි උදෑසනවල් ඔවුනට දුර්ලභ හෙයිනි. එහෙත් මේ දිනවල නම් එංගලන්තවාසීන් පමණක් නොව, කිසිදු යුරෝපීයෙක් ‘good morning’ යැයි නොකියනු ඇත. එයට හේතුව ගිම්හානයේ දරාගත හැකි උණුසුම වෙනුවට මතු වෙමින් තිබෙන ගින්දර ඔවුන් පරිපීඩාවට පත්කර තිබෙන හෙයිනි.
යුරෝපයේ විශාලතම නගර 850න් හරි අඩකටත් වඩා දැඩි තාප ප්‍රහාරවලට ලක්වෙමින් තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (25) එක්සත් රාජධානියෙහි සමර්සෙට්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.7 කි (98.06F) ගිම්හාන සමය ආරම්භ වීමෙන් පසු වාර්තා වූ ඉහළම උෂ්ණත්වය එය බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් බටහිර යුරෝපයේ හදිසි අවස්ථාවලදී සෞඛ්‍ය අංශ සම්බන්ධ කර ගැනීමේ දුරකථන අංක නිරන්තරයෙන් නාදවීමට පටන්ගෙන තිබේ. එංගලන්තයේ එවැනි අවස්ථාවලදී භාවිත කරන 999 අංකයට දවසකට දුරකථන ඇමැතුම් හත් අටදාහක් ලැබෙන බව ඉහත සඳහන් කළ අපගේ එංගලන්තවාසී මාධ්‍ය මිත්‍රයා කියන්නේය. ඒ බොහෝ ඇමැතුම් ලැබෙනුයේ කුඩා දරුවන් සහ වයස්ගත උදවියගෙනි. මෙවැනි ආපදා සම්පන්න අවස්ථාවලදී බෙහෙවින් අසරණ වනුයේ කුඩා දරුවන් සහ වයස්ගත උදවියයි.
ප්‍රංශයේ මේ වනවිට හතළිහකට අධික පිරිසක් මියගොස් තිබෙන බව දැනගන්නට ලැබේ. ඒ බොහෝ මරණවලට හේතුව අධික උෂ්ණත්වය දරා ගත නොහැකිව බොහෝ අය වතුරට පැනීමය. එංගලන්තවාසී අප මිත්‍රයා සඳහන් කරන ආකාරයට කෙතරම් උෂ්ණත්වය ඉහළ ගියද යුරෝපීය රටවල ගංගා, ඇළ, දොළ ආදියෙහි වතුර සීතලෙන් යුක්තය. අධික උෂ්ණත්වය හේතුවෙන් පීඩාවට පත් උදවිය සීතල වතුරට පැන්න විට හෘදයාබාධ ඇතුළු රෝගවලට ගොදුරුව මිය යති.
කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරු සංකීර්ණයට ප්‍රහාර එල්ල කිරීමට පෙර කඳවුරට ජලය ගත් සියලුම ජල මූලාශ්‍ර අවහිර කළ අතර ඒ හේතුවෙන් සෙබළුන්ට පානීය ජලය ලබා ගැනීමට නොහැකි විය. මේ හේතුවෙන් සමහර සෙබළු තාප ප්‍රහාරවලට ලක්ව මිය ගියහ. එයට හේතුව අධික තාපය හේතුවෙන් ශරීර අභ්‍යන්තරය අධික උෂ්ණත්වයට පත්වීමය. ඒ හේතුවෙන් සෙබළුන් සිහි විකල් බවෙන් කටයුතු කළ බව යුද වාර්තාවල සඳහන් වෙයි. යුරෝපීය රටවලද මේ දිනවල අධික උෂ්ණත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවද මුහුණපා සිටින්නේ එවැනි අනතුරකට බව අපට තේරුම්ගත හැකිය. දරාගත නොහැකි තාපය හේතුවෙන් ඔවුහු සීතල වතුරට පනිති.
අපගේ එංගලන්තවාසී මිත්‍රයා සඳහන් කළ ආකාරයට එංගලන්තයෙන් තවම මරණ වාර්තා නොවූවද ඉදිරි දිනවල තත්ත්වය ඉතා නරක අතට හැරිය හැකි බව සඳහන් කළ හැකිය. මෙකී ගිම්හාන ගින්දර පසුගිය වර්ෂවල ක්‍රමයෙන් වර්ධනය වූ අනතුරක් බව පසුගිය වාර්තා විමසීමෙන් අපට පැහැදිලි වෙයි.
2022 ගිම්හානයේදී අධික තාපය හේතුවෙන් යුරෝපයේ හැට දහසකට අධික පිරිසක් මියගිය බව ‘ද ගාඩියන්’ පුවත්පත සඳහන් කරයි. ලෝක කාලගුණ ආරෝපණ (WWA) සමූහයේ විද්‍යාඥයන් විසින් කර තිබෙන නව විශ්ලේෂණයෙන් පැහැදිලි වන්නේ මෙම අනතුර අප හිතනවාට වඩා බිහිසුණු බවය. යුරෝපය තුළ මෙවැනි ගිම්හාන ගින්දරක් මතුව තිබෙන්නේ එල්නිනෝ සංසිද්ධිය නිසා යැයි සමහරුන් කල්පනා කළ හැකිය. ඔස්ට්‍රේලියාව නම් සඳහන් කරන්නේ එරට අධික තාප තත්ත්වයට හේතුව එල්නිනෝ සංසිද්ධිය ආරම්භ වීම විය හැකිය. අප දන්නා පරිදි පැසිෆික් සාගරය ආසන්න දූපත්වලට මෙකී සංසිද්ධිය බෙහෙවින් බලපායි. එහෙත් කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ යුරෝපය තුළ මේ ආකාරයට උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන හේතුව වායුගෝලයේ කාබන් දූෂණය බවය. වායුගෝලයේ කාබන් ප්‍රමාණය ඉහළ යාම යනු පාරිසරික උෂ්ණත්වය ඉහළ යාමයි. මේ ආකාරයට උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් යුරෝපීයන්ට නිදි නැති රාත්‍රින්ට මුහුණ පෑමට සිදුව තිබේ.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජීහි ආන්තික කාලගුණය පිළිබඳ පර්‌යේෂකයකු වන WWA කණ්ඩායමේ සාමාජිකයකුදු වන ආචාර්ය තියඩෝර් කීපිං සඳහන් කරන්නේ යුරෝපයේ මෙතරම් විශාල කලාපයකට මෙතෙක් බලපා ඇති දරුණුතම සහ පුළුල්ම තාප තරංගය මෙය බවය.
"පසුගිය වසර පනහ තුළ අපගේ ග්‍රහලෝකය සෙල්සියස් අංශක 1.1 කින් උණුසුම් වී ඇති කාලය තුළ මෙවැනි තාප තරංගයක් ඇතිවීමේ අවස්ථාව බෙහෙවින් වෙනස් වී තිබෙන බව අප තේරුම් ගත්තා. දේශගුණික විපර්යාස නොමැතිව ජුනි මාසයේ මෙම සිදුවීම තේරුම් ගත නොහැකිය" ආචාර්ය තියඩෝර් සඳහන් කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා යුරෝපීයෝ මිලියන සියයකට අධික පිරිසක් සෙල්සියස් අංශක 35ට වැඩි උෂ්ණත්වයකට මුහුණ දුන්හ.
එක්සත් ජාතීන්ගේ දේශගුණික ප්‍රධානී සයිමන් ස්ටීල් වර්ධනය වෙමින් තිබෙන මෙම දේශගුණික අර්බුදය පිළිබඳ සඳහන් කරන්නේ මෙවැන්නකි.
"ලෝකය ගල්අඟුරු තෙල් සහ ගෑස් දහනයට ඇබ්බැහි වීම නිසා දේශගුණික විපර්යාස වේගයෙන් පැතිරෙමින් තිබෙනවා. නමුත් විසඳුම අපට පැහැදිලියි. ඒ අන් කිසිවක් නොව, පරිසරයට හානිකර නොවන පිරිසුදු බලශක්තියට වේගයෙන් මාරුවීමයි. ඒ ආකාරයට පොසිල ඉන්ධන වෙනුවට පිරිසුදු බලශක්තියට යොමුවීම ලාභදායි පියවරක්. ඒ වගේම වනාන්තර ආරක්ෂා කිරීමත් දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගනවා."
විද්‍යාඥයන් සඳහන් කරන්නේ ගිම්හානයේදී මේ ආකාරයට උෂ්ණත්වය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් බවත්, එහෙත් දරාගත නොහැකි අධික උෂ්ණත්වයක් ඇතිවීමට හේතුව දේශගුණික විපර්යාසය බවත්ය.
සාමාන්‍යයෙන් යුරෝපීය රටවල යටිතල පහසුකම් සකස් කර තිබෙන්නේ සීත දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආකාරයටය. එහෙත් රතුකුරුස සංවිධානයේ රතු අඩසඳ දේශගුණික මධ්‍යස්ථානයේ කැරොලිනා පෙරෙයිරා මාගිඩන් සඳහන් කරන්නේ ජනතාව ආරක්ෂිතව තබා ගැනීමට නම් තාපයට ඔරොත්තු දෙන නිවාස, නගර සහ යටිතල පහසුකම් සඳහා වැඩි ආයෝජනයක් කළ යුතු බවයි.
එක්සත් රාජධානියෙහි දේශගුණ විපර්යාස කමිටුව පසුගිය මැයි මාසයේදී රැස්වූ අවස්ථාවේ සඳහන් කළේ එරට යටිතල පහසුකම් තවදුරටත් නොපවතින දේශගුණයක් සඳහා ගොඩනැගී ඇති බවත්, දේශගුණික අර්බුදයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා හදිසි වැඩිදියුණු කිරීමක් අවශ්‍ය බවත්ය. එමගින් පැහැදිලි වනුයේ දේශගුණික විපර්යාසය යුරෝපය ඇතුළු ලෝකය උඩු යටිකුරු කරමින් තිබෙන බව නොවේද?
මෙකී ගිම්හාන ගින්දර හේතුවෙන් 2020-2024 කාලයේදී බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් දස දහසකට වැඩි පිරිසක් මියගිය බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය(UKHSA) සඳහන් කරයි.
2024 වසරේදී යුරෝපයේ නගර දොළහක වැසියන් 2300කට වැඩි පිරිසකට දින තුනකදී ජීවිත අහිමි විය. විද්‍යාඥයන් සඳහන් කරන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම නොවූයේ නම් හුදෙක් ගිම්හාන තාපය පමණක් මතු වූයේ නම් එසේ මියගිය දෙදහස් තුන්සීයෙන් තුනෙන් දෙකක් මිය නොයන බවය. දේශගුණ විපර්යාසයේ බලපෑම කෙබඳු දැයි එමගින් අපට තේරුම්ගත හැකිය.
දේශගුණ විපර්යාසය පිළිබඳ අධ්‍යයනය කරන ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ දේශගුණ විද්‍යාඥවරියක් වන මහාචාර්ය ෆ්‍රෙඩ්රික් ඔටෝ සඳහන් කරන්නේ මේ අන් කිසිවක් නොව, දේශගුණික විපර්යාසය බවයි.
"ඔව්, ඒ අපයි. ඔව්, අපට විසඳුම් තිබෙනවා, නැහැ, අපි ඒවා ප්‍රමාණවත් තරම් වේගයෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපට අවශ්‍ය අනාගතය කුමක්ද සහ එය සුරක්ෂිත කිරීමට අවශ්‍ය දේ කිරීමට අප කැමැතිද යන්න ප්‍රශ්නයක්" දේශගුණ විද්‍යාඥවරිය තරමක් කනස්සල්ලෙන් සඳහන් කරයි.
1997 වසරේ දෙසැම්බර් මස ජපානයේ කියෝතෝ නගරයට රැස්ව කියොතෝ සම්මුතිය සම්මත කරගත්තේ කල් තියාම දේශගුණ විපර්යාසයට මුහුණ දීම සඳහා ලෝකය සූදානම් කිරීමටය. 2005 වසරේ සිට එය බලාත්මක විය. එමගින් වායුගෝලයට කාබන් විමෝචනය අඩුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තර එකඟතාවක් ඇති විය. 2008 - 2012 අතර මෙකී ජාත්‍යන්තර ගිවිසුමට කැපවීමේ කාලසීමාවේදී යුරෝපය ඇතුළු රටවල් රැසක හරිතාගාර වායු 1990 මට්ටමට වඩා සියයට 5.2 කින් අඩු කර ගැනීමට හැකිවිය. කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, පර්ෆ්ලොරො කාබන්, හයිඩ්‍රො ෆ්ලෝරෝ කාබන්, සල්ෆර් හෙක්සාෆ්ලොරයිඩ් වැනි හරිතාගාර වායුගෝලීය, වායුගෝලයේ සමතුලිතතාව බිඳ දැමීමට හේතුවන අතර එය ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයේ සමස්ත වැඩිවීමකට හේතුවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ ආකාරයට උණුසුම ඉහළ යාම ගෝලීය උණුසුම ලෙස හැඳින්වේ. දේශගුණ විපර්යාසවලට ප්‍රධාන හේතුව මේ ආකාරයට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමය.
සංවර්ධිත යැයි සඳහන් රටවල් අධික කාබන් ප්‍රමාණයක් වායුගෝලයට විමෝචනය කර තිබෙන අතර ගෝලීය උණුසුමට එය ප්‍රධාන හේතුවක් විය. යුරෝපීය රටවල් අද විපාක විඳිනුයේ කාර්මික විප්ලවයේ සිට ඔවුන් වායුගෝලයට අධික කාබන් ප්‍රමාණයක් මුදාහැරීමේ කර්ම විපාකයයි. ලෝකයේ ප්‍රධානම කාබන් විමෝචකයා චීනය වන අතර ඊළඟ විමෝචකයා එක්සත් ජනපදයයි. එක්සත් ජනපදය වැනි කාබන් විමෝචකයන් කියෝතෝ සම්මුතිය සාර්ථක කරගැනීම සඳහා මුල සිට සහයෝගයක් දුන්නේ නැත. මෙකී රටවල කාබන්නේ විමෝචනයේ කර්ම විපාකය ඔවුන්ට පමණක් නොව, ලෝකයට ඉතාම අඩුවෙන් කාබන් විමෝචනය කළ අපේ වැනි රටවලටද මුහුණ පෑමට සිදුවීම අනුන්ගේ කර්මවලට කරගැසීමක් විය හැකිය.
කෙසේ වෙතත් අපේ රටද පසුගිය කාලයේ සංවර්ධනයේ නාමයෙන් වනාන්තර විනාශ කරමින්, ගහකොළ වැල කපා දමමින්, කොන්ක්‍රීට් වනාන්තර ඉදිකරමින් විනාශකාරී ගමනක නිරත වී ඇත. කවර සමාජවාදී හෝ ලිබරල්වාදී කතන්දර ප්‍රකාශ කළද ලංකාවට රටක් හැටියට පැවැතීමට නම් ලෝක දේශගුණ විපර්යාසය පිළිබඳ නිසි අවබෝධයකින් සියලු රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. එය නොතකා කටයුතු කළහොත් ගමන ඉතාම කෙටි එකක් වනු ඇත. කාර්මික බලවතුන් යැයි සඳහන් කළද යුරෝපීයන්ටද මේ අධික උණුසුමෙන් ගැලවීමක් සොයාගැනීමට නොහැකි වී ඇත. එනිසා යුරෝපීය විද්‍යාඥයන් සඳහන් කරන්නේ කළ යුතු එකම දෙය පරිසරයට හානි කරන බලශක්ති භාවිතයෙන් මිදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීම බවය. එහෙත් අපේ වැනි රටවල ආණ්ඩු කරනුයේ එවැනි බලශක්ති ප්‍රභවවලට අකුල් හෙළා ඉන්ධන භූතයන් සතුටු කිරීමය.

