වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,000 පනී
29 June 2026
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,000 පනී
29 June 2026
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ.
ඊයේ දිනය වනවිට ගතවූ ජූනි මාසය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී ඇති තිබූ අතර ඒ සමගින් වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 53,000 ඉක්මවා ගියේය.
ඒ අනුව වසරේ 25 වන සතිය වනවිට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙසින් නම්කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය අද උදෑසන නිකුත් කළ වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දිනය දක්වා දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,159කි.
ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 31කි.
වසරේ ගෙවුණු මුල් මාස 05 තුළම මාසිකව ඩෙංගු රෝගීන් වාර්තාවීම දස දහසට අඩු මට්ටමක පැවතියද, ජුනි මාසයේ ගෙවීගිය දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී තිබේ.
වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ පළාත ලෙස බස්නාහිර පළාතෙන් රෝගීන් 27,833ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතාත්මකව 52.36%කි.
පවතින තත්ත්වය මධ්‍යයේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ මදුරු කීටයින්, පිලවුන් විනාශ කිරීමට අවට පරිසරය පිරිසිදු කිරීම පිළිබඳ දැඩි අවදානය යොමුකරන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවට දැනුම්දෙයි.
ඒ අනුව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් ඩෙංගු මර්ධනය සඳහා අවට පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කර තිබුණි.
මේ අතර ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරින් 100කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ඊයේ තවත් ශ්‍රමදානයක් පැවැත්වුණි.
ඒ ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේයි.

