ප්‍රසිද්ධ ස්ථානයක කසළ දමා මාරු වූ ගුරු මවක සහ ගුරු දියණිය අල්ලා කුරුණෑගල පොලිසියට භාර දෙයි
03 July 2026 | •පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල
ප්‍රසිද්ධ ස්ථානයක කසළ දමා මාරු වූ ගුරු මවක සහ ගුරු දියණිය අල්ලා කුරුණෑගල පොලිසියට භාර දෙයි
03 July 2026 | •පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල
කසළ දැමීම තහනම් කර ඇති කුරුණෑගල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රසිද්ධ ස්ථානයක නීතිවිරෝධි ආකාරයට කසළ බැහැර කිරීමේ චෝදනාව මත මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචි ගුරු මවක හා ගුරු දියණියක ප්‍රදේශවාසීන් විසින් අල්ලා කුරුණෑගල මූලස්ථාන පොලිසියේ පරිසර ඒකකය වෙත ඊයේ (2දා) පෙරවරුවේ භාර දෙනු ලැබීය.
මල්කඩුවාව කොට්ඨාසය භාරව කටයුතු කරන කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රි යොහාන් සිල්වා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව ඔවුන් දෙදෙනා අල්ලාගෙන තිබිණි. මල්කඩුවාවේ පදිංචි ගුරුවරියක සහ ඇගේ මවවන විශ්‍රාමික ගුරුවරියකට එම අනවසර කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මල්කඩුවාව නගරය ආසන්නයේම පිහිටා ඇති පහළ වඳුරාගල මුදුන්පිටට හැරෙන මංසන්ධියට ඔවුන් එම කසළ තොගය බැහැර කර තිබිණි. කැඩී ගිය වීදුරු කැබලි , ප්ලාස්ටික් සෙල්ලම් බඩු කොටස් , දිරා ගිය රෙදි කැබලි සහ ගමන් මලුද ඇතුළුව කසළ විශාල තොගයක් ඊට ඇතුළත් විය.
එම මංසන්ධියේ නිතරම කසළ බැහැර කිරීමෙන් පරිසරය අපවිත්‍ර වී හමන දුර්ගන්ධය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි අනුව එහි කසළ බැහැර කිරීම තහනම් කරමින් සහ ජනතාව දැනුවත් කරමින් කුරුණෑගල ප්‍රාදේශීය සභාව විසින් දැන්වීම් පුවරු දෙකක්ම සවිකර තිබියදීත් එම තහනම නොතකමින් දිගින් දිගටම කසළ බැහැර කිරීම සිදු කරමින් තිබී ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රි යොහාන් සිල්වා සහ ප්‍රදේශවාසීන් එක්ව ඒ පිළිබඳව අවධානයෙන් සිටියදී මේ ආකාරයට එම ස්ථානයට කසළ බැහැර කළ බව කියන ගුරු මව සහ දියණිය ඊයේ අල්ලා ගැනීමට හැකිවී තිබේ. පෙරේදා (1දා) රාත්‍රි 12 න් පසුව එම කසළ තොගය රහසිගතව එම ස්ථානයට ඔවුන් ගෙනැවිත් දමා ගොස් තිබූ අතර පසුව කිසිවකු විසින් එම කසළ තොගය මාර්ගය හරහා විසුරුවා හැර තිබුණේ ඒ පිළිබඳව ජනතා අවධානයට ලක් කිරීම පිණිස බව පැවසේ.
එම කසළ තොගයේ තිබූ බිල්පත් සහ ලිපි කීපයක් මගින් ඒවායේ හිමිකරුවන් වූ ඒ ආසන්නයේම පදිංචි ගුරු මව හා ගුරු දියණිය එම ස්ථානයට කැඳවීමටද ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා පියවරගෙන තිබිණි. එහිදී ඔවුන් තමන් කළ වරද පිළිගත් අතර එම ස්ථානයට පැමිණි මල්කඩුවාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කුෂාන් පෙරේරා සහ කුරුණෑගල පරිසර පොලිසියේ නිලධාරින් ඔවුන්ට දැඩි ලෙස අවවාද කර මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාටම විරුද්ධව අධිකරණයේ නඩු පවරන බව දැනුම් දුන්හ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රි යොහාන් සිල්වා පැවසුවේ ජනතාතාගේ අවධානය නිසාම රහසිගතව නීතිවිරෝධී ආකාරයට කසළ බැහැර කරන පිරිසක් මෙසේ අල්ලා ගැනීමට හැකිවූ බවය. එම ස්ථානයට මේ අකාරයට කසළ බැහැර කරන තවත් පිරිසක්ද සිටින බැවින් ඔවුන්ද මේ ආකාරයටම අල්ලාගන්නා බව දන්වා සිටි මන්ත්‍රිවරයා , කුරුණෑගල ප්‍රාදේශීය සභාවට අයත් කසළ ට්‍රැක්ටරයක් නොදිරන කසළ රැගෙන යාමට මසකට වරක් එම ප්‍රදේශයට පැමිණෙත්දීත් මේ ආකාරයට පරිසරයට හානි වන ආකාරයට කසළ බැහැර කිරීම බරපතළ වරදක් බවද ඔහු සඳහන් කළේය.

