brand logo
logo
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන් - හෙට සිට දඩ

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන් - හෙට සිට දඩ

30 June 2026


වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.


ඒ අනුව අද දිනය තුළ මෙතෙක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව පවතී. 


2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත සියලු නිලධාරීන් ඔන්ලයින් ඔස්සේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ. 


ඒ අනුව අද දිනයෙන් පසු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති සියලුදෙනා හට දඩ අයකිරීමක් සිදුකරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේය.


කෙසේවෙතත් විශාල පිරිසක් එකවර ඔන්ලයින් ඔස්සේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන් වෙබ් අඩවියේ යම් අවහිරතාවක් සිදුව ඇති බව වාර්තා වේ.


ඒ අනුව එම අවහිරතාවය හේතුවෙන් අද දිනය තුළ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වන පුද්ගලයින් සඳහා සතියක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.


අදාළ පුද්ගලයින්ට ජුලි මස 7 වන දින රාත්‍රී 12 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 

 

More News..