පරණ සීනි අලුත් කර විකුණන ගබඩාවක් අල්ලයි
07 July 2026 | එෆ්. අස්ලම්/ දර්ශාන් කානිල් - මොරටුව
පරණ සීනි අලුත් කර විකුණන ගබඩාවක් අල්ලයි
07 July 2026 | එෆ්. අස්ලම්/ දර්ශාන් කානිල් - මොරටුව
පෑලියගොඩ පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් ගණනාවක් සමගින් එහි කළමනාකාරවරයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරින් ද එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
සීනි ආනයනය කරනු ලබන සමාගමක් විසින් මෙම සීනි තොගය මෙම ස්ථානයේ ගබඩා කර ඇති අතර, මෙම කල් ඉකුත් වූ සීනි නව ඇසුරුම්වල බහා කල් ඉකුත් වීමේ දිනය සහ වෙළෙඳ නාමය වෙනස් කරමින් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇත.
ඉතා දුර්වර්ණ වූ සීනි නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය සඳහා විකිණීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
මෙම ගබඩාව තුළ සීනි මෙට්‍රික් ටොන් හාරදහසකට අධික ප්‍රමාණයක් ඇසුරුම් කර තිබී ඇති බවත් ටොන් දහසකට අධීක ප්‍රමාණයක් දුර්වර්ණ වූ පාරිභෝජනයට නුුසුදුසු සීනි බවත් හා පාරිභෝජනයට සුදුසු සීනි බවට සැකකරන බවත් ඒවා පාරිභෝජනයට සුදුසු සීනි හා ගොඩගසා තිබී ඇති බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙම සීනි ආනයන බදු ශත විසි පහක පැවති කාලයේ සිටම ගෙන එන ලද සීනි මෙට්‍රික් ටොන් ගණනාවක් මේ අතර තිබෙන බවට සැකකරන බවද විමර්ශන නිලධාරිහු සඳහන් කරයි.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් එම ගබඩාව මුද්‍රා තැබීමට කටයුතු කර ඇති අතර සැකකාර කළමනාකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වැටලීම පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සෘජු අධීක්‍ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල නියෝග පරිදි එම බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ශාන්ත, පොලිස් පරීක්‍ෂක ජනිත කුමාර, උප පොලිස් පරීක්‍ෂක මධුෂාන්, පොලිස් සැරයන්වරුන් වන 34950 සම්පත්, 71032 දිනේෂ්, පොලිස් කොස්තාපල් වරුන් වන 39850 අෂාන්, 91305 රශ්මික, 104327 දිල්ශාන්, 104643 සේනාරත්න, 104792 අබේකෝන්, පොලිස් කොස්තාපල් රියැදුරු 94735 මධුසංක සහ 105529 සිල්වා යන නිලධාරීන් විසින් සිදුකර ඇත.

