brand logo
logo
පැය 24ට ඩෙංගු රෝගීන් 2600 පනී - දරුවන් 5දෙනකුත් බිලි

පැය 24ට ඩෙංගු රෝගීන් 2600 පනී - දරුවන් 5දෙනකුත් බිලි

07 July 2026 | ශිරාන් රණසිංහ


ඩෙංගු වැළඳුණු වයස අවුරුදු පහට අඩු දරුවන් තිදෙනකු ඇතුළු දරුවන් පස් දෙනකු මේ වන විට මිය ගොස් තිබේ.


මිය ගිය එම දරුවන්ගෙන් සිව් දෙනකු බස්නාහිර පළාතේ බවත් එක් දරුවකු ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ විසූ අයකු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ‘අරුණ’ට ඊයේ (06 වැනිදා) පැවසීය.


ඊයේ (06 වැනිදා) පෙරවරුවෙන් අවසන් වූ පැය විසි හතර තුළ ඩෙංගු රෝගීන් 2604දෙනකු හමු වී ඇති අතර ගෙවී ගිය දින පහේ දී හමු වී ඇති රෝගීන් සංඛ්‍යාව 5663 දෙනෙකි.


මේ අතර පැය විසි හතරකදී රෝගීන් 2604දෙනකු හමු වීම අධි වසංගත තත්ත්වයක් යැයි වෛද්‍යවරු පවසති.


මෙම වසරේ දී මේ වන විට ඩෙංගු රෝගීන් 61060ක් හමු වී ඇති අතර ඒ අතරින් සියයට පනස් දෙකයි දශම පහක් (52.50%)ක් හමු වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම රෝගීන් ගණන 32054කි.


දෙවැනියට රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙනි. එම සංඛ්‍යාව 9674ක් වන අතර මේ වන විට සබරගමුව පළාතෙන් හමු වී ඇති රෝගීන් සංඛ්‍යාව 5237කි. මධ්‍යම පළාතෙන් රෝගීන් 4823ක් හා නැගෙනහිර පළාතෙන් 2979ක් හමු වී ඇත. වයඹ පළාතේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 2778කි. ඌව, උතුරු මැද හා උතුරු යන පළාත්වලින් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් 1550ක්, 1013ක් හා 957කි.


තවද කොළඹ දිස්ත්‍රික්කයෙන් 12445ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 12282ක්, මාතරින් 4428ක් කළුතරින් 4092ක් ද මහනුවරින් 3802ක් ද හමුවී තිබේ. ගාල්ලෙන් හමු වී ඇති රෝගීන් සංඛ්‍යාව 1649ක්, කුරුණෑගලින් 1629ක්, මඩකලපුවෙන් 1220ක් වශයෙන් රෝගීන් හමුවී ඇත. එමෙන්ම පුත්තලමෙන් රෝගීන් 1149ක්, කල්මුණෙන් 784ක්, මොනරාගලින් 776ක්, බදුල්ලෙන් 774ක්, යාපනයෙන් 708ක්, ත්‍රිකුණාමලයෙන් 563ක්, අනුරාධපුරයෙන් 531ක්, පොළොන්නරුවෙන් 412ක්, නුවරඑළියෙන් 365ක්, වව්නියාවෙන් 94ක්, මන්නාරමෙන් 64ක්, කිලිනොච්චියෙන් 56ක් සහ මුලතිව් වෙතින් රෝගීන් 35ක් වාර්තා වී තිබේ.


මේ අතර දැනටමත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 14ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ද නම් කර ඇත.

 

More News..