ජාතික තේරීම් කමිටුවට ජූලි අග සිට නොනගතයක්?
26 June 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
ජාතික තේරීම් කමිටුවට ජූලි අග සිට නොනගතයක්?
26 June 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
ලබන මස පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන සමයෙන් පසු මසක පමණ කාලයක් ගතවනතුරු ජාතික තේරීම් කමිටුවේ කටයුතු කෙසේ සිදුවේද යන්න ගැන දැඩි අපැහැදිලි තත්ත්වයක් මතුවනු ඇතැයි තොරතුරු වාර්තා වේ. ජූලි මස අග ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ඇරැඹීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගීවීම සඳහා වත්මන් ජාතිත තේරීම් කමිටුවේ සභාපති තනතුර දරන ශ්‍රියානි කුලවංශ එහි යෑමට සැලසුම් කර ඇති අතර අනතුරුව ඇය මසක පමණ කාලයක් එරට රැඳෙනු ඇතැයි සැලවේ.
ජාතික තේරීම් කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් රවී පතිරවිතාන ඉකුත් මාර්තු මාසයේදී ඉල්ලා අස්වීමෙන් පසු මේ දක්වා අදාළ ධුරය ද ඇබෑර්තු වී ඇති අතර ඒ අනුව යම් ලෙසකින් ඉදිරි දිනවලදී එකී ලේකම් ධුරය සඳහා කිසිවකු පත්කරනු නොලැබුවහොත් ඉදිරි ජූලි මස අවසානයේ සිට අවම වශයෙන් මාසයක කාලයක් ගතවනතුරු ජාතික තේරීම් කමිටුවේ ක්‍රියාකාරීත්වය සිදුවනුයේ කෙසේද යන්න පැනයක් බවට පත්වනු ඇත.
ජාතික තේරීම් කමිටුවේ සභාපති තනතුරේ අත්සන නොමැතිව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි ආදිය සඳහා සහභාගීවන කණ්ඩායම් වෙත අනුමැතිය ලබාදීම නෛතික වශයෙන් ගැටලුවක් බවට පත්වේ. එසේම එකී කාලය අතරතුර යම් තෝරාගැනීමක් සම්බන්ධයෙන් ජාතික තේරීම් කමිටුව වෙත අභියාචනයක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ තීන්දුව තහවුරු කරන්නේ කවුරුන්ද මෙන්ම ජාතික සංගම්වල තේරීම් කමිටු සඳහා අනුමැතිය ලබාදෙන්නේ කවුරුන්ද යන්නත් ගැටලු බවට පත්වීමට ඉඩ තිබේ.
ජාතික තේරීම් කමිටු සභාපති හෝ ලේකම් යන ධුරවලට අමතරව තවත් සාමාජිකයන් තිදෙනකු සිටින නමුත් උක්ත අනුමැතීන් ලබාදීම සඳහා එම සෙසු සාමාජිකයන්ට බලයක් නොමැත.

