පාසල් පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීමේ ක්‍රියාවලියට ඩිජිටල් තාක්ෂණය
03 July 2026
පාසල් පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීමේ ක්‍රියාවලියට ඩිජිටල් තාක්ෂණය
03 July 2026
පාසල් පෙළපොත් ප්‍රසම්පාදනය, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය වඩාත් විධිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නව තාක්ෂණික ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2021 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය සලකා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම නව තාක්ෂණික පියවරයන් පිළිබඳ තොරතුරු අනාවරණය විය.
ඒ අනුව, 2024 වර්ෂයේ සිට සියලු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, දැනට පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පොත් පිළිබඳ තොරතුරු සෘජුව ලබා ගැනීම සඳහා නව පරිගණක දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇති බව ද සඳහන්.
එමෙන්ම පොත් අලෙවිසල් ජාලගත කිරීම, පරිශීලක නාම හා මුරපද මගින් ආරක්ෂිත ප්‍රවේශ පද්ධති ස්ථාපිත කිරීම, ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා විධිමත් පරීක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීම මෙන්ම 'ඊ-තක්සලාව' කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම පියවරයන් මගින් පවතින දෝෂ හා මූල්‍ය අක්‍රමිකතා අවම කරමින්, පෙළපොත් ක්‍රියාවලියේ විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පැවසීය.
පාසල් පෙළපොත් මුද්‍රණය, බෙදාහැරීම සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය වසරවලදී මතු වූ ගැටලු රැසක් සහ අවශ්‍යතාව නිවැරදිව ගණනය නොකිරීම හේතුවෙන් අතිරික්ත පොත් තොග රැස් වීම සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම වැනි කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ 2002 වර්ෂයේ පාසල් පෙළපොත් මුද්‍රණයට අදාළව රුපියල් මිලියන 212කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ අදාළ මුද්‍රණ ආයතනය සහ එහි අධ්‍යක්ෂවරුන් සොයා ගැනීමට මේ වන විට නොහැකි වී ඇති බවය.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශන ක්‍රියාත්මක කරන අතර, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
එමෙන්ම, 2006 වර්ෂයේදී පෙළපොත් නියමිත කාලයට සැපයීමට අපොහොසත් වූ මුද්‍රණ ආයතනයකින් වන්දි මුදල් අය කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු ව ඇත.

