brand logo
logo
නීතිඥ ගාස්තු ගෙවන්න වකුගඩුවත් විකුණලා

නීතිඥ ගාස්තු ගෙවන්න වකුගඩුවත් විකුණලා

04 July 2026 | සංජය නල්ලපෙරුම සුන්දර නිහතමානි ද මැල්

නඩු යන්නෝ වැනසෙන්නෝ යැයි පැරැන්නෝ කීවේ කට කසනවාට නොවේ යැයි තේරුම් ගත හැකි වන්නේ නඩුවක පැටලුන විටදීය. දැනට දශක පහකට හයකට පෙරදී අද මෙන් රටේ හැම තැනම අධිකරණ තිබුණේ නැත. ඒ නිසා ඈත ගම්බිම්වල සිටි ජනතාවට අධිකරණ නඩු විභාග සඳහා පැමිණිමට සිදුවූයේ දුර කතර ගෙවාගෙනය. අද මෙන් නීතිඥයන් බහුල නොවූ එකල නීතිඥයන්ගේ සහාය ගැනීමත් එතරම් ලෙහෙසි පහසු වූයේ නැත. ඇතැම් විට බරපතළ නඩු කටයුතු සඳහා කොළඹින් නීතිඥයෙක් ගෙන්වා ගැනීමට ඇතැම්හු කටයුතු කළත් ඒ සඳහා ගෙවිය යුතු මුදල දුප්පත් ගැමියන්ට දරාගැනීමට පහසුවූයේ ද නැත. මේ නිසා නඩු යන්නෝ වැනසෙන්නෝ යැයි කියමින් නඩුවලට පැටලීමට පැරැන්නෝ වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.

එහෙත් ඉඩමේ වැට මායිමට රණ්ඩු සරුවල් වීමට පමණක් නොව පරම්පරා කිහිපයක් ගත වන තෙක් නඩු කීමටත් ඇතැම් අය පැකිලුනේත් නැත. එසේ නඩු ගිය ඇතැම් අය වැනසුනත් ඇතැම් අය සැනසුනෝය. ඒ නඩු හබ අවසානයේදී තමන්ට ලැබෙන වාසිය නිසාය.

නඩු යන්නෝ වැනසෙන්නෝ යැයි කී කතාව යළිත් සිහිපත් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පසුගිය සතියේදී කළ කතාවක් නිසාය. ඔහු ඒ කතාව කළේ හෝමාගම නීතීඥ සංගමය පළමු වරට ප්‍රකාශයට පත් කළ නීතිඥ සඟරාව එළි දැක්වීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය. එදාට වඩා විශාල අධිකරණ සංඛ්‍යාවක් අද පිහිටුවා ඇතත් ඒවායේ නඩු ප්‍රමාදවීම පිළිබඳ යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා පැහැදිලි කළේ ලංකාවේ අධිකරණ පද්ධතිය හා සම්බන්ධ අධිකරණ සංඛ්‍යාව පිළිබඳව සංඛ්‍යා උදාහරණත් ඉදිරිපත් කරමින්ය.

“අපේ පද්ධතිය තුළ නීති කෘත්‍ය, නඩු, විභාග සහ අභියාචනා ලක්ෂ එකොළහක් තිබෙනවා. මේවා ඇසීම සඳහා රට පුරාම අධිකරණ තුන්සිය තිස් තුනක් තිබෙනවා. සම ආකාරයට හැම අධිකරණයකටම මේ නඩු ප්‍රමාණය බෙදා බැලුවොත් එක අධිකරණයකට නඩු තුන්දහස් තුන්සියයක් තිබෙනවා. විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව, විනිසුරුවන් නොවන අධිකරණ නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ සඳහා ප්‍රමාණවත්ද කියලා ඔබම හිතලා බලන්න. මේක යුක්තිය පසිඳලීමේ කාර්යයට සෘජු ලෙසම බලපානවා. කාර්යක්ෂම වෙනවාද කියලා ඔබම හිතලා බලන්න” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පැවැසුවේ මහාධිකරණ විනිසුරුවන්, දිසා අධිකරණ විනිසුරුන් සහ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් පමණක් නොව නීතීඥයන් විශාල පිරිසක් සිටි ශාලාවකදීය.

එක් අධිකරණයකට දෛනිකව විසඳීමට තිබෙන නඩු ප්‍රමාණය කොතරම්ද යන්න ඔහු විග්‍රහ කළේ නඩු විභාගයක් අවසන්වීමට ගතවන කාලය ගැනද උදාහරණ මගින් පැහැදිලි කරමින්ය. යුක්තිය ඉටුවීම සඳහා ගතවන කාලය පිළිබඳ සමීක්ෂණයක් මීට දශකයකට පමණ පෙරදී කර තිබුණේය. ඔහු ඒ ගැන පැහැදිලි කළේ එම සමීක්ෂණයත් උපුටා දක්වමිනි.

“අපරාධ යුක්තිය ඉටු කිරීමේ පළමු චක්‍රය සම්පූර්ණ වෙන්න අවුරුදු දහයක් සහ මාස දෙකක් ගත වෙනවා කියලා දෙදහස් දහ තුන අවුරුද්දේදී කළ සමීක්ෂණයෙන් පැහැදිලි වෙලා තිබුණා. වැරදිලාවත් අද ඔබ ගෙදර යන විට ගෙදර හොරු බිඳලා තිබුණා නම් ඔබ ඒ බව පොලිසියට දැනුම් දෙනවා. ඊට පස්සේ පොලිසිය සාර්ථක විමර්ශනයක් කරලා මේ චක්‍රය අවසන් වෙන්නේ දෙදහස් තිස් හයේ අගෝස්තු මාසයේදී. අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වුණ බෙදුම් නඩු දහයක් අරගෙන පළමුවෙන්ම දිසා අධිකරණයේ නඩුව පවරපු දවස එක්ක සම්පූර්ණ චක්‍රය අරගෙන බැලුවාම, දිසා අධිකරණයේ නඩු විභාගය පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුදු හතළිස් හතක් වෙනවා. කේන්දර විශ්වාස කරන අයට අනුව සෙනසුරු අපලය වෙන්න බෑ. පවරපු අයගේ සෙනසුරු අපලයයි, ඔවුන්ගෙන් පැවත එන අයගේ සෙනසුරු අපලයයි ඉවරවුණාට පස්සේ තමයි අපේ අධිකරණ පද්ධතියෙන් හවුල් ඉඩම බෙදා වෙන් කරලා දෙන්නේ” යසන්ත කෝදාගොඩ විනිසුරුතුමන් පැහැදිලි කළේ උදාහරණත් සහිතවය.

අධිකරණවල නඩු විභාගය ප්‍රමාදවීමට කාර්ය මණ්ඩල හිඟය පිළිබඳ යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා කියන කතාව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එකහෙළා අනුමත කරන්නේය.

“මේකට කරුණු රාශියක් බලපානවා. සාමාන්‍යයෙන් නඩු ප්‍රමාදයට නීතිඥයන්ගේ ක්‍රියා කලාපය ඒකට හේතු වෙනවා කියලා කියවෙනවා. ඒත් සමහර අධිකරණවල ලඝු ලේඛකයන් නෑ. සමහර තැන්වල ලේඛන ගැනීමේ හැකියාව නෑ. සටහන් ගැනීමේ ප්‍රමාදයන් තිබෙනවා. සමහර තැන්වල භාෂා පරිවර්තකයන් නෑ. සමහර වෙලාවට බෙදුම් නඩුවක පිඹුරක් සකස් කරගැනීම සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළාම වසර ගණනාවක් ප්‍රමාද වෙනවා. අපරාධ නඩුවක, සිවිල් නඩුවක අත් අකුරු පරීක්ෂකවරයෙක්ගෙන් විමසීමක් කළ විට ප්‍රමාදවීම් වෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට ඉදිරිපත් කළාම වසර ගණනාවක ප්‍රමාදයන් වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නෑ කියලා කියනවා” කෞෂල්‍ය නවරත්න ජනාධිපති නීතීඥවරයා පැවසුවේය.

අධිකරණ නඩු විභාග ප්‍රමාදය වලක්වා ගැනීමට පසුගිය කාලයේදී අලුතින් අධිකරණ හඳුන්වා දුන්නේය. පහළ අධිකරණවලින් දෙන නඩු තීන්දුවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා කටයුතු කළේ දැනට දශක දෙකකට පමණ පෙරදීය. කොළඹ පිහිටි අභියාචනාධිකරණයට කෙලින්ම අභියාචනා ඉදිරිපත් කිරීම වෙනුවට පළාත් මට්ටමින් සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට පනතක් සම්මත කර සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටවා දැන් දශක දෙකක් තිස්සේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේය. ඒ නිසා විශාල මුදලක් වැය කරමින් කොළඹ අභියාචනාධිකරණයට පැමිණීමට අවශ්‍ය වන්නේ නැත.

අධිකරණවල නඩු විභාග වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත්වීම මත ඇතැම් පනත් සංශෝධනය කිරීමට කටයුතු කළ ආකාරය ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සිහිපත් කළේය.

“නඩු ප්‍රමාදය වසර ගණනාවක් තිස්සේ සිදුවෙන දෙයක්. සෑම රජයක් වගේම නීතිඥ සංගමයත් මේ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ මැදිහත් වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය මගින් කටයුතු කරලා තිබෙනවා. සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරලා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ කියන කාර්යය ඇති කරලා තියෙන්නේ ඉක්මනින් නඩු විභාග කරලා අවසන් කරන්න. අපරාධ නඩු විධාන සංග්‍රහයටත් ඒ ආකාරයෙන් සංශෝධන ගෙනවිත් තිබෙනවා. ඒත් නඩු ප්‍රමාදය ඒකෙන් විසඳුනාය කියලා කීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා. කොළඹ වානිජ අධිකරණවල ප්‍රමාණය වැඩි කරලා තිනෙවා. නඩු අහන වෙලාව වැඩි කරලා තියෙනවා. නීතිඥයන් මේවාට සහභාගී වෙනවා. ඒත් ප්‍රායෝගිකව ඇතිවන ගැටලු නිසා නඩු ප්‍රමාදවීම් වෙනවා. ඒ වගේම සමථකරණයට අවස්ථාව දී තිබෙනවා” ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න කීවේය.

ඔහු පවසන්නේ අධිකරණ විනිසුරුවරුන්, අධිකරණවල සේවය කරන කාර්ය මණ්ඩලවලට, නීතිඥයන්ට පමණක් නොව සේවාදායකයන්ටද නඩු විභාග වේගවත් කිරීම සඳහා වගකීමක් ඇති බවය. නඩු විභාග වේගවත් කරගැනීම සඳහා සේවාදායකයන්ගේ දායකත්වය වඩාත් වැදගත් බවද ඔහු සඳහන් කළේය. බැංකු වැනි මූල්‍ය ආයතනවලින් දිනපතා විශාල නඩු සංඛ්‍යාවක් පවරන නමුත් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට තමන්ගේ නඩු කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොසිටින අවස්ථා දැකිය හැකි බවද ඔහු පවසන්නේය.

“ඇතැම් විට නඩු කියන පාර්ශ්වයන්ට තමන්ගේ නඩුව ඉක්මනින් අවසන් කරගැනීම සඳහා සහාය දිය යුතු වෙනවා. සිවිල් අධිකරණයක දික්කසාද නඩුවක් ගත් විට සමථයකට දැනුම් දිය හැකියි. ඇතැම් විට දරුවෙක්ගේ ප්‍රවේශය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගැනීමට නොහැකිවන අවස්ථා තිබෙනවා. ඒ නිසා නඩු ඇදී යනවා.

නීතිඥවරුන්ට බලහත්කාරයෙන් නඩු ඉවත් කළ නොහැකියි. තමන්ගේ සේවාදායකයා දෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු වෙනවා. සමථයක් සඳහා සේවාදායකයන් කැමැති නැති වූ විට තමන්ගේ සේවාදායකයා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමට වෙනවා. ඒ වගේ අවස්ථා නිසා තමයි හුඟක් නඩුවල ප්‍රමාදයන් ඇතිවෙන්නේ.

අධිකරණ නිලධාරීන් අවම පහසුකම් යටතේ තමයි කටයුතු කරන්නේ. දහ දෙනෙක් සිටිය යුතු තැන ඉන්නේ එක්කෙනයි, දෙන්නයි. බැංකු වගේ ආයතන නඩු පැහැරහරින්නන් සම්බන්ධයෙන් දෛනිකව විශාල නඩු ප්‍රමාණයක් ගොනු කරනවා. ඒත් නඩු මෙහෙයවීමට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් දකින්න නෑ. ඒ නිසා සුළු හිමිකම් අධිකරණ පිහිටුවා තිබෙනවා. මිලියන විස්සකට වඩා අඩු වටිනාකමකින් යුත් නඩු විභාග කිරීම සඳහා තමයි එම අධිකරණ තිබෙන්නේ.” කෞෂල්‍ය නවරත්න කීවේය.

අධිකරණ නඩු විභාග ප්‍රමාදවීම සම්බන්ධයෙන් අධිකරණ පද්ධතිය වෙත පමණක් ඇඟිල්ල දිගු කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයාගේ අදහසයි. ඒ සඳහා ව්‍යවස්ථාදායකයට මෙන්ම විධායකයටත් වගකීමක් ඇති බව ඔහු සඳහන් කරන්නේය. කාලයට ඔබින ආකාරයේ නීති සංශෝධනය කිරීම සඳහා එම ආයතනවලට වගකීමක් ඇති බවද ඔහු සඳහන් කරන්නේය.

ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ කටයුතු බොහෝමයක් නිරාකරණය කරගන්නේ බේරුම්කරණය යටතේය. ලංකාවේ බේරුම්කරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ එක්දහස් නමසිය අනූ පහේදී සම්මත කරගත් පනතක් මගින්ය. වසර තිහක් තිස්සේ ජාත්‍යන්තර වෙළෙඳාමේ වර්ධනයන් ඇතිවූ නමුත් එම වර්ධනයන්ට අදාළව පනත සංශෝධනය වුණේ නැත. පසුගිය වසර තිහ තිස්සේ එම පනතට එකදු සංශෝධනයක්වත් ඉදිරිපත් වුණේ නැත. මේ නිසාම බේරුම්කරණය සම්බන්ධයෙන් ලංකාව තෝරා ගන්නවා වෙනුවට සිංගප්පූරුව හෝ ඩුබායි වැනි රටවල් තෝරාගැනීමට ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ ආයතන වැඩි කැමැත්තක් දක්වන්නෝය. ඒ එම රටවල බේරුම්කරණ නීති නූතනයට ගැළපෙන ආකාරයට යාවත්කාලීනවී ඇති නිසාය.

මෙසේ බොහෝ කාලයක් තිස්සේ ඇදී යන නඩු කටයුතු ගැන නීති ක්ෂේත්‍රයේ අපූරු කතාවක් ද තිබේ. ඒ කතාවේ හැටියට පියාත්, පුතාත් නීතිඥයෝය. පියා වසර විසි තිස් ගාණක් තිස්සේ ඇදගෙන ගිය නඩුව පුතා එක දවසින් අවසන් කර නිවසට ආවේය. නිවසට පැමිණ පියාට වසර විසි තිස් ගානක් තිස්සේ ඇදගෙන ගිය නඩුව එක දවසින් අවසන් කළ බව පවසා ඇත්තේ මහා උජාරුවෙන්ය. ඒ පියාට කළ නොහැකිවූ දෙයක් තමන්ට කිරීමට හැකිවූ නිසාය. එයට පියාගෙන් ප්‍රසංශාවක් වෙනුවට ලැබී තිබුණේ බැනුම් ගොඩකි. තමන් දරුවන් උස් මහත් කළේ ඒ නඩුව වසර ගාණක් තිස්සේ ඇදගෙන ගොස් ගත් නීතිඥ ගාස්තුවලින් යැයි පියා කියා තිබුණේ පුතා මහ වරදක් කළ ආකාරයටය. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් නීතිඥයන් අය කරන ගාස්තු ගැන විනිසුරු යසන්ත කෝදාගොඩ කියූ කතාව නීතිඥ ප්‍රජාවේම අවධානයට ලක්වන කතාවකි.

“ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාට වකුගඩුවක් අවශ්‍ය වූ විට ආරණ්‍ය සේනාසනයක ස්වාමීන් වහන්සේ නමක් පරිත්‍යාග කරලා තිබුණා. ඒකට කීයක් ඕනද, ඇයි ඒ මුදල අවශ්‍ය කියලා කෙලින්ම අහලා තිබුණා. මුදල අවුරුදු පහළොවකට පෙර ලක්ෂ නමයයයි. එයාගේ සහෝදරයෙක්ට මිනී මැරුම් නඩුවක් තියෙනවාලු. මුලින්ම අතේ තිබෙන මුදලින් ගෙවලා තිබෙනවා. ඊට පස්සේ ඉඩම උකස් කරලා නීතිඥ ගාස්තු ගෙවලා. ඊට පස්සේ උකස් කරන්න දෙයක් නෑ. ඒ නිසා වකුගඩු දෙකෙන් එකක් විකුණලා නීතිඥ ගාස්තු ගෙවන්න තීරණය කරලා තියෙනවා. මේක තමයි යථාර්ථය. නීතිඥ ගාස්තු ශ්‍රී ලංකා රාජ්‍යයටවත්, ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නියාමනය කරන්න බෑ” යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා පවසන්නේත් නීතිඥ ගාස්තු සම්බන්ධයෙන් කඩයක බඩුවල මිල තීරණය කරන ආකාරයට තීරණය කිරීමේ හැකියාවක් නොමැති බවය.

“නීතිඥ ගාස්තු නියාමනය කිරීමේ හැකියාවක් නැහැ. නීතිඥ වෘත්තිය විතරක් නෙමෙයි, කිසිදු වෘත්තියකට එවැනි නියාමනයක් කිරීමේ හැකියාවක් නෑ. ඒ ඒ වෘත්තියේ නිපුණත්වය ගෙන ඇති වෘත්තිකයෙක්, තමන් සපයන සේවාවට සාපේක්ෂව ගාස්තු නියම කරනවා. ඒ සඳහා ඔහු කරන කැපවීම, ඔහුගේ ඥානය, බුද්ධිය, ඒ සඳහා තමන්ගේ වෘත්තිය අත්දැකීම් යෙදවීම මූල්‍යමය වශයෙන් එක් එක් අයට වෙනස් වෙනවා. මේක නීතිඥවරුන් අය කළ යුතු ගාස්තු මේ ප්‍රමාණයෙන් විය යුතු යැයි බඩුවල මිල නියම කරන ආකාරයට නියම කළ නොහැකියි. ඒ වගේ දෙයක් උත්සාහ ගැනීමත් වෘත්තිකයාගේ තිබෙන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්” කෞෂල්‍ය නවරත්න ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයටවත් මැදිහත්විය නොහැකි බවය.

නීතිඥ ගාස්තු නියාමයන කිරීමේ හැකියාවක් නොමැති නමුත් නීතිඥ ගාස්තු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමුව තිබෙන්නේය. එක්දහස් නමසිය අනූ අටේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ රීති මගින් නීතිඥ ගාස්තු අය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳහන් කර ඇත්තේ සේවාදායකයාගේ ආර්ථික දුෂ්කරතා නිසා ඔහුට ගාස්තු ගෙවීමට නොහැකිවීම නිසා නීතිමය නියෝජනය ගැනීමට නොහැකි වන අවස්ථාවලදී තමන්ගේ ගාස්තුවෙන් අඩක් අඩු කිරීම හෝ සම්පූර්ණයෙන්ම ගාස්තු අය නොකර සිටිය යුතු බවයි. එමෙන්ම සේවාදායකයා කිසියම් භාරයක් සේ නීතිඥයා සන්තකයේ තබා ඇති මුදල් සේවාදායකයාගේ අවසරය මත මිස වියදම් කළ නොහැකි බවය. එහෙත් එම රීති මගින් කොතරම් ගාස්තුවක් අය කළ යුතුද යන්න පිළිබඳ ඉඟි පළ කරන්නේවත් නැත.

ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට අනුව බොහෝ නීතිඥයෝ නොමිලේ නඩුවලට පෙනී සිටින්නෝය. ඇතැම් නීතිඥයන් සෘජුව තමන් හමුවට එන සේවාදායකයන්ට නොමිලේ නීතිමය සහාය දෙන අතර ඇතැම් අවස්ථාවලදී නීති ආධාර කොමිසම හරහා එම සේවාවන් දෙන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥයන් වෙනුවෙන් හඳුන්වාදී ඇති රීතිවලට අනුව නීතිඥයන්ට දැන්වීම් පළ කරමින් සේවාදායකයන් තමන් වෙත ගෙන්වා ගැනීමට නොහැකිය. ඒ වෙනුවෙන් තැරැව්කාරකම් කිරීමට ද නොහැකිය. එහෙත් එය කෙසේද යන්න දැකගැනීමට නම් කොළඹ පිහිටි රථ වාහන නඩු විභාග වන අධිකරණය හමුවට යා යුතුය.

අධිකරණ අමාත්‍යාංශයට යාබද ගොඩනැගිල්ලක ඉහළ මහලේ පිහිටි රථ වාහන අධිකරණයේ තරප්පුපෙළ මත සිටින ඇතැම් නීතිඥයන් අංකය මොකක්දැයි අසමින් නීති නියෝජනය දීමට බලහත්කාරයෙන්ම ඉදිරිපත් වීමට සූදානමින් සිටින්නේය. ඇතැම් විට සේවාදායකයාගේ උපදෙස් නොමැතිවත් නඩු වෙනුවෙන් නැගී සිටින අවස්ථා දුලබ නොවේ. එවැනි අවස්ථාවලදී විනිසුරුවරුන්ගේ තරවටුවලට යටත්වීමට ඔවුන්ට සිදුවන්නේය.

කෙසේ වෙතත් නීතිඥ ගාස්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය තුළ කතිකාවක් ඇතිවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගේ අදහස වන්නේය.

 

More News..