brand logo
logo
කියුබාව කළ දේ අපට බැරි ඇයි?

කියුබාව කළ දේ අපට බැරි ඇයි?

06 July 2026


නිල වාර්තා අනුව අපේ රටේ පළමුවැනි ඩෙංගු රෝගියා වාර්තා වන්නේ 1962 අවුරුද්දේය. එවකට රට කරවූයේ සිරිමා බණ්ඩාරනායකයි. අනතුරුව ගතවූ අවුරුදු හැටහතරේදී ඩඩ්ලි, ජේ.ආර්, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන, ගෝඨාභය, රනිල් ආදී නායකයන් රට කරවද්දී ඩෙංගු රෝගීන් වැඩි වූවා මිස අඩු වූයේ නැත. ඒ නිසා දැන් මේ අවුරුද්දේ අද වන විට ඩෙංගු රෝගීන් ගණන හැට දහස දක්වා ඉහළ ගොස් තිබුණද, ඩෙංගු මරණ සංඛ්‍යාව හතළිහට කිට්ටු වී තිබුණද එහි වරද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මතම පවරන්නට අපට බැරිය. එසේ ලියන අතරම ඇසිය යුතු ප්‍රශ්නයක් ද තිබේ. අප වැනිම කුඩා රටක් වූ කියුබාව ඩෙංගු මදුරුවා පරාජය කර තිබියදී අපට එය කරන්නට බැරි වී ඇත්තේ මන්ද? (යටත් පිරිසෙයින් බලයට පත්වීමට පෙර මේ ආණ්ඩුවේ නායකයන් ගුරු කොට ගත් රට වූයේ කියුබාවයි)


කෙසේ වුවත් අපේ රටේ මිනිසුන් පුරුදු වී ඇත්තේ හැම වැරැද්දක්ම ආණ්ඩුව පිට පැටවීමටය. එපමණක් නොවේ. ආණ්ඩුව හැම දෙයක්ම කළ යුතු යැයි සිතා අත් දෙක හකුළුවා ගෙන බලා සිටීමටය. පුරවැසි වගකීම් කියා දෙයක් ගැන අප වැඩිදෙනා අසාවත් නැත. (එයටද හැම වැරැද්දම ආණ්ඩුව පිට පැටවීමේ දේශපාලනයක් කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරයේ විශාල වගකීමක් ඇති බව සැබෑය.) කෙසේ වුවද ඩෙංගු රෝගය මේ අන්දමින් පැතිරීමට ප්‍රධාන වගඋත්තරකරුවන් වන්නේ අප, අපම මිස ආණ්ඩුවවත්, දේශපාලන ව්‍යාපාරයක්වත් නම් නොවේ.


දැන් දවස් ගණනාවක සිට දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන එක් දහස ඉක්මවයි. සංඛ්‍යාලේඛන අනුව එය ඉතා ඉහළ අගයකි. එමෙන්ම දිනපතා තමන්ගේ කුඩා ගෙවත්ත පවිත්‍ර කරගන්නේ නැති පුරවැසියන් ගැනද පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් වාර්තා කරයි. ගෙවතු පමණක් නොවේ. පාසල් හා රාජ්‍ය ආයතන ඩෙංගු ගුහා බවද සෑම දිනකම ජනමාධ්‍යවලින් දැනගන්නට ලැබේ. එසේ වුවද හැම ගෙදරක්ම, හැම පාසලක්ම, රාජ්‍ය හා රාජ්‍ය නොවන හැම ආයතනයක්ම පිරිසුදු කරදීමට සෞඛ්‍ය අංශවලට පුළුවන්කමක් නැත. හැරත් තමන්ගේ තැන තමන් පිරිසුදු කරගැනීම තමන්ගේ වගකීමක් මිස ආණ්ඩුවේ වගකීමක් වන්නේ කෙසේද?


අපේ අදහසේ හැටියට ඩෙංගු රෝගය පිටුදැකීමේ සටන ජයගැනීමට නම් ඒ සටන පටන්ගත යුත්තේ ළමයින්ගෙනි. වෙනත් වචනවලින් කියතොත් පාසල්වලිනි.⁣ ශරීර කෘත්‍යය සඳහා මුහුදු වෙරළටත්, කැලෑරොදවලටත් යෑමට අපේ රටේ විශාල පිරිසක් පුරුදු වී සිටි කාලය ගැන අපි බොහෝදෙනා දනිමු. රජයෙන් නොමිලේ ගෙවල්වලට වැසිකිළි තනාදීත් ඒ පාවිච්චි නොකර පුරුදු විදිහට ඒ කටයුත්ත කළ පරම්පරාවක් ගැනද එහිදී අප අසා තිබේ. එතැනදී ඒ පුරුද්ද කඩනු ලැබීමට යොදා ගනු ලැබුවේ පාසල් ළමුන්ය. පාසලේදී වැසිකිළි යෑමට පුරුදු කරනු ලැබූ ළමයි අනතුරුව ගෙදර වැසිකිළිය ද පාවිච්චියට ගත්හ. ඉක්බිති වැඩිහිටියෝ ද ටිකින් ටික ළමයි අනුගමනය කිරීමට පටන් ගත්හ.


ඒ අන්දමට තමන්ගේ ගේදොර පවිත්‍ර කරගැනීමට පළමුවෙන්ම පුරුදු කළ යුත්තේ ළමයින්ය. ඒ කළ යුත්තේ පාසලෙනි. එහෙත් ළමයින් පාසලෙන් පසු සිය ටියුෂන් පංතියට ගෙන්වා ගැනීමට උත්සුක වන ගුරුවරුන් තමන් දවසේ පැය හයහතක් ගත කරන පාසල පවිත්‍ර කරගැනීමට සිය ශිෂ්‍යයන්ට උගන්වන්නේ නැත. අද කාලයේ ළමයින් කළ යුතු වැඩ සියල්ල කරදීමට කටයුතු කරන දෙමාපියන් ද සිය දරුවන්ගේ පාසල පිරිසුදුව තබාගැනීමට උදව්වට යන බවක් නොපෙනේ. නැත්නම් වැඩිම ඩෙංගු තවාන් ඇති ස්ථාන හැටියට පාසල් කුප්‍රසිද්ධ වී ඇත්තේ කෙසේද?


හැම අවුරුද්දකම නිරිතදිග මෝසම් හා ඊසානදිග මෝසම් සුළං කාලවලදී ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන බව ඇත්තය. දැනුදු අප පසුකරමින් සිටින්නේ නිරිතදිග මෝසම් සමයයි. එහෙත් අප කළ යුතුව ඇත්තේ හැම අවුරුද්දකම මේ රැල්ලට හසුවී ගසාගෙන ගොස් ජීවිත ගණනාවක් අකාලයේ අහිමි වූ පසු හුස්මක් ගැනීම නොවේ. ඩෙංගු මර්දනය සඳහා මෝසම් සුළං කාලවලදී පමණක් ක්‍රියාත්මක වන කෙටිකාලීන ව්‍යාපෘතිවලට එහා යන යමක් කිරීමය. (අප ඉහතදී හැමදේම ආණ්ඩුව පිට පැටවීමට ජනතාව හුරු කිරීමේ වරදෙන් පංගුවක් වාමාංශික ව්‍යාපාරය පිට පැටවූවද ඉකුත් දශකයේ මැලේරියා වසංගත සමයේදී ඒ පිටුදැකීමට ලංකා සමසමාජ පක්ෂය කළ මෙහෙය ද මෙහිදී මතක් කර සිටිමු.) ඩෙංගු මර්දනය කිරීම සඳහා වන දීර්ඝකාලීන ව්‍යාපෘතියක් රජය මගින්ම ආරම්භ කරනතුරු බලා නොසිට පුරවැසියන් හැටියට අප ගම් මට්ටමින් ඒ සඳහා සංවිධානය විය යුතුය. රාජ්‍ය නොවන සංවිධානවලට ද මෙහිදී කළ හැකි විශාල වැඩ කොටසක් ඇති බව අපි මෙහිලා මතක් කර සිටිමු. ඒ සඳහා අපේ පවුලේ කෙනකු ඩෙංගු රෝගයෙන් මියයන තෙක් බලා සිටිය යුතු නොවේ.

 

More News..