brand logo
logo
නිව්යෝර්ක් අහසේ  විවාහ යෝජනාව

නිව්යෝර්ක් අහසේ විවාහ යෝජනාව

02 July 2026

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි සුප්‍රකට 'එම්පයර් ස්ටේට්' (Empire State Building) ගොඩනැගිල්ලේ කුලුන මුදුනටම අනවසරයෙන් නැග, ලෝක සාමය ඉල්ලන දැවැන්ත බැනරයක් ප්‍රදර්ශනය කළ රුසියානු ජාතික යුවළක් නිව්යෝර්ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම අන්තරායකර තරණය අතරතුර ඔවුන් දෙදෙනා අතර විවාහ ගිවිස ගැනීමක් ද සිදුව ඇති බව වාර්තා වේ.


33 හැවිරිදි ඇන්ජෙලා නිකොලාව් සහ 32 හැවිරිදි වාන්යා බීර්කස් නැමති මෙම රුසියානු යුවළ, ඊයේ (01) මෑන්හැටන් නුවරින් අඩි 1,454ක් ඉහළින් පිහිටි මෙම ගොඩනැගිල්ලේ ඇන්ටනා කුලුන මතට නැඟ ඇත.

කළු පැහැති ඇඳුමෙන් සැරසී සිටි ඔවුන්, එහි සිට සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සජීවී දර්ශන ද මුදාහැර තිබේ.


ඔවුන් එහි ප්‍රදර්ශනය කළ කළු පැහැති බැනරයේ සුදු අකුරින් සටහන්ව තිබුණේ, "බලයට ඇති ආදරය අභිබවා ආදරයේ බලය ජයගන්නා දිනයට ලෝකය සාමය අත්කර ගනු ඇත" (When the power of love beats the love of power the world knows peace) යන සුප්‍රකට කියමනය.


ඉන් පසුව ඔවුන් දෙදෙනා අතර විවාහ යෝජනාවක් ද සිදු ව ඇති අතර අනතුරුව ඔවුහු වැළඳගෙන සිපගනිමින් සිය සතුට පළ කර ඇති බව සඳහන් වේ.


හිස්වැස්මක් පැළඳ සිටි ඇන්ජෙලා, තමන්ට ලැබුණු විවාහ ගිවිස ගැනීමේ මුදුව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කිරීමට ඡායාරූප ගන්නා අයුරු ද ගුවන් දර්ශනවල සටහන්ව තිබුණි. 


මෙම යුවළ උස් ගොඩනැගිලි මුදුනට නැගීමේ (Rooftopping) වික්‍රමාන්විතයන් නිසා ප්‍රසිද්ධියක් උසුලන අතර, ඔවුන්ගේ මෙම ජීවිත කතාව අළලා 2024 වසරේදී Netflix හරහා "Skywalkers: A Love Story" නමින් වාර්තා චිත්‍රපටයක් ද නිකුත් කර තිබුණි.


මෙම සිදුවීමත් සමඟ නිව්යෝර්ක් පොලිසිය වහාම ක්‍රියාත්මක වී ගොඩනැගිල්ල අවට මාර්ග වසා දැමූ අතර, පසුව කිසිදු බාධාවකින් තොරව මෙම යුවළ සිය භාරයට ගත් බව නිවේදනය කළේය.


පසුව ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් පුවත් පවසයි. 


News2001 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ ආරක්ෂාව උපරිම මට්ටමකට නංවා තිබියදී, මොවුන් ආරක්ෂක වළලු බිඳදමා ඇන්ටනාව වෙත ළඟා වූයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. 


 

More News..