පූසට තිබෙන අනුකම්පාව අගමැතිට නැත්තේ ඇයි
28 June 2026 | හර්ෂණී දිසානායක
පූසට තිබෙන අනුකම්පාව අගමැතිට නැත්තේ ඇයි
28 June 2026 | හර්ෂණී දිසානායක
වසර දාහතරක කාලයක් කොන්සෙව්ටිව් පක්ෂය දැරූ පාලන බලය අවසන් කර කම්කරු පක්ෂයට නව බලයක් ගෙන දුන් කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් පසුගිය අඟහරුවාදා ඉල්ලා අස්විය. ඒ බ්‍රිතාන්‍යයේ වසර දහයකදී හය වැනි වරටත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ අගමැතිවරයා බවට පත්වෙමිනි.
කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ බලය හුවමාරු කළේ කම්කරු පක්ෂයට මෙතුවක් කාලයකට පාර්ලිමේන්තු මැතිවරණයකදී ලැබූ ඉහළම ඡන්ද පදනම සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකුත් හිමිකර දෙමිනි. මෙතරම් බලයකින් බ්‍රිතාන්‍යයේ පාලනය අතට ගත් කියර් ස්ටාර්මර්ට අගමැති ධුරය දරන්නට හැකිවූයේ අවුරුදු දෙකකට ආසන්න කාලයකි. ඊට තුඩුදුන් ආසන්නතම හේතුව පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී කම්කරු පක්ෂයට අත්වූ පරාජයයි.
මේ නිසා කම්කරු පක්ෂයෙන්ම කියර් ස්ටාර්මර්ට බලපෑම් එල්ල කළේ බ්‍රිතාන්‍ය වැසියන්ගේ කැමැත්ත කම්කරු පක්ෂය වෙත යළි දෙන්නේද නැතිනම් වෙනත් අයෙකු වෙත පක්ෂයේ නායකත්වය භාරදී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නේද කියාය. අගමැති කියර් ස්ටාර්මර්ගේ තීරණය වූයේ අගමැති පුටුවෙන් අයින් වී නව නායකයකුට ඉඩ දිය යුතුය කියාය.
පාර්ලිමේන්තුවේ කොන්සෙව්ටිව් පක්ෂය සතුව තිබූ බලය කියර් ස්ටාර්මර් විසින් කම්කරු පක්ෂය වෙත හරවාගත් විජ්ජාව තිබුණේ ඔහු දුන් මැතිවරණ පොරොන්දුවලය. එනම්, කියර් ස්ටාර්මර් මහා මැතිවරණයේදී බ්‍රිතාන්‍ය වැසියන්ට පොරොන්දු වූයේ සංක්‍රමණික නීති ලිහිල් නොකිරීම, කඩා වැටි ඇති සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සහ බ්‍රිතාන්‍ය ආර්ථිකය ගොඩගන්නට බ්‍රිතාන්‍ය වැසියන්ට සහාය දෙන බවයි.
කම්කරු පක්ෂය මෙලෙස පොරොන්දු දෙන විට වසර දාහතරක් බලයේ සිටි කොන්සෙව්ටිව් පක්ෂය ගැන බ්‍රිතාන්‍ය වැසියන්ට ඇතිවූයේ කෝපයකි. ඔවුන් කොන්සෙව්ටිව් පක්ෂය දුටුවේ බ්‍රිතාන්‍ය ආර්ථිකය ගොඩනගනවා වෙනුවට එය වළපල්ලට තල්ලු කළ දූෂිත දේශපාලඥයන්ගෙන් සමන්විත පක්ෂයක් කියාය.
බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය දැරූ ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ, බොරිස් ජොන්සන්, ලිස් ට්‍රස්ට් සහ රිෂි සුනාක් යනු ඒ වසර දාහතරක කාලය පුරාවට බ්‍රිතාන්‍ය පාලනය කළකොන්සෙව්ටිව් පක්ෂයේ සාමාජිකයන්ය. මේ අගමැතිවරුන්ට කළ නොහැකි වූ ආර්ථික ප්‍රබෝධය කම්කරු පක්ෂයේ අගමැති අපේක්ෂකයා වන කියර් ස්ටාර්මර්ට කළහැකි බවට කම්කරු පක්ෂයේ සාමාජිකයෝ මැතිවරණ වේදිකාවල පොරොන්දු වූහ.
කියර් ස්ටාර්මර් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයෙත් ඒ දුන් පොරොන්දුවලින් එකඳු පොරොන්දුවක් හෝ ඉටුකරන්නේ නැතිවය. ඒ වගේම කියර් ස්ටාර්මර් ගත් සමහර තීන්දු තීරණ බ්‍රිතාන්‍ය වැසියන් සතුටු කරන ජනප්‍රිය පන්නයේ තීන්දු තීරණ නොවීය. එනම්, බ්‍රිතාන්‍ය වැසියන් බලාපොරොත්තු වූයේ ආර්ථිකය ගොඩනගන, සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න විසඳන, විරැකියාව අවම කරන ආර්ථික සංකල්පයක් අගමැති කියර් ස්ටාර්මර් සතුව ඇතැයි කියාය.
ඒත් ඔහු අගමැති ධුරයට පත්ව දින සති මාස ගණන් ගෙවී යන විට ඔහු බ්‍රිතාන්‍ය ආර්ථිකය ගැන නොව ලෝකයේ වෙනත් රටවල ආර්ථිකයන් ගැන සොයන්නට උත්සුක විය. බ්‍රිතාන්‍ය වැසියෝ ආර්ථික යුද්ධයකට මුහුණ දෙන විට බ්‍රිතාන්‍ය අගමැතිවරයා පලස්තීන යුද්ධය, යුක්‍රේන යුද්ධය සහ ඉරාන යුද්ධය ආදී ප්‍රශ්න විසඳන්නට මැදිහත්කරුවෙකු වූයේය.
ඔහු ලෝක දේශපාලනයේ ගැටලු විසඳන්නට මහන්සි වූවාට රටේ ආර්ථිකය ගොඩනගන්නට මහන්සි වූයේ නැතැයි කියා බ්‍රිතාන්‍ය ජනතාව අතරේ මතයක් පැතිරුණි. ඔවුන් ඒ මතය ඡන්ද බලයෙන් තහවුරු කළේ පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් අගමැතිවරයාගේ කම්කරු පක්ෂයට නොසිතූ පරාජයක් අත්කර දෙමිනි.
කම්කරු පක්ෂයේ සාමාජිකයෝ පවා අගමැතිවරයා විවේචනය කරමින් කීවේ අගමැති කියර් ස්ටාර්මර්ට ලෝකයට ආමන්ත්‍රණය කිරීමට හැකි වුවත් බ්‍රිතාන්‍ය ජනතාව ආමන්ත්‍රණය කරන සාස්තරය දැනගෙන සිටියේ නැති බවයි.
කියර් ස්ටාර්මර්ට පමණක් නොව පසුගිය වසර දහයක කාලය පුරාම බ්‍රිතාන්‍යයේ අංක: 10, ඩවුනින් වීදියේ අගමැති කාර්යාලයට වේලාසනම සමුදුන් අගමැතිවරු හයදෙනාම බ්‍රිතාන්‍ය වැසියන්ගේ ඕනෑ එපාකම් තේරුම් ගැනීමට සමත් වූයේ නැත. ඔවුහු සියල්ලෝම තම පක්ෂය හෝ තම බලය රැකගන්නට තම දේශපාලන සගයන් සමග අභ්‍යන්තර දේශපාලන ආරවුල් ඇතිකර ගත්හ. එහි ප්‍රතිඵලය අද බ්‍රිතාන්‍යයට ශක්තිමත් දේශපාලන බලාධිකාරියක් නොමැති වීමය.
මේ ගැටලුව මුලින්ම මතුවෙන්නේ 2009 වසරේදීය. එවකට බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය දැරුවේ කොන්සෙව්ටිව් පක්ෂයේ නායක ඩේවිඩ් කැමරන්ය. එනම්, 2008 වසර අවසාන භාගයේදී ලෝකයම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුනි. ඊට ප්‍රධානම හේතුව ඇමරිකානු බැංකු නිවාස ණය සඳහා සීමාව ඉක්මවා අඩු පොලී අනුපාත යටතේ අසීමිත ලෙස ණය ලබාදීමය. මේ ණය ගෙවා ගන්නට නොහැකි වූ ඇමරිකානුවන් නිසා එරට බැංකු පද්ධතිය බිඳ වැටුණි. එම බැංකු සමගින් ආයෝජනය කර තිබූ යුරෝපය ආදී රටවල ව්‍යාපාර සහ බැංකු පද්ධතින්ද ඒ අයුරින්ම කඩා වැටුණි. බ්‍රිතාන්‍යයට මේ බැංකු අර්බුදය කෙතරම් දැනුණේද යත් එරට වසර එකසිය පනහක් පැරණි ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වූ ලෙමන් බ්‍රදර්ස් බංකොලොත්ව වසා දැමුවේය. එතැනින් පටන් ගත් බ්‍රිතාන්‍ය ආර්ථික වැටීම අදටත් නැගිටීමක් නැතිව පවතී.
එකල බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ය. රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතු බව බ්‍රිතාන්‍යය පුරවැසියන්ගේ මතය විය. එහෙයින් සිය පක්‍ෂය කෙරෙහි මහජන ප්‍රසාදය වැඩි කරගැනීමට සිතා බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ජනමත විචාරයක් පැවැත්විය.
මේ තීරණය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති වුවත් ඩේවිඩ් කැමරන්ට අවැසි වූයේ කොන්සෙව්ටිව් පක්ෂයේ අගමැතිවරයා ජනතා මතයට ගරු කරන අයෙක් බව පෙන්වීමටය. ඒ හැරත් බ්‍රිතාන්‍යය වැසියන්ගෙන් බහුතරයක් යුරෝපා සංගමයෙන් ඉවත් වන්නට කැමැත්තෙන් සිටින බවක් අගමැති ඩේවිඩ් කැමරන් හීනෙකින්වත් සිතුවේ නැත. එනම් ඔහු සිතුවේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ තීන්දුවට බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් වැඩි පිරිසක් අකමැති වේ යැයි කියාය. ඒත් සියයට පනස් එකකගේ බහුතර කැමැත්ත වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය කියාය.
එහෙයින් වසර හයක් තිස්සේ බ්‍රිතාන්‍ය අගමැති ධුරය දැරූ ඩේවිඩ් කැමරන් තමන් ගෙන ආ යෝජනාව පරාජයට පත්වීම හේතුවෙන් අගමැති ධුරයෙන් නික්ම පක්ෂයේ වෙනත් අයෙකුට අගමැති පුටුව භාරදී ජනමතය ක්‍රියාත්මක කරන්නට පාර කපා ගෙදර ගියේය.
ඩේවිඩ් කැමරන්ගෙන් පසු බ්‍රිතාන්‍යයේ අගමැති පුටුව භාරගත්තේ තෙරේසා මේ විසිනි. ඇයට පැවරී තිබූ වගකීම වූයේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් කරගැනීමයි. ඒත් ආණ්ඩු පක්ෂය වූ කොන්සෙව්ටිව් පක්ෂයේ සාමාජිකයන්ගේ සහ විපක්ෂ සාමාජිකයන්ගේ පවා ඒකමතික තීරණය වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තවමත් සුදුසු කාලය මෙය නොවන බවයි. ජන මතයෙන් තීන්දු වූ යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවක් පනතක් ලෙස ගෙන එන්නට නම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් එය සම්මත විය යුතුය. ඒත් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු එකතු වී තුන් වරක් තෙරේසා මේ ගෙනා මේ යෝජනාව පරාජයට පත් කළහ.
ඇයත් වසර තුනක කාලයක් පුරා අගමැති ධුරය දරමින් උත්සහ ගෙන ඇත්තේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කර ගැනීමට විනා එරට ආර්ථිකය ගොඩනගන්නට සැලසුම් සකස් කිරීමට නොවේ. එහෙයින් බ්‍රිතාන්‍ය ආර්ථිකය වසර තුන පුරා එක තැන පල් වෙමින් පැවතුණි. ඉන්පසුව බලයට ආවේ එම පක්ෂයේම තවත් සාමාජිකයෙකු වන බොරිස් ජොන්සන් ය. ඔහු යුරෝපා සංගමය හා සිය පක්ෂයේ සාමාජිකයන්ව කෙසේ හෝ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ යෝජනාවට කැමති කරවාගෙන 2020 වසරේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අවැසි යෝජනාව සම්මත කර ගත්තේය.
ඒ යෝජනාව සම්මත කර වසරක් යන්නටත් මත්තෙන් බ්‍රිතාන්‍ය පුරා කොවිඩ් වයිරසය වසංගතයක් සේ පැතිරී ගියේය. බ්‍රිතාන්‍ය ආර්ථික අර්බුදය තව තවත් ඉහළ ගියේය. ඒ අතරේ දේශසීමා තරණය කර බ්‍රිතාන්‍යයට එන සංක්‍රමණික ජනගහනයත් සීග්‍රයෙන් වැඩි විය. මේ අතරේ කොවිඩ් ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් උත්සවයක් සංවිධානය කළා යැයි බ්‍රිතාන්‍ය ආර්ථිකය හදන්නට ආ අගමැති බොරිස් ජොන්සන්ට චෝදනා එල්ල විය. එයත් සාක්ෂි සහිතව ඔප්පු වූ හෙයින් ඔහුත් අගමැති පුටුවට සමුදී අගමැති නිල නිවස පිහිටි නො: 10, ඩවුනිංන් විදීයෙන් බැස ගෙදර ගියේය.
ඉන්පසුව බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත් වූයේ කාන්තාවකි. ඇය ලීස් ට්‍රස්ට් ය. 2022 වසරේදී අගමැති ධුරයට පත් වූ ඇය දින 50ක් අගමැති ධුරය දරා බ්‍රිතාන්‍යයේ අඩුම කාලයක් අගමැති ධුරය දැරූ තැනැත්තිය ලෙස ඉතිහාසගත වී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියාය.
ඉන් පසුව එම වසරේම බලයට පත්වූයේ බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයට අලුත් වාර්තාවක් එක්කල තැනැත්තෙකි. ඔහු ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක් ය. ඔහු ඉතිහාස ගතවන්නේ බ්‍රිතාන්‍යයේ අගමැති පුටුව දැරූ පළමු ආසියාතික සම්භවයක් ඇති සහ ධනවත්ම අගමැතිවරයා ලෙසය.
රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැති පුටුවේ වාඩිවෙන්නට කලියෙන් හිටපු අගමැති බොරිස් ජොන්සන්ගේ පාලන කාලයේදී ඔහු දැරුවේ මුදල් ඇමැති ධුරයයි. කොවිඩ් අර්බුදයේදී රට වසා ඇති කාලයක රටේ ආර්ථිකය සමබර කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග එවකට බ්‍රිතාන්‍ය වැසියන්ගේ ප්‍රශංසාවට ලක් විය. ඒත් ඔහුට අගමැති ධුරයට පත්ව මුදල් ඇමැති ධුරයේදී කළ ආර්ථික වර්ධන ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට නොහැකි විය. 2023 වසරේ සැප්තැම්බර් මාසය වන විට බ්‍රිතාන්‍යයේ ආහාර පාන මිල තුන් ගුණයකින් ඉහළ ගියේය. සෞඛ්‍ය සේවය බින්දුවට වැටුණි. රට පුරාම බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාත්මක විය. ඒ අනුව 2024 වසරේ නව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට රිෂී සුනාක්ට සිදුවිය. එහිදී බ්‍රිතාන්‍ය වැසියෝ අගමැති අපේක්ෂක රිෂී සුනාක්ව සහ ඔහු කොන්සෙව්ටිව් පක්ෂය බ්‍රිතාන්‍යයේ අපකීර්තිමත් පක්ෂය බවට පත්කරමින් ගෙදර යවා කම්කරු පක්ෂය බලයට ගෙන ආහ.
මේ අගමැතිවරු හය දෙනාටම නිවෙස් බලා යන්නට බලපෑ ප්‍රධානම සාධක තුනකි. එනම්, ආර්ථික අර්බුද, සෞඛ්‍ය සේවයේ පිරිහීම සහ සංක්‍රමණික අර්බුදය. මේ ප්‍රශ්න තුනට මේ එකදු අගමැතිවරයෙකුටවත් සාර්ථකව මුහුණ දීමට නොහැකි විය.
මේ ගැටලු තුනටම පොදු හේතුව ලෙස පෙනී යන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමයි. එනම්, බ්‍රිතාන්‍ය වැසියන් යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතු යැයි බ්‍රිතාන්‍ය රජයට බල කළේ යුරෝපා සංගමය සඳහා බ්‍රිතාන්‍යය අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවීම, දේශසීමා නීති ලිහිල් බැවින් සංක්‍රමණිකයන්ට බ්‍රිතාන්‍යයට පැමිණීමට ඇති ඉඩකඩ අසීමිත වීම සහ යුරෝපා සංගමයේ නීතිරීති හා බ්‍රිතාන්‍ය නීති එකට ගැටීම ඊට හේතුවයි.
ඒත් අවසානයේදී සිදුවුයේ යුරෝපා සංගමයෙන් ඉවත් වුවා කියා සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍යයට පැමිණීම අඩුවීම නොව එය තවත් වැඩිවීමය. එමෙන්ම, පෙරදී දේශසීමා අතර භාණ්ඩ ප්‍රවාහනයේදී බදු අය කිරීම, දේශසීමා පරීක්ෂාවන් සහ මුල්‍ය ගනුදෙනු සඳහා තිබූ සීමාවන් ඉවත්වීමත් සමග අද වනවිට බ්‍රිතාන්‍යයට යුරෝපය පුරා සිය වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනයේදී 2024 වසරේදී පවුම් බිලියන හතරක් වැය වී ඇති බව එච්.එස්.බී.සී. ගෝලීය ආයෝජන පර්‌යේෂණය හෙළි කළේය.
මෙසේ ආරක්ෂණ වියදම්, භාණ්ඩ ආනයන සහ අපනයන වියදම් ඉහළ යාම නිසා ඒ මුල්‍ය බර දරාගැනීමට නොහැකිව යුරෝපා සංගමයේ රටවලට භාණ්ඩ අපනයන සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කුඩා පරිමාණ බ්‍රිතාන්‍ය වෙළෙන්දෝ තීරණය කළහ.
බ්‍රිතාන්‍ය ආර්ථිකයට එසේ ප්‍රශ්න එනවිට එරට සෞඛ්‍ය සේවයටත් එක පිට එක ප්‍රශ්නය. මහජන බදු මුදලින් යැපෙන බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය අද වනවිට බදු ගෙවන බ්‍රිතාන්‍ය වැසියන්ට පවා සේවයක් කිරීමට නොහැකි වන සේ කාර්යබහුල වී ඇත්තේය. ඊට ප්‍රධානම හේතුව වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ හිඟකම, ප්‍රතිලාභ ලබන පිරිස බදු ගෙවන පිරිසටත් වඩා ඉහළ යාමය.
පසුගිය කාලයේ කළ සමීක්ෂණයකින් හෙළිවූයේ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිකාර ඒකකවලින් ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ට පැය දොළහකට වඩා පෝලිම්වලට වී බලා සිටීමට සිදුවන බවය. ඒ වගේම ප්‍රජා වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්නට නම් සතියක කාලයක් පොරොත්තු ලේඛනයට වී බලා සිටිය යුතුය.
මෙසේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය කඩා වැටෙන මට්ටමට පැමිණ ඇත්තේ 2010 - 2024 යන කාල වකවානුවල ජාතික සෞඛ්‍ය සේවය සඳහා අරමුදල් රැස්කිරීමට අදාළ රජයන්හි ප්‍රධානීන් කටයුතු නොකළ නිසාය. කෙසේවෙතත්, බ්‍රිතාන්‍ය රජය විසින් ඔවුන්ගේ අයවැයෙන් ජාතික සෞඛ්‍ය සේවය සඳහා පවුම් බිලියන තිස් හතක් වෙන් කරන්නේය.
බ්‍රිතාන්‍යය වැසියන්ගේ විරැකියාව සම්බන්ධයෙන් ගත් විට වයස අවුරුදු දාසයත් විසි හතරත් අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ පිරිසෙන් සියයට දහතුනක් එනම්, මිලියනකට වැඩි පිරිසක් රැකියාව හෝ අධ්‍යාපනය අතහැර සිටින බව බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ දත්තවලින් පැහැදිලි වේ. ඒ අතර විරැකියා අනුපාතය ඉහළ යනවිට රැකියාවේ නියුතු බ්‍රිතාන්‍ය පුරවැසියන්ට බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම බදු බර දරන්නටත් සිදුව ඇත.
මේ අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් විරැකියාවෙන් පෙළෙන විට බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍යවරු, හෙදියන් සහ රෝහල් පිරිසිදුකරන්නන් යන අයගෙන් සියයට විස්සක්ම නියෝජනය කරන්නේ සංක්‍රමණිකයන් බව බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ දත්ත පෙන්වා දේ. මේ නිසා බ්‍රිතාන්‍ය පුරවැසියන් අතරේ සංක්‍රමණිකයන්ට රජයේ රැකියා හිමිවීම සම්බන්ධයෙන් ඇත්තේ දැඩි කළකිරීමකි. ඔවුන් පවසන්නේ එරට විරැකියා අනුපාතය ඉහළයන සිටින මොහොතක සංක්‍රමණිකයන් අඩු පඩියට රැකියාවන් සඳහා යොදාගැනීම බ්‍රිතාන්‍ය පුරවැසියන්ට කරන අකටයුත්තක් බවයි.
මෙලෙසින් බ්‍රිතාන්‍ය අගමැතිවරුන් හයදෙනෙකු වසර දහයකදී ඉවත්වීමට පාර කැපූ බ්‍රිතාන්‍යයේ ආර්ථික අහේනිය දැනුණේ නැති අයෙකුත් අංක: 10, ඩවුනින් විදියේ අගමැති කාර්යාලයේ සිටියි. ඒ ලැරීය.
ලැරී යැයි නම් තිබුණාට ඌ බළලෙකි. ලැරිව අගමැති මන්දිරයට ගෙන එන්නේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ය. ඒ අගමැති මන්දිරය අවට විදියේ සැරිසරන මීයන් ඇල්ලීමටය. ඒත් ලැරී මේ රාජකාරිය අකුරටම ඉටු නොකළ හෙයින් ඌ අගමැති මන්දිරයෙන් ඉවත් කළ යුතු යැයි මහජන මතයක් ඇතිවිය. එහෙත් අගමැති ඩේවිඩ් කැමරන් මේ බළලාගේ පැත්ත ගෙන ලැරී අමුත්තන්ට මිත්‍රශීලි සතුට ගෙන එන අයෙකු බව පවසයි.
කෙසේහෝ, හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ගේ අනුකම්පාව නිසා තවත් අගමැතිවරු පහක් යටතේ සුවසේ ජීවත්වන්නට ලැරීට හැකිවිය. ඒත් දෛවයේ සරදම නම් ඒ එකදු අගමැතිවරෙකු දෙසවත් අනුකම්පාවෙන් බලන්නට එකදු පුරවැසියකු හෝ නොසිටීමය.

