brand logo
logo
බ්ලූටූත් ඉයර් ෆෝන් ගහගෙන පාරේ යනවා නම් උසාවිත් එන්න

බ්ලූටූත් ඉයර් ෆෝන් ගහගෙන පාරේ යනවා නම් උසාවිත් එන්න

04 July 2026 | අනීෂා මානගේ

අපේ රටේ බොහොමයක් රියැදුරන් දැන් රිය පදවන්නේ ඉයර් බඩ් දෙකක් කනෙහි රඳවා ගෙනය. එහෙමත් නැත්නම් ඉයර්ෆෝනයක් රඳවාගෙනය. එසේ යන රියැදුරන්ට සිය මගියා ගැන, මාර්ගයේ අනෙක් වාහන ගැන හෝ පදිකයන් ගැන හාන්කවිසියක්වත් නැත. සිහිය ඇත්තේ ජංගම දුරකතනයේ අනෙක් පස සිටින පුද්ගලයා ළඟය.


කුමන ප්‍රශ්නයක් කතා කළද රියැදුරු වාහනය පදවන්නේ සිහි කල්පනාවෙන් නොවේ. රථවාහන අනතුරු සේම වාහන තදබදය වැඩි වෙන්නට මෙය හේතුවක්ය.


කොහොමත් අපේ රටේ මෝටර් රථ වාහන නීතියට අනුව ජංගම දුරකථනය භාවිත කරමින් රිය පැදවීම වරදක් ය. එකල අපේ උදවිය කළේ එක් අතකින් ජංගම දුරකථනය අල්ලාගෙන අනෙක් අතින් සුක්කානම අල්ලාගෙන රිය පැදවීමය. රථ වාහන පොලිස් නිලධාරියකු දුටු සැණින් ජංගම දුරකථනය අතුරුදන්ය. වැරදීමකින් හෝ පොලිසියට හසු වුවහොත් වෙන්නේ දඩ කොළයක් ලියාගන්නටය.


ජංගම දුරකථනයට සවිකරන ඉයර්ෆෝන් හා බ්ලූටූත් ඉයර්බඩ් කරළියට ආ විට පොලිසිය මගහරින්නට රියැදුරන්ට පහසු විය. කෙතරම් දුරකතන ඇමතුම් ගත්තද පොලිසියට හඳුනාගන්නට අසීරුය. ඒත් ඉන් අවසානයට සිද්ධ වූයේ රථ වාහන අනතුරු වැඩිවීම පමණය. පොලිසිය නීති තද කරන්නට සිතුවේ ඒ නිසාය.

ඉයර්බඩ් සහ ඉයර් ෆෝන් කනෙහි රඳවාගෙන රියැදුරු රස්සාව කරන උදවියට දැන් අපේ පොලිසියෙන් බේරුමක් නැත. මෙවැනි උදවියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පොලිසියේ රථ වාහන අංශය දැන් සිටින්නේ සීරුවෙන්ය.


මේ ගැන අපට තතු කීවේ පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර ය.


" ජංගම දුරකථනය භාවිත කරමින් රිය පැදවීම අපේ රටේ නීතියේ හැටියට තහනම්. දැන් ජංගම දුරකථනය විතරක් නෙවෙයි මෝටර් රථ වාහන පනතේ 2009 අංක 8 සංශෝධනයට අනුව ජංගම දුරකථනය හෝ වෙනත් සන්නිවේදන උපකරණයක් භාවිත කරමින් රිය පැදවීම තහනම්. වෙනත් සන්නිවේදන උපකරණ කියන්නේ හෙඩ්ෆෝන්, ඉයර්බඩ්, ඉයර්ෆෝන් වගේ දේවල්.... " නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර නීතියේ තත්ත්වය ගැන පැහැදිලි කළේය.


මේ නීතිය අලුත් එකක් නොවුණත් මෙතෙක් කලක් තිබුණේ හමස් පෙට්ටියේය. නියෝජ්‍ය පොලිස්පති සේනාධීර ඇතුළු පිරිස දැන් ඒ හමස්පෙට්ටිය එළියට ඇද දූවිලි ගසා සූදානම් වෙන්නේ රථ වාහන අනතුරු අඩු කරන්නට පිළියමක් යොදන්නටය.


" වාහනයක් පදවනවා කියන්නේ භාවනාවක් කරනවා වගේ වැඩක්.... " නියෝජ්‍ය පොලිස්පති සේනාධීර කියන්නේ එහෙමය.


ඉයර්බඩ් හා ඉයර්ෆෝන් කනෙහි රඳවාගෙන රියැදුරු අසුනේ වාඩිවෙන උදවියට පොලිස් රථවාහන අංශයෙන් මෙතැන් පටන් දඩ කොළයක් ලියවෙන්නේය. නිකරුණේ රුපියල් එක්දහස් පන්සියයක් දඩ මුදල් ගෙවන්නට වෙන්නේය.


යම් හෙයකින් අනතුරකදී රියැදුරු ඉයර්ෆෝන් හෝ ඉයර්බඩ් භාවිත කරමින් සිටින බවට අනාවරණය වුවහොත් තත්ත්වය බරපතළය. අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු නීතිවලට එරෙහිව නඩු පැවරෙන්නේය.

ඉයර්බඩ් හා ඉයර්ෆෝන් භාවිත කරමින් අවසිහියෙන් මහමග සැරිසරන්නේ රියැදුරන් පමණක් නොවේ. කන් පැළෙන සද්දෙට සින්දු දමාගෙන ඉයර්ෆෝන් භාවිත කරමින් රේල් පාරේ යන උදවිය සේම ගෙදර ප්‍රශ්න මහ මගට ගෙනැවිත් ඒවා විසඳන උදවියද ඕනෑ තරම්ය. පදිකයන් හෙඩ්ෆෝන්, ඉයර්බඩ් ගසාගෙන පාරේ මැද ගියහොත් අමාරුවේ වැටෙන්නේ රියැදුරන් ය. එහෙත් තවමත් මෝටර් වාහන පනත බල පැවැත්වෙන්නේ රියැදුරන්ගේ පැත්තෙන් විතරය. රථ වාහන නියෝජ්‍ය පොලිස්පති සේනාධීර පවසන්නේ පදිකයන් වුවද තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට මනා සිහිකල්පනාවෙන් පාරේ ගමන් කළ යුතු බවයි. පොලිසියේ ඊළඟ සූදානම ඉයර්ෆෝන්, ඉයර්බඩ් රඳවාගෙන පාරේ යන පදිකයන් මට්ටු කරන්නට අලුත් නීති ගෙන එන්නැයි රජයට යෝජනා කරන්නටය.


 

More News..