brand logo
logo
ක්ලීන් ශ්‍රී ලංකා ට උඩින් ඩෙංගු මදුරුවා පියාඹයි!

ක්ලීන් ශ්‍රී ලංකා ට උඩින් ඩෙංගු මදුරුවා පියාඹයි!

04 July 2026 | අනීෂා මානගේ

අලුත් ආණ්ඩුව දෙදහස් විසි පහ නව වසරට පා තබද්දි රටටම දැනෙන්නට විළිලා දරුවකු බිහි කළාය. දරුවාගේ උප්පැන්නයේ නමට ඉදිරියෙන් ලියැවුණේ “ක්ලීන් ශ්‍රී ලංකා”කියාය. ඒ දරුවාට දැන් අවුරුද්දකුත් හය මාසයකුත් ගෙවී අවසන්ය. ක්ලීන් ශ්‍රී ලංකා දරුවා ගැන සොයා බලන්නට හිටිහැටියේ අපට සිහි වූයේ ඩෙංගු රෝගය අධි වසංගතයක් විමේ අවදානමක් ගැන රතු එළි දල්වා ඇති නිසාය.


එදා ක්ලීන් ශ්‍රී ලංකා දරුවාට කරන්නට අටෝරාසියක් වැඩ රාජකාරි පැවරී තිබුණේය. රට පුරා ඇති කුණු කඳු ඉවත් කිරීම, ඇළ වේලි සුද්ධ පවිත්‍ර කිරීම, පොදු වැසිකිළි පද්ධති ගොඩනැගීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ආයතනවල වංචා දූෂණ වැළැක්වීම ආදී මෙකී නොකී වැඩ බොහෝමයක් මේ ලැයිස්තුවේ ලියැවී තිබුණේය.

ක්ලීන් ශ්‍රී ලංකා දරුවාට උප්පැන්නය ලියූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ අලුත් ආණ්ඩුව එකල කීවේ අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද දියුණු රටවල ජීවත්වෙන ජනතාව භුක්ති විඳින සමාජ ආර්ථික තත්ත්වයක් හා නිදහසක් උරුම කර දීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ බව ය. සමාජ ආර්ථික තත්ත්වය කෙසේ වෙතත් දැන් අපේ රටේ උදවියට මදුරුවකුගෙන්වත් නිදහසක් නැත.

ක්ලීන් ශ්‍රී ලංකා හරිහැටි වැඩ සිද්ධ වූයේ නම් මේ හැටි තරමට ඩෙංගු මදුරුවන් සිය පරම්පරාව බෝ කළේ කෙසේද? මේ ගැටලුවට පිළිතුරු සොයන්නට නම් ඩෙංගු වැඩිපුරම හමුවන කොළඹ නගරය පීරන්නට වුවමනාය.

අපි මුලින්ම ගමන ඇරඹුවේ කොළඹ, මට්ටක්කුලිය කාක දූපතෙනි. එතැනින් ගමන අරඹන්නට හේතු වූ එක් විශේෂ කාරණාවක් තිබුණේය. ඒ,“සුන්දර වෙරළක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන තේමාවෙන් වෙරළ පිරිසුදු කිරීමේ ජාතික වැඩසටහන ඇරඹුණේ මෙතැනින් නිසාය. ඒ ගිය අවුරුද්දේ නවම් මහේ නව වැනිදා ය. එදා වෙරළ සුද්ධ කරන ගමනට අගමැති හරිනි අමරසූරිය, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල, කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ ඇතුළු ආණ්ඩුවේ ඇත්තෝ බොහෝ දෙනෙක් එක්වූහ.

අහෝ...! අවාසනාවක මහත.....

වෙරළ තීරය කැළි කසළවලින් පිරිලා ය. පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු බෝතල්, ඍජුෆෝම්, ටයර් ආදී දිරාපත් නොවන ද්‍රව්‍ය අතරේ දර කෝටු, ජබර ආදී දිරාපත්වන ද්‍රව්‍ය වෙරළ තීරය වෙළාගෙනය. එදා ක්ලීන් ශ්‍රී ලංකා පැමිණ කාක දූපත ක්ලීන් කළද මෙදා අපි එහි යනවිට කාක දූපත ක්ලීන් කරන්නට සිටියේ කාක්කන් පමණය. අගමැති හරිනිටත් කාක දූපතේ එකතු වන කැළි කසළ බලන්නට යළි එන්නට අමතක වී ඇති හැඩය. කොහොමත් කාක දූපතේ වෙරළ තීරය කැළි කසළවලින් වැසී යන්නට ගත වෙන්නේ ඇහි පිල්ලමක් ගසන පමාවය. වෙරළේ කුණු එකතු කරන්නට කාක දූපතේ පදිංචි වී සිටියත් මදිය. කාක දූපතට සමුදී අප ආපසු හැරෙන විට බටහිර වෙරළ තීරයේ ගිලුණු අටෝරාසියක් කැළි කසළ සිඹින රැල්ල කැළි කසළද සමගින් ආපසු ඇදුණේ දියඹ දෙසටය.

කාක දූපත වෙරළ උද්‍යානය ආසන්නයේම ළමා වෙරළ උද්‍යානයක්ද පිහිටා ඇත්තේය. මෙතැන ඇති සියලුම ක්‍රීඩා උපකරණ පාහේ වසර ගණනාවක් තිස්සේ ඇත්තේ අබලන්ව ය. කොටින්ම කියනවා නම් ළමයින් එහි ක්‍රීඩා කරන්නට ගියහොත් වෙන්නේ අත පය නැතුව ගෙදර යන්නටය.

මට්ටක්කුලිය කාක දූපත පෙනෙන මානයේ ඇති මෝදර කාලි අම්මාන් කෝවිල ආසන්නයේ වෙරළ තීරයේ ඇත්තේ කසළ කඳු ගණන්ය. මෝදර වත්තේ පදිංචි ඇත්තන් නම් කියන්නේ මේවා සුද්ද කරන්නට ක්ලීන් ශ්‍රී ලංකා උදවියවත් පැත්ත පළාතක ආවේ නැති බවය. අප ජලය එකතු වුණ කානුවකින් පීඩා වන මෝදර වත්තේ උදවියගේ කඳුළු කතාවක් අපි මීට ඉහතදී ලිපියකින් පෙන්වූවෙමු. දැන් ඒ ලිපිය පළවී මාස දෙකකටත් වැඩිය. ඒත් මෝදර වත්තේ කුණු කානුව තවමත් එහෙමමය. එතැනද මදුරු විමානයක් ය.

මෝදර වත්තෙන් මාලිගාවත්ත දෙසට ගිය අපි දුටුවේ ක්ලීන් ශ්‍රී ලංකා බළකායට ඒ පැත්ත පළාතම අමතක වී ඇති ආකාරයය. සෙබස්තියන් ඇළ පාර දිගේ ගියවිට එය සියයට සීයක්ම තහවුරු වුණේය. බේරෙ වැවේ සිට මරදාන, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් හරහා මේ ඇළ ගලාබසින්නේ කැලණි ගඟටය. ආරම්භයේ සිටම ජලය ගොම කොළ පැහැතිය. ඇළ මාර්ගයට එකතු වන අතුරු ඇළ මාර්ගවල ජලය කළු පැහැතිය. ආමර් වීදියේ බෝක්කුව අසලින් සෙබෙස්තියන් ඇළ ප්ලාස්ටික්, පොලිතින්වලින් වැහිලා ය. එතැන ඇති දැල් වැටට පිටතිත් සේම ඇතුළතිනුත් පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගොඩගැහිලාය. මෙතැන ඩෙංගු මදුරුවන් බෝ නොවුණොත් පුදුමය. මාලිගාවත්තේ කසළ ප්‍රශ්නය උඩු දුවන්නට හේතු වී ඇති ප්‍රධානතම කාරණාව හැටියට නගරවාසීහූ පෙන්වා දෙන්නේ ලාහෙට ගෙම්බන් එකතු කරන්නා සේ නගර සභාවේ කුණු ලොරියේ වැඩ සිද්ධවීම බවය. මාලිගාවත්ත දුම්රිය මහල් නිවාස සංකීර්ණයේ පදිංචි ශ්‍යාමා එරන්දි කසළ ප්‍රශ්නය ගැන අපට කීවාය.

‘‘පොලිතීන්, ප්ලාස්ටික්, කඩදාසි, ඉඳුල් ඔක්කොම එකතු කරන්න එන්නේ එක ලොරියයි. ඒ එන ලොරියත් පිළිවෙළකට එන්නේ නෑ. එක දවසක සඳුදා ආවොත් ආයේ එන්නේ දවස් හතර පහකින්. මිනිස්සු ගෙවල් ඇතුළේ කුණු ගොඩ ගහගන්න කැමැති නෑ. ඉතින් පාරට ගෙනත් දානවා. ඊට පස්සෙ පාරවල් දිගට ජරාව. මේ පැත්තේ කුණුවළක් කපලා වළ දාන්නවත් තැනක් නැහැනේ.’’ ඇය කියන්නීය.

කොළඹ කුණු ප්‍රශ්නය පිළිකාවක් සේ උඩුදුවද්දි කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මෑතකදී කීවේ නගර සභාවට තනිවම කුණු එකතු කරන්නට බැරි බවය. ඒත් මෙතෙක් කලක් කොළඹ කුණු එකතු කළේ කොළඹ මහ නගර සභාව තනිවමය. කොහොමත් නගර සභා හෝ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කසළ ඉවත් කිරීමේ ප්‍රධානතම වගකීම ඇත්තේ අදාළ පළාත් පාලන ආයතනයටය. කසළ එකතු කරන්නට බැරි බව කියා අත පිහදාගෙන පැත්තකට වී ඉන්නට නගර සභාවට නොහැකිය.

කොළඹ කෙසේ වෙතත් නගරාධිපතිනියට සිය වත්ත මායිමේ කුණු කසළ ටිකක් එකතු කරගැනීමට බැරි ගාණය. ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ අප කොළඹ නගර සභා පිටිය වටේ යන විට දුටුවේ මල් ගොමු අස්සේ වතුර පිරවූ බෝතල්, හිස් බියර් ටින් හා ටයරයකි. මදුරුවෝ බෝවෙන්නේ මේතැනය. අනුන්ගේ ඇස්වල ඇති පොල්කෙන්ද ගැන කතා කරන නගර සභාව තමන්ගේ ඇහේ ඇති පරාලය නොදැනීම පුදුමය. ඒ මදිවාට ඩෙංගු මාරාන්තිකයි කියා නගර සභා වැටේ බැනරයක් ගහලාය.

දිනකට දෙනෝ දහසක් ගැවසෙන පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ ආසන්නයේ මේ දවස්වල ගඳ සුවඳ දැනෙන කිසිවකුටත් ඉන්නට නොහැකිය. කවදත් පල්වෙන බේරේ වැව මේ දවස්වල ගන්දස්කාරය පැත්තෙන් ගත්කල සිටින්නේ හිණිපෙත්තේය. බසයක් එනතුරු රැඳී සිටින උදවියටත් ඉන්නට වෙන්නේ මුඛ වාඩම් බැඳගෙනය. කැලෑ පොළ දෙසින් බේරේ වැව ආසන්නයට ගිය විට දුටුවේ එහි ජලය සම්පූර්ණයෙන් විකෘති වී ඇති ආකාරයය.

මතක ඇති කාලයක පටන් බේරෙ වැවේ ජලය කොළ පැහැතිය. ඒත් දැන් එහි පැත්තක ජලය ඇති බවවත් පෙනෙන්නට නැත. කොළ පැහැති මඩ වැනි ඝනකම් තට්ටුවකින් වැහිලාය. ඒ මත යමෙක් ඇවිද ගියද ගිලෙන්නේ නැති බව තක්කෙටම කියන්නට පුළුවන.

කලකට ඉහතදී බේරේ වැවට ගෙනා බෝට්ටු වැටුණු වැටුණු තැන්වල සිය ජීවිතයේ අවසන් හුස්ම යදින්නේය. ඒවා මතට වැහි ජලය පතිතවීමෙන් මදුරුවන් අලුත් ජීවිත අරඹන්නට පටන්ගෙන සිටින විත්තිය රට සුද්ධ කළ ක්ලීන් ශ්‍රී ලංකා උදවිය තවමත් දුටුවේ නැති බව සහතිකය. පාවෙන වෙළෙද සංකීර්ණය ද දැන් සම්පූර්ණයෙන් ජරා ජීර්ණවෙලාය. ඉතිරි වී ඇත්තේ බේරේ වැවේ එක් කොනක ඇති වෙළෙඳසල් දෙක තුනක් පමණය. තව ටික දොහකින් ඒවාද අකුළාගෙන යන්නට වෙන බව අපට කීවේ මා බේරේ වැවේ ඡායාරූප ගන්නා බව දුටු වෙළෙඳසල් සේවකයෙක්ය.

‘‘මේවා කවදා විසඳෙන ප්‍රශ්නද... මනුස්සයෙක්ට ඇවිත් බත් කටක් කන්න පුළුවන්ද මේ ගන්දස්කාරෙ එක්ක. දැන් මිනිස්සු කඩවලට එන්නෙම නැති තරම්. ආවත් නිවීහැනහිල්ලෙ කන්න බෑනෙ. වැව සුද්ධ කරල දාන්න කිසිම කෙනෙක්ට වුවමනාවක් නෑ. අනිත් කඩ ටිකත් වැහුණා වගේ මේ ඉතිරිවෙලා තියෙන කඩ ටිකත් තව ටික දවසකින් වහලා දාල යන්න තමයි අපිට වෙන්නෙ....” වෙළෙඳසල් සේවකයා එක හුස්මට කියාගෙන ගියේ වියරු වැටුණු අයකු සේය. ඔහු කී කතාව ඇත්තය. බේරේ වැව බලන්නට මා යන විට ඉර මුදුන් වී හෝරා දෙක තුනක් ගෙවී තිබුණේය. වෙළෙඳසල් සංකීර්ණය ඉදිරිපිට පාළුවට ගොසිනි. කිසිවකුත් දවල් කෑමට මෙතැන තෝරාගෙන සිටියේ නැත. සාමාන්‍යයෙන් මෙතැන තරුණ ජෝඩු නිරන්තරයෙන් ගැවසෙන තැනක්ය. බංකුවකට වී පෙම් සුව විඳින අතරේ රස කෑමකින් බඩ පුරවාගන්නට හැකි නිසාය. ඒත් දැන් තරුණ ජෝඩු කෙසේවෙතත් කපුටෙක්වත් බේරේ වැවට ඉහළින් පියාඹන්නට කැමැති නැත.

බේරේ වැව පිරිසුදු කරන ව්‍යාපෘතියක් ආණ්ඩුව පටන් ගත්තේ හය මාසයකට ඉහතදීය. එයට ක්ලීන් වෝටර්වේස් නමින් නම් තැබුණේය. ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයවූ ජනාධිපති කාර්ය සාධක බළකාය මෙන් බස්නාහිර පළාත් බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්ය සාධක බළකායක්ද එයට පත් කෙරුණේය. බේරේ වැව තව තවත් ජරා ජීර්ණ වුණා මිසක ව්‍යාපෘතියෙන් ඵලක් වී නැත.

අපි ඊළඟට ගියේ ගාලු පාරේ වෙරළබඩ දුම්රිය මග ඔස්සේය. එදා ක්ලීන් ශ්‍රී ලංකා බළකාය කොළඹින් ඇරඹී රට සුද්ධ කරන වැඩපිළිවෙළ වැඩිපුරම ගියේ වෙරළ දිගේය. මොරටුවට කොළඹ සිට ඒ හැටි දුරක් නැත. ඒත් අද වෙද්දි තත්ත්වය බොහෝ භයානකය. මොරටුව සිට පානදුර දක්වා වෙරළ තීරය ආසන්නයේ තැන් තැන්වල මහා කුණු කඳුය. අපි යන විටත් සමහර තැන්වල රේල් පාරේ පිච්චෙන කසළ ගොඩවල්ය. කසළ ප්‍රශ්නයෙන් වැඩිපුරම බැටකන්නේ කොරළවැල්ලේ උදවිය ය. කොරළ වැල්ල දුම්රියපොළ පසුකර පානදුර දෙසට මීටර පන්සියයක් පමණ ගිය අප නැවතුණේ බෝක්කුවක් ළඟය.

එතැනින් ජලය ගලා බසින්නේ කෙළින්ම මහ මුහුදටය. වෙරළට ළඟා විය නොහැකි තරමට කසළ ගොඩගහලාය. ජලය ගලා බසින කානුව ද ඉවතලන රෙදි, ප්ලාස්ටික් ආදී කුණුවලින් වැහිලාය. කිසිවකු හෝ ගලවා ඉවත් කළ කොමඩ් එකක්ද එතැන අතහැර දමා ගොසිනි. එහි වැහි ජලය එකතු වී තිබුණේය. රටපුරා ඩෙංගු මදුරුවන්ගේ ජනාවාස ඕසෙටය. ජලය එකතු වූ යෝගට් කෝප්පයක් වුවද උන්ගේ ජනාවාස කිහිපයක් තනන්නට හොඳටෝම ඇතිය. මෙවැනි තැනක ඩෙංගු මදුරුවන් බෝ වුවහොත් දස දහස් ගණනක ජීවිත මරු කටේය. කොරළවැල්ලේ ඩෙංගු රජදහන් කිසිවකුටත් නොපෙනුණාට කොළඹ මහ නගර සභා වැටේ මෙන් කොරළවැල්ල දුම්රියපොළේ ද ඩෙංගු මාරාන්තික බවට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව දැන්වීමක් අලවා තිබුණේය. මොරටුවේ කසළ සොයාගෙන අරුණ පත්තරෙන් රේල් පාර දිගේ එන විත්තිය දැනගත් කොරළවැල්ලේ ධීවරයෝ පිරිසක් අප එනතුරු ධීවර වාඩියකට වී මග බලා සිටියහ. පිටතින් පැමිණෙන උදවිය කොරළවැල්ලේ දමා යන කසළ ගොඩවලින් ඒ උදවිය කලක පටන් සිට ඇත්තේ කර මුලට සිරවෙලාය.

කොරළවැල්ලේ පදිංචි ධීවරයකු වන අජිත් චමින්ද ෆොන්සේකා ගමේ කසළ ප්‍රශ්නය ගැන අපට තතු කීවේය.

‘‘කුඩුකාරයෝ සල්ලි අරගෙන කරත්ත ගණන් කුණු ගෙනත් දාන්නෙ කොරළවැල්ලට. සතියට එකපාරක් දෙපාරක් මොරටුවට කුණු ලොරිය එනව. හැබැයි ගෙවල්වල මිනිස්සු රුපියල් පනහක් සීයක් කුඩුකාරයෙක්ට දීලා කුණු ටික ගිහින් දාන්න කියනවා. ගෙනත් දාන්නෙ වෙරළ අයිනට. අපි දන්න කාලෙ ඉඳලාම එහෙමයි. අපි මේවට විරුද්ධව කතා කරන්න ගියාම අහන්නේ ඇයි, මේවා බොලාගෙ ඉඩම්ද කියලා. අපි කොච්චරවත් මේ ගැන කිව්වට සභාවෙන්වත් පොලිසියෙන්වත් ධීවර සමිතිවලින්වත් මොකුත් පියවරක් ගත්තෙ නෑ.’’ චමින්ද කීවේය.

ක්ලීන් ශ්‍රී ලංකා උදවිය රට සුද්ද කරද්දි වැඩිපුරම ක⁣ළේ වෙරළ තීරයේ කසළ ඉවත් කිරීමය. ඒත් මොරටුව වෙරළ තීරය ක්ලීන් ශ්‍රී ලංකා බළකායට අමතක වී ඇති සෙයකි. ඒ ගැන විමසූ විට චමින්ද කීවේ මෙවැන්නකි.

‘‘අපෝ, ඒ අය මෙහෙට ආවෙ නෑ...’’ කියාය.

කොරළවැල්ලේ කසළ ප්‍රශ්නය බලපා ඇත්තේ කොරළවැල්ලේ උදවියගේ සෞඛ්‍යයට පමණක් නොවේ. කුසගින්නටද කසළ ප්‍රශ්නයෙන් තදින්ම පහර වැදී ඇත්තේය. එයට හේතුව ඒ උදවියට දැන් ධීවර රස්සාව කරගෙන යාමටත් නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති නිසාය. මේ ගැන අපට කීවේ ශ්‍යාමල් පෙරේරා ය.

‘‘සමහරු කුණු ගෙනත් දාන්නේ මුහුදට. එතකොට වෙරළ ගොඩවෙනව. අපිට බෝට්ටුවක්වත් ඇදගන්න තැනක් නෑ. ගොඩබිමට පේන්නේ නැති වුණාට ඔක්කොටම වඩා කුණු තියෙන්නෙ මූදෙ ගල්වල. එහෙම වුණාම මාළු බෝවෙන්නෙත් නැතිවෙනවා. එතකොට පාඩුව මූදු රස්සාවට යන අපිටයි. සමහරු ලී කුඩු පවා ගෙනත් දානව මුහුදට. ලී කුඩු සල්ලිවලට ගන්න කට්ටියක් ඉන්නව. මොකක් හරි ප්‍රශ්නයක් නිසා එයාල කාලයක් ලී කුඩු ගත්තෙ නෑ. ඉතින් සමහරු කරන්නෙ ඒ ලී කුඩු ටිකත් මුහුදට ගෙනත් දාන එකයි..." ශ්‍යාමල් කියන්නේය. කසළ ප්‍රශ්නය ගැන අපට කියනවා හැරුණුකො⁣ට කොරළවැල්ලේ උදවියට දැන් කියන්නටත් කෙනෙක් ඉතිරි වී නැත.

රට පුරාම වෙරළ තීරය ගැන හොයන්නට දැන් ක්ලීන් ශ්‍රී ලංකා බළකායට අමතකවෙලාය. වෙරළ තීරය පමණක් නොවේ ඒ දවස්වල වැව් අමුණු පවා සුද්ධ කරන්නට මැති ඇමැතිවරු මඩේ එරුණහ. ගිය සතියේ ගිරුවාපත්තුවේ ඇවිද ගිය මා දුටුවේ බෙලිඅත්ත, පුවක්දණ්ඩාව, වීරකැටිය, මුල්කිරිගල පිහිටි වැව් සියල්ලක්ම පාහේ ජපන් ජබරවලින් වැසී ඇති ආකාරය ය. නිවාස නියෝජ්‍ය ඇමැති ටී.බී සරත් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයට බැස මඩ නාගෙන ජබර ගැලවූ බව මගේ සිහියට ආවේ ඒ වේලාවේදීය. ළඟදීම එල්නිනෝ එනවා යැයි රතුඑළි දල්වමින් සිටියාට වතුර ටිකක් එකතු කරගන්නට කල්තියා වැව් සුද්ධ කරන්නට වාරිමාර්ගයටවත් වුවමනාවක් නැත.

එල්නිනෝ සමග තරග කරන්නට මත්තෙන් දැන් බලධාරින්ට වී ඇත්තේ සෙන්ටිමීටරයක්වත් තරම් නැති ඩෙංගු මදුරුවාට එරෙහිව යුද ප්‍රකාශ කරන්නටය. ඒ කාරිය ආණ්ඩුවට තනිව කරන්නට බැරිය. අපේ රටේ උදවියගේ ඔළුවට ටොක්කක් ඇන කුණු දමන්න එපා යැයි කීවොත් හැරුණුකොට අතේ ඇති ටොපි කොළයක් හෝ පාරේ අතහරින්නට දෙවරක් හිතන්නේ නැත. එහෙව් අපට ඩෙංගු මදුරුවා වුවද මේ දවස්වල කින්ඩියට හිනාවෙනවා ඇත.

 

More News..