තනිකඩයින්ට රොබෝ සහකරුවෙක්
03 July 2026
තනිකඩයින්ට රොබෝ සහකරුවෙක්
03 July 2026
චීනයේ ප්‍රමුඛ පෙළේ රොබෝ තාක්ෂණ සමාගමක් වන UBTech, මානව සබඳතා සහ නවීන තාක්ෂණය මුසු කරමින් සුවිශේෂී මානවරූපී (Humanoid) රොබෝවරුන් පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
'U1' ලෙස නම් කර ඇති මෙම රොබෝවරුන් නිර්මාණය කර ඇත්තේ මිනිසාට වඩාත් සමීප සහකරුවෙකු ලෙස කටයුතු කිරීමටය.
මෙම රොබෝවරුන්ගේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි ඔවුන්ව නිර්මාණය කළ හැකි වීමයි.
ඒ අනුව තමන්ගේ ආදරණීයයන්ගේ හෝ ප්‍රසිද්ධ කීර්තිමත් පුද්ගලයන්ගේ ස්වරූපයට සමාන වන ලෙස මෙම රොබෝවරුන්ව ඇණවුම් කිරීමට ගැනුම්කරුවන්ට අවස්ථාව පවතී.
නම්‍යශීලී, ජීවමාන සමකින් ආවරණය වී ඇති අතර, සැබෑ මිනිස් නියපොතුවලට සමාන නියපොතු සහ දෑත්වලින් සමන්විතය.
හඳුනාගැනීම සඳහා අක්ෂි කැමරා, පපුවේ සවි කළ සංවේදක (Sensors) සහ ශ්‍රවණ මයික්‍රොෆෝනවලින්ද යුක්තය.
මිනිසුන් සමග අදහස් හුවමාරු කරගැනීමේ සහ සැබෑ සහකරුවෙකු මෙන් කතාබස් කිරීමේ ඉහළ හැකියාවක්ද පවතී.
UBTech සමාගම ප්‍රකාශ කරන්නේ, මෙම රොබෝවරුන් විශේෂයෙන්ම තනිකඩ පුද්ගලයන් සහ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති බවය.
තනිකමෙන් සහ පාළුවෙන් කල්ගෙවන පුද්ගලයන්ට ජීවමාන 'ඇන්ඩ්‍රොයිඩ් සහකරුවෙකු' ලෙස මොවුන් සහය වනු ඇත.
චීන යුවාන් 119,800 (අ.ඩො. 17,600ක් පමණ) සිට තාක්ෂණික උපාංග සහ හැඩගැස්වීම් මත යුවාන් 990,000 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබේ.
චීනය තුළ පමණක් තනිකඩ පුද්ගලයන් මිලියන 120ක සහ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මිලියන 320ක දැවැන්ත වෙළෙඳපොළක් පවතින බව සමාගම පෙන්වා දෙයි.
නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමටත් ප්‍රථම, මේ වන විටත් U1 රොබෝවරුන් සඳහා 13,300කට වඩා ඇණවුම් දැනටතම් ලැබී තිබේ.
UBTech සමාගම සැලසුම් කර ඇත්තේ මෙම ඇණවුම් බෙදාහැරීමේ කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමටය.

