හදිසි අනතුරුවලින් දිනකට 30ක් මරුට
02 July 2026 | ශිරාන් රණසිංහ
හදිසි අනතුරුවලින් දිනකට 30ක් මරුට
02 July 2026 | ශිරාන් රණසිංහ
වනාතවිල්ලුව මංගපුර විල්ලුවේ නෙළුම් මල් කැඩීමට ගිය පාසල් සිසුන් සිව්දෙනකු දියේ ගිලී මියගිය පුවත දැන් රටම දනී. මේ අනතුර හදිසි අනතුරකි.
මෙකී අනතුර අපට සිහියට ආවේ ලබන 6 සිට 10 දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කර තිබියදී සිදුවූ අවාසනාවන්තම අනතුර මෙය වන නිසාය.
හදිසි අනතුරුවලින් වසරකට ලක්ෂ 44 ක් මියයයි
පොඩි අවධානයකින් බොහෝ අනතුරු වළක්වා ගත හැකිය. එහෙත් හදිසි අනතුරුවලින් වසරකට ශ්‍රී ලාංකිකයන් 8000 ක් 10,000 ක් පමණ මිය යන බව ඔබ දන්නෙහිද?
ලෝකයේ දත්තවලට අනුව හදිසි අනතුරු හේතුවෙන් හතළිස් හතර ලක්ෂයක් මියයද්දී දෙකෝටි විසි ලක්ෂයක් පමණ සිටින ශ්‍රී ලංකාවේ 8000 ක් මියයාම ඛේදවාචකයක් බවට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 නිකුත් කළ වාර්තාවට අනුව හදිසි අනතුරුවලින් වසරකට ලෝකයේ 4,468,000 ක් මිය යති.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (1 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග කදිම හෙළිදරව්වක් කළේ මේ අයුරිණි. ‘‘අනතුරුවලින් කිසිවකුට ගැලවිය නොහැකියි. පෝසත් දුප්පත්, ලොකු කුඩා හෝ බලවත්ද, දුබලද යන්න අදාළ නොවී හදිසි අනතුරුවලට ලක්වන බවයි. ලෝකයේ සෑම තත්පරයකදීම පුද්ගලයන් අටදෙනකුවත් හදිසි අනතුරුවලින් මිය යති. 2021 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ මිලියන 4.4 ක් හදිසි අනතුරුවලින් මියයති.
හදිසි අනතුරු යනු මාර්ග අනතුරු, ඇද වැටීම්, දියේ ගිලීම්, විෂවීම්, විදුලි සර වැදීම්, සත්තු දෂ්ට කිරීම්, සියදිවි නසා ගැනීම් ආදියය. ලංකාවේ රෝහල් ගතවන අයගෙන් බහුතරය හදිස අනතුරු නිසා රෝහල් කරා එන අයය.
2004 වසරේදී හදිසි අනතුරු නිසා 657,535 ක් රෝහල් ගත වෙද්දී 2024 වනවිට එලෙස රෝහල් ගතවූ පිරිස එය 1354,411 දක්වා ඉහළ ගොස් ඇත. 2030 වනවිට ඇස්තමේන්තු කර ඇති ආකාරයට හදිසි අනතුරු හේතුවෙන් 1,531,862 දක්වා වැඩිවනු ඇතැයි උපකල්පනය කර ඇත.
හදිසි අනතුරු හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල මුදලක් වැයවීම
ඇත්තටම මෙහි බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ සෞඛ්‍ය අංශය වෙත වාර්ෂිකව වැය කරන මුදල්වලින් විශාල මුදලක් හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත වන අයගේ ප්‍රතිකාර සඳහා වැය කිරීමට සිදුවීමය.’’ ඒ වෛද්‍යවරයා තවත් බරපතළ තත්ත්වයක් පෙන්වා දුන්නේ මෙපරිදිය.
වසරකට ශ්‍රී ලංකාවේ සිදුවන හදිසි අනතුරුවලින් 8000 ක් 10000 ක් පමණ මිය යති. මෙලෙස මිය යන්නේ නිධන්ගත රෝග නොමැති නිරෝගී අය වීමය. හදිසි අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් තිහක් පමණ මියයයි. මාර්ග අනතුරුවලින් දිනකට හතක් අටක් මියයති.
ඒ කියන්නේ සෑම පැය තුනකට වරක් හදිසි අනතුරුවලින් නිරපරාදේ මියයන බවයි. මේ මරණ සිදුවන්නේ නිරපරාදේය. ජීවත්ව සිටිය හැකි පිරිසක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියයාම ඛේදවාචකයක් බව අමුතුවෙන් කිවයුතු නැත. තත්ත්වය ඔයාකාරය.
හදිසි අනතුරු වළක්වා ගන්නේ කෙලෙසද?
මීට වසර එකොළහක සිට ජාතික අනතුරු නිවාරණ සතියක් ජූලි මස ක්‍රියාත්මක කළත් හදිසි අනතුරුවල අඩුවක් සිදුවී නැත. වරද කාගෙද යන්න අමුතුවෙන් කිවයුතු නැත. වරද ඇත්තේ මිනිසුන් අතය.
මේ හදිසි අනතුරුවලින් සියයට 80 ක් වළක්වා ගත හැකි අනතුරු බවද වෛද්‍යවරු පෙන්වා දෙති. අනතුරුවලින් සියයට 27 ක්ම සිදුවන්නේ මාර්ග අනතුරුවලිනි.
සියයට 21 ක් ගෙල සිර කර ගැනීම්වලින්ද, සියයටය 13 ක් බිම ඇදවැටීම්වලින්ද සියයට 9 ක් ජලයේ ගිලීම්වලින්ද සියයට 7 ක් විෂ ශරීර ගතවීම්වලින්ද සියයට 2 ක් පහර දීම්වලින්ද සියයට 2 විදුලි සර වැදීම්වලින්ද මියයති.
අනතුරු වළක්වා ගැනීමට නම් අපගේ චර්යාවන් මෙන්ම ආකල්පමය වෙනසක් කරගත යුතුය. නිවසේදී, සේවා ස්ථානවලදී, ගොවි බිම්වලදී මෙන්ම විවිධ කටයුතුවලදී ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වීම අතිශය වැදගත්ය.
මාර්ග අනතුරුවල තත්ත්වය
2023 වසරේදී මාර්ග අනතුරු 2331 ක්ද, 2024 දී මාර්ග අනතුරු 2403 ක්ද, 2025 දී මාර්ග අනතුරු 2549 ක්ද වාර්තා වී ඇත.
මීට අමතරව බරපතළ රිය අනතුරු ප්‍රමාණයන් මෙසේය. බරපතළ රිය අනතුරු යනු එක්කෝ සදා ආබාධිත හෝ මියයෑම්වලට අදාළ අනතුරුය. ඒ අනුව 2023 දී බරපතළ රිය අනතුරු 6675 ක්ද, 2024 දී 7157 ක්ද, 2025 දී 7890 ක්ද වාර්තා වී ඇතැයි රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල කියයි.
මෙම 2026 වසරේ රිය අනතුරු 1223 ක් සිදුවී ඇත. එම අනතුරුවලින් මියගිය ගණන 1389 දෙනෙකි. ඉකුත් 2025 වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හයේදී රිය අනතුරු ගණන 105 කින් වැඩිවී වූ මරණ ගණනද 107 කින් වැඩිවී ඇත.
මාර්ග අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ යතුරු පැදිකරුවන්ය. ඊට පසුව මියැදෙන්නේ මහමග යන අහිංසක මගීන් යැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල කියන කතාවය.
මෙම වසරේ ගෙවී ගිය මාස හයේදී පමණක් බීමත් රියැදුරන් 64,947 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බීමත්ව රිය පැදවූ තවත් විශාල පිරිසක් පොලිසියට හසුවී නැත. මීට අමතරව මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ රියැදුරන් 8967 ක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මොන තරම් දඩ මුදල් වැඩි කළත් මේ රටේ නොහික්මුණු රියැදුරන් මේ අයුරින් බීමත්ව හා මත්ද්‍රව්‍ය භාවිත කොට රථවාහන එළවති. මෙවැනි බේබදු රියැදුරන් පදවන වාහනවල නැගී යන අයටත් දෙවි පිහිට හැර වෙනත් රැකවරණයක් තිබේද?
මේ රටේ මාර්ග අනතුරුවලින් හදිසි අනතුරුවලත් තත්ත්වය ඔයාකාරය.
2025 වසරේදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලයන 604 ක මුදලක් අයවැය මගින් වෙන් කර ඇත.
එහෙත් මේ රටේ රොහල් වෙත ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ගෙන් බහුතරය හදිසි අනතුරුවලට ලක්වන අය වීම බරපතළ ව්‍යසනයකි. මෙරට රෝහල්වලට එන රෝගීන් සැලකිල්ලට ගැනීමේදී හදිසි අනතුරු රෝගීන්ගේ පැමිණීම දසවන තැන ඇත. හදිසි අනතුරුවලින් මිය යන්නේ ඇතැම් විට කිසිදු නිධන්ගත රෝගයක් නොමැති නිරෝගී පුද්ගලයන්ය. හදිසි අනතුරට ලක්වන්නේ යම් කුටුම්භයක එකම ආදායම් උපයන පුද්ගලයා නම් ඒ පවුලම වැටෙන්නේ මහා කරදරයකය.
එනිසා හදිසි අනතුරු වළක්වා ගැනීමට දැන්වත් ක්‍රියා කළ යුතුව ඇත. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කොට යතුරුපැදි, ත්‍රිරෝද, බස් රථ හෝ වෙනත් කිසිදු වාහනයක් ධාවනය නොකළ යුතුය. ඉන් මිය යන්නේ හෝ සදා ආබාධිතයෙක් වන්නේ රියැදුරු පමණක් නොව මගී ජනතාවය. පදිකයන්ය. එසේත් නොමැති නම් මාර්ගයේ වෙනත් වාහනයක යන උදවියය. අනෙක් අතට දියේ ගිලී මියයාම්ද බරපතළ ලෙස වැඩි වී ඇත. ඉහළක සිට බිම ඇදවැටී සිදුවන අනතුරුද බරපතළ ලෙස වැඩි වී ඇත.
මේ දිනවල රටපුරා ඩෙංගු වසංගතයක් පැතිර යමින් තිබේ. ඩෙංගු වසංගතයක් පැතිර යන්නේත් එම රෝගයට මිනිසුන් ගොදුරු වී මිය යන්නේත් මිනිසුන්ගේ නොසැලකිල්ල නිසාය.
හදිසි අනතුරු නිසා දිනකට 30 ක් පමණ මියයාම මොනතරම් ඛේවාචකයක්ද?
රිය අනතුරුවලින් පමණක් දිනකට අට දෙනෙක් පමණ මිය යන්නේ රියැදුරන්ගේ මෙන්ම පදිකයන්ගේ නොසැලකිල්ල හේතුවෙනි. හදිසි අනතුරුවලින් වැඩිපුරම මිය යන්නේ තරුණ පිරිස්ය. ඒ අය රටේ ආර්ථිකයට ඵලදායී මෙහෙවරක් කළ හැකි රටේ ශ්‍රම බලකායට එක්වීමට සිටින අයය. රටක් මේ තත්ත්වයට පත්ව තිබීම අනාගතයට ඉතා නරක ප්‍රතිඵල ගෙන දෙන්නකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු පිළිබඳ උපදේශන කමිටුව ‘‘ජිතික අනතුරු නිවාරණ සතියක්’’ ජූලි 06 සිට 10 දක්වා ප්‍රකාශයට පත්කර ඇත. මෙය ඉකුත් වසර 11 ක් තිස්සේ ක්‍රියාත්මක කළත් හදිසි අනතුරු අඩුවීමක් සිදුව නැත. මහමග රිය අනතුරු අඩුවී නැත.
එනිසා හදිසි අනතුරු වළක්වා ගැනීමට අප කොයි කවුරුත් අදිටන් කරගත යුතුය. විනයක්, හික්මීමක් හා නීතිගරුක මිනිසුන් බවට අප පත්විය යුතුය. නොඑසේ නම් වන්නේ ලෙඩ රෝග නැතුවම නිරපරාදේ මිය යන්නටය.

