නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ
30 June 2026
නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ
30 June 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.
ඒ අනුව, මෙතෙක් නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.
GeographicReferenceඅදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී තිබේ.
මෙම පත්වීම ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන අතර, වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා එදින ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.
වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඩේමියන් ප්‍රනාන්දු මහතා 1991 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස සේවයට එක්විය.
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු 1993 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව තිබේ.
වසර 35කට ආසන්න නාවික සේවා දිවිය තුළ දෙස් විදෙස් වෘත්තීය හා විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, රණශූර සහ උත්තම සේවා පදක්කම් ඇතුළු ගෞරව සම්මාන හිමිකරගෙන ඇත.
ඔහුගේ වෘත්තීය දක්ෂතාව, කාර්යක්ෂමතාව සහ කැපීපෙනෙන සේවය අගයමින් අවස්ථා හයකදී ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරුන් විසින් ප්‍රශංසාත්මක ලිපි මඟින් ද ඇගයීමට ලක් කර තිබේ.
වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ ලන්ඩනයේ කිංග්ස් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

