brand logo
logo
පොසොන් කෙළිය දා

පොසොන් කෙළිය දා

28 June 2026


මහා ජන සන්නිපාතයකට විනෝද වීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත් වූ ගම් උදාව, මහපොළ, යොවුන් පුරය, මහවැලි උදානය පසු කලෙක දැයට කිරුළ ආදී උත්සව දැන් පැවැත් වෙන්නේ නැත. කිසිදු හරයක් බරක් ආනන්දයක් මේ විනෝද උත්සවවල නැතැයි පඬිවරුන් පිළිකුලේ කෙවිටෙන් ඉවත ලෑවද ඒවා මහා ජන සන්නිපාතයකට විනෝදය ගෙන දුන් බව කවුරුත් දනිති. එසේම බහුතරයා විනෝදාස්වාදය ලැබුවේ ක්‍රිකට් කෙළියෙනි. ආර්ථික ශක්තියෙන් අභිභවනය කළ නොහැකි තැනක වැජඹෙන එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව ක්‍රිකට් කෙළියෙන් පරාද කරන විට අප ජාතියටම විනෝදයකි. එහෙත් දැන් ඇෆ්ගනිස්තානය හමුවේද අපේ ක්‍රිකට් කෙළින්නෝ බලු ගහට පරාදවන නිසා ඒ ජොලියද අහිමිය. දැන් අපේ ජාතියට මහා ජනසන්නිපාතයක් හැටියට එකට එක්වී සතුටු වෙන්නට ඉතිරිව තිබෙන්නේ අවුරුදු, වෙසක්, පො‍ෙසාන්, සිරිපාදේ වන්දනා කිරීම් ආදී උත්සවත්, මඩු වන්දනාව ආදී උත්සවයන්ය.


මෙවර පොසොන් උදාවෙන්නේ එබඳු තත්ත්වයක් යටතේය. පොසොන් දවසේ සිදු වූ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනේ ශ්‍රේෂ්ඨත්වය වනනවාට වඩා හුදී ජනයා ඒ උළෙල කෙළියක් කරගෙන සතුටුවෙන ආකාරය විස්තර කිරීම මේ කාලේ කාගේත් හිතට හොඳය. 


මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කළේ දුර්භික්ෂ සමයක නොව දඩකෙළි, ජලකෙළි, උයන්කෙළි පැවැත්වෙන පොසොන් කාලයකය. දේවානම්පියතිස්ස මහරජ්ජුරුවන් මිහිඳු මාහිමියන් බැහැ දුටුවේත්, සෙසු රජ පිරිවර යෙදී සිටි ජල කෙළිය මගහැර දඩ කෙළියේ යද්දී යැයි වංශ කතාවල සඳහන්ව තිබීමෙන් ඒ බව පෙනේ. මිහිඳු මාහිමියන්ට පූජා කළ මහමෙව්නාවත් රජ්ජුරුවන් විනෝද වූ උයනකි. භික්ෂූන් ලියූ අටුවාවල සේම සුද්දන් ලියූ වර්ණනාවල ද පොසොන් වර්ණනා කර ඇත්තේ සැණකෙළියක් වේශයෙනි. ලෙප්ටිනන්ට් ස්කිනර් නම් යුද නිලධාරියකු 1834 දී අනුරාධපුරේ සංචාරය කර ලියා තිබුණේ මාතලේ - මහනුවර - දඹුල්ල හරහා එන සැදැහැවතුන්ගෙන් මාර්ග පිරී ඉතිරී පැවතුණ බවයි. 


1903 පොසොන් පොහොය යෙදී තිබුණේ මෙවර සේම මාසයේ අග ජුනි 30 දාකය. ඒ කාලයේ හැටියට අනුරාධපුරේ වඳින්න ආ විසිදහසක් පමණ වූ අති විශාල වන්දනාකරුවන් අතරින් අනුරාධපුර කච්චේරියේ මුදලි අමරසේකර අසුපිට නැගී යන විට මාතලෙන් පැමිණි උක්කු අම්මා නම් කාන්තාව අස්කුරවලට පෑගී බරපතළ තුවාල ලැබුවාය. අශ්වයාට පෑගුන උක්කු අම්මාගේ පැත්තට කතා කළ වන්දනාකරුවන්ද අල්ලා ගස් බඳින්නට මුදලි කටයුතු කළෙන් කෝපයට පත් වන්දනාකරුවන් නතර වුණේ රෝමානු කතෝලික පල්ලියටද, දේවගැති නිවාසයට, පාසලට හානිකර නගරයේ තිබූ මුවමස්, හරක්මස් කඩද බිමට සමතලා කරමිනි. කෝලාහලය බේරන්නට ආ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධාන අනුගාමිකයාද වූ, අනුරාධපුරය ශුද්ධ නගරයක් කරන්නට කැප වූවා වූද වලිසිංහ හරිස්චන්ද්‍ර චූදිතයකු ලෙස උසාවියට ඉදිරිපත් කළෝය. වලිසිංහ හරිස්චන්ද්‍ර වෙනුවෙන් ක්‍රිෂ්ණාරත්න පෙරකදෝරු තැන පෙනී සිටිමින් පොසොන් පෝය වන්දනාකරුවන් ගත කරන හැටි ගැන අනුරාධපුරේ සිටි නඩුකාරයකු වූ ලීස්චිත් 1870 ලියූ වාර්තාවක් උසාවියට ඉදිරිපත් කළේය.

‘‘මෙම පෙදෙසට ලංකාවේ නා නා පෙදෙස්වලින් වාර්ෂිකව 20,000 කට වඩා එකතු වෙනවා. ඔවුන්ට නවාතැන් පොළවල් නැත. විශාල අඹගස් යට, රෙදිවලින් අටවාගත් කූඩාරම්වල දින තුන හතරක් ගත කරති. ආදායම් නිලධාරියාගේ බංගලාවට යාර දෙසීයක් ඇතින් කැලෑ පෙදෙසේ පස් දෙනකුටවත් උස්සාගෙන යා නොහැකි යකඩ සේප්පුවක් පිං කැටයක් ලෙස තබා තිබෙනවා. කිසි දිනෙක මෙය හොරු කඩා හෝ අස්ථානගත කර නැත. විසිදහසක් වාර්ෂිකව මෙහි පැමිණියත් ඔවුන් හැසිරවීමට එක පොලිස් නිලධාරියෙක් නෑ. ස්වාමීනි ක්‍රිස්තියානින් වෙසෙන කිසිම පෙදෙසක පිං පෙට්ටියක් මෙලෙස ආරක්ෂා ඇතිව තබාගත හැකිද? ’’

දඩකෙළි සේම, සංසුන්, විනීත බව ගැන ද ලෝක සහතික පොසොන් දා බෞද්ධයෝ ලැබූහ.


එදා ගස්, ගල් තිබුණ හැම තැනකම අද තියෙන්නේ හෝටල්, නවාතැන්පොළවල්ය. එහෙත් මේ උදාවන පොසොන් පෝය දවසෙත් දසදහස් ගණනක් වන්දනාකරුවන් රැය පහන් කරන්නේ රුවන්වැලිය, ශ්‍රී මහබෝධිය, ජේතවනය අවට ගල්කණු යට ශ්‍රී මහා බෝධිය පැත්තට හිස දා නිදාගෙනය. ඔවුන් කන්නේ දන්සල්වලිනි. මේ දන්සල් දෙන්නේ අසූ කෙළක් ධනය ඇති මහාධන සිටුවරුන් නොව අව්, වැසි, සුළංවලින් බැටකමින් පොහොර මිටිය දහඅටදාහට අරන් වී හදා, වී කිලෝව රුපියල් අසූපහට වඩා වැඩි මිලකට විකුණා ගැනීමට ආණ්ඩුව සමග ගැටෙනා ගොවීහුය. වී කිලෝවට රුපියල් 150 ක් දෙන්නෙමැයි කියා ගොයම් ගස් කා කළ ශපත කිරීමට රැවටී ඡන්දය දුන් ගොවීන්ය. BYD ආදී සුඛෝපභෝගී වාහනයෙන් අනුරාධපුරේ වඳින්න එන ඉසුරුමතුන්ට දන්සල් දෙන්නට ඔවුහු ලෑන්ඩ් මාස්ටර් ට්‍රැක්ටරයෙන් අනුරාධපුරයට හාල් අදිති. ඔවුහු රටේ පොදු ජනයාගේ පුත්තුය.


අනුරාධපුරයේ ජීවත් වූ මරුසිරාගේ ජීවන අන්දරය ඇසුරෙන් ටයිටස් තොටවත්ත හැදූ මරුවා සමග වාසේ සිනමාපටය පටන් ගන්නේ පොසොන් වන්දනාවේ ආවුන්ට මරුසිරා කසිප්පු විකුණන දර්ශනයකිනි. බුද්ධාගම එන්න කලින් අනුරාධපුරේ පොසොන් සමයේ තිබූ දඩකෙළි, දිය කෙළි, අවර කෙළි බුදදහම පැමිණිදා සිට යටපත් වී ගියද ඒවා තවමත් යටින් යයි.


පොසොන් උළෙලට අනුරාධපුරයට එන මහා ජන සන්නිපාතය පුරාණ සාහිත්‍ය උපමාවකින් කීවොත් අබ මිටක් විසි කළත් බිම නොවැටෙන තරම්ය. අනුරාධපුරයට යාබද පෙදෙසක ජීවත් වූ නව යුවළක් පොසොන් දා වලිසිංහ හරිස්චන්ද්‍ර පිටියේ තිබෙන කානිවල් එකකට ඇවිත් තරගයකට සහභාගි වූ විට තෑග්ගට ලැබුණේ හාල් කිලෝ තිස්පහක් උයන්නට පුළුවන් මහ මුට්ටියකි. තෑග්ග අතට ගත්තාට එය හිස මත තබා ගන්නවා විනා මහ සෙනඟ පොදිකන නිසා බිම තබන්නට තරම් ඉඩක් තිබුණේ නැත. මහා හැළිය ඔසවා ගත් යුවළ පිට්ටනියෙන් පාරට ආවත් එහිද හැළිය බිම තබන්නට ඉඩක් නැතිව පූජා භූමියෙන් ඈතට අවුත් වාහනයක් කුලියට ගෙන තෑග්ගට දිනූ මහ මුට්ටිය ගමට ගෙන ගියෝය. හැළියට වඩා වැඩි වියදමක් මහා මුට්ටිය ප්‍රවාහනයට වැය වී තිබිණ. මේ සැබෑ පුවත හෙළයේ මහා බෞද්ධ ලේඛකයා ලෙස විරුදාවලී ලද සෝමවීර සේනානායකයන් තිර නාටකයකට ලියා ඒකාංගික නාට්‍යයක් නිපදවූයෙන් හෙළයේ මහා බෞද්ධ ලේඛකයා පවා පොසොන් උළෙල දකින හැටි කාටත් තේරුම්ගත හැකිය. 


දැන් ලාංකිකයාට මහා ජන සන්නිපාතයක් සහිතව සතුටු වෙන්නට තැනක්, අවස්ථාවක් නැත. බදු පනවන, විරුද්ධවාදීන් අල්ල අල්ලා හිරේ දාන ආණ්ඩුව පොදු ජනතා සතුට උදා කිරීම ගැන සිතන්නේ නැත. ආණ්ඩුව හඳුන්වා දෙන්නට හැදූ සතුටු දවස මහ වැඩසටහන ද දිට්වා කුණාටුවට ගසගෙන ගියේය. ආණ්ඩුව වැඩ කරන්නේ කුමට නැටුම් කෙළි කවට සිනා දා කියන කියමන අනුවය. භංගවේවා කියන්නම පුරුදු කෙරුණ රටක යහපතක්ම වේවා කියන ආර්ථය හිමි සාධු නදින් හිඟුම් දෙන්නට තරම් පොසොන් උළෙල හුදී ජන පහන් සතුට පිණිසම හේතු වේවා!

 

More News..