brand logo
logo
පොසොන් රාජකාරිවලට පොලිසියෙන් දස දහසක්

පොසොන් රාජකාරිවලට පොලිසියෙන් දස දහසක්

29 June 2026 | හෙෂාර සෙනාල් සෝමරත්න - අනුරාධපුරය

පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් දස දහසකට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් පැවැසීය. මෙම වසරේ මේ දක්වා ගතවූ කාලයේදී දියේ ගිලී පුද්ගලයන් 75 දෙනකු මියගොස් තිබෙන බවත් ගංගා, ජලාශ සහ දිය ඇලි ආශ්‍රිත ප්‍රදේශවල දිය නෑමේදී අතිශය විමසිලිමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.


දිවයිනේ පොලිස් කොට්ඨාස 48න් 31කම ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවා ඇති අතර මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර ජලයට පිවිසීමෙන් වළකින ලෙසත් අනතුරු ඇඟවීමේ පුවරු සහ ජීවිතාරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් පොලිසිය ඉල්ලා සිටියි.


පොසොන් සමයේ මාර්ගවල ශබ්දය පතුරුවමින් නොසන්සුන්කාරී ලෙස ධාවනය කරන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට උපදෙස් දී තිබෙන බවත් විශේෂයෙන්ම වෙනස් කරන ලද (modified) සයිලන්සර් භාවිත කරමින් අධික ශබ්දයක් නිකුත් කරන සහ අන් අයට බාධාවක් වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ වාහන පොලිස් භාරයට ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


තවද යතුරුපැදිවල ගමන් කිරීමේදී හිස්වැසුම් පැලඳීම සහ නීත්‍යානුකූල මගීන් සංඛ්‍යාව පමණක් ප්‍රවාහනය කිරීම අනිවාර්ය බවද එය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නඩු පවරන බවද හෙතෙම පැවැසීය.


මේ අතර තම නිවසේ ආරක්ෂාව සහ විශේෂයෙන්ම නිවසේ තනිව සිටින වැඩිහිටියන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය පොසොන් නිවාඩුව සඳහා නිවෙස්වලින් පිටව යන ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. එමෙන්ම එවැන්නන් නිවෙස් තනිව තබා යාමෙන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බැවින් තම ගමන් මග සහ නිවසේ ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

 

More News..