brand logo
logo
මිය ගියායැයි කී ඉරානයේ හිටපු ජනාධිපති කමේනිගේ අවමඟුලේ

මිය ගියායැයි කී ඉරානයේ හිටපු ජනාධිපති කමේනිගේ අවමඟුලේ

08 July 2026

යුද සමයේ ආරම්භයේදීම ඝාතනයට ලක්ව ඇති බවට වාර්තා පළ වූ ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ්, එරට හිටපු උත්තරීතර නායක අභාවප්‍රාප්ත අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා එක්ව සිටිනු දැකගත හැකි වූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.


ඝාතනයට ලක්වූ උත්තරීතර නායකයාගේ දේහය රැගත් විශේෂ මංජුසාව තැන්පත් කර තිබූ රථය පසුගිය සඳුදා දිනයේදී ටෙහෙරාන් අගනුවර හරහා රැගෙන යන අවස්ථාවේදී, කළු පැහැති වස්ත්‍රයෙන් සැරසී ඊට ගෞරව දැක්වීමට පැමිණි මිලියන සංඛ්‍යාත ජනතාව අතර හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් ද සිටි බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.


2005 සිට 2013 දක්වා කාලය තුළ ඉරානයේ දැඩි මතධාරී ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ ඔහු, යුද්ධය ආරම්භ වූ මුල් දිනයේදීම මියගිය බවට ඉරාන රජයට අනුබද්ධ මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර තිබිණි


ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාර හමුවේ හිටපු උත්තරීතර නායක කමේනි ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් රැසක් ඝාතනයට ලක්වූයේ ද ඒ ආසන්න දිනවලදී ය.


අහමදිනෙජාඩ් පදිංචිව සිටි නිවස අසලට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ඔහු ද මියයන්නට ඇති බව ඒ දිනවල විශ්වාස කෙරිණි.


ඉන්පසුව ගතවූ මාස කිහිපය පුරාම ඔහු ප්‍රසිද්ධියේ දැකගන්නට නොලැබුණු අතර, ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ද වාර්තා නොවීය.


එමෙන්ම ඔහුගේ තත්ත්වය පිළිබඳව ඉරාන රජය පාර්ශවයෙන් නිල වශයෙන් තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් ද සිදු නොවුණි.


මේ හේතුවෙන්, යුද්ධයේ මුල් දිනවල පැවැති දැඩි අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ ඔහුගේ ඉරණම කුමක්ද යන්න මෙතෙක් පැවැතියේ නොවිසඳුණු අභිරහසක් ලෙසය.


කෙසේවෙතත් ඉකුත් පෙබරවාරි මාසයේදී ඊශ්‍රායල හා ඇමරිකානු ප්‍රහාර සමග යුද්ධය ආරම්භ වූ දා සිට පළමු වතාවට පසුගිය සඳුදා ඔහු ප්‍රසිද්ධියේ දැකගත හැකි වූ අතර, එහිදී ඔහු කළු පැහැ කබායකින් සැරසී, තම මුඛ ආවරණය නිකට දක්වා පහත හෙළා ගනිමින් ශෝකවන්නන් අතර ගමන් කරමින් සිටියේය.


ඔහු මෙලෙස නැවත ප්‍රසිද්ධියට පැමිණියේ ඉරානයේ දැනට ජීවතුන් අතර සිටින අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් වන මොහොමඩ් ඛාටමි සහ හසන් රවුහානි මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවීමෙන් අනතුරුවය.


ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ ඔවුන් දෙදෙනාට මෙම උත්සවය සඳහා ආරාධනා කර නොතිබූ බවයි.


හිටපු ජනාධිපති අහමදිනෙජාඩ් මෙලෙස පෙනී සිටියේ ඉරාන ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම අවමංගල්‍ය උත්සවයකටය.


ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද මෙම ජනකාය අතරට එක්ව සිටි අතර, සෙනඟ අතරින් ගමන් කිරීම සඳහා ඔහු යතුරුපැදියක පසුපස අසුනේ නැගී යන අයුරු ඡායාරූපවල සටහන්ව තිබුණි.


අවමංගල්‍ය පෙරහර ගමන් ගත් මග දෙපස රැස්ව සිටි පිරිස් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුරුවක් එල්ලා තැබීමට කටයුතු කර තිබූ අතර, ඔහුගේ මරණය ඉල්ලා සිටින පුවරු ද ප්‍රදර්ශනය කරමින් සිටියහ.


පෙබරවාරි 28 වැනිදා කමේනි සමග ඝාතනයට ලක්වූ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ දේහයන් සහ ජාතික ධජයෙන් සරසා තිබූ කමේනිගේ දේහය විශේෂ රථයක් මත තැන්පත් කර තිබිණි.


රාජ්‍ය රූපවාහිනිය මගින් විකාශය කළ හෙලිකොප්ටර් දර්ශනවලින් පෙනී ගියේ මධ්‍යම ටෙහෙරාන් නුවර පුරා සැතපුම් ගණනාවක් දුරට ඒ සඳහා සහභාගී වූ ජන ගඟ ඇදී යන ආකාරයයි.


මෙම අවස්ථාව සඳහා මිලියන 20 ක පමණ ජනකායක් රොද බඳිනු ඇතැයි බලධාරීන් අනාවැකි පළ කර තිබුණි. මෙම යුද්ධය මඟින් ඉරාන ඉස්ලාමීය ජනරජය බිඳ වැටෙනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වූ නමුත්, එරට වැසියන්ගේ සැබෑ ආකල්පය පිළිබඳව ඔහු කෙතරම් මුලාවකට පත්ව ඇත්ද යන්න මෙලෙස ඇදී ආ අතිවිශාල ජනකායෙන් පැහැදිලි වූ බව ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.


ටෙහෙරාන් නුවර සෑම තැනකම දක්නට ලැබුණේ පළිගැනීමේ දැඩි අවශ්‍යතාවය බව ද එම වාර්තාවල සඳහන් විය.


මීටර් කිහිපයක් දිගැති එක් පුවරුවක "අපි ට්‍රම්ප්ව ඝාතනය කරනවා" යනුවෙන් සටහන් කර තිබූ අතර, ෂියා මුස්ලිම් සම්ප්‍රදායට අනුව පළිගැනීමේ සංකේතය වන රතු පැහැති ධජ රැසක් ද මෙම ජනකාය අතර ලෙළදෙමින් තිබිණි.

 

More News..