brand logo
logo
මේ ආණ්ඩුව ගුරු අධ්‍යාපනය විනාශ කර එය ටියුෂන්කරුවන්ට භාර දීලා

මේ ආණ්ඩුව ගුරු අධ්‍යාපනය විනාශ කර එය ටියුෂන්කරුවන්ට භාර දීලා

02 July 2026 | සටහන - චිරංත ජයතුංග

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයට පුළුල් දායකත්වයක් සපයන ගුරු අධ්‍යාපනය පිළිබඳව අසන්නට ලැබෙන්නේ වෙන කවරදාකටත් වැඩි සෝචනීය ඉරණමකි. ඇතැම් ගුරු සංගම් සිය සේවා ව්‍යවස්ථාව වත්මන් රජය අත්තනෝමතිකව සංශෝධනය කර ඇති බවට ද චෝදනා එල්ල කරයි. පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ප්‍රබලතම වෘත්තීය සංගමයක ලේකම් ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර සමග කළ සාකච්ඡාවකි මේ. ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ දර්ශනශූරී උපාධිය හදාරන විද්‍යාර්ථියකු ද වෙයි.


මොකද්ද ඇත්තටම ගුරු අධ්‍යාපනයට වෙලා තියෙන්නේ?


අපේ රටේ ගුරු අධ්‍යාපනය ආරම්භ වෙන්නේ ලන්දේසීන් අපේ රට අල්ලාගෙන හිටිය කාලේ. ඒ අය ආරම්භ කරපු පැරිස් පාසල්වල ඉගැන්වීම සඳහා ලන්දේසි අධ්‍යාපන ක්‍රමය ගෙනියන්න අවශ්‍ය ගුරු පරපුරක් ඇති කිරීමට 1696 දී ‘සෙමනේරිය’ කියලා ආයතනයක් පිහිටෙව්වා. මේක තමයි රාජාවලියෙන් පස්සේ අපේ රටේ ගුරු අධ්‍යාපනයේ ආරම්භය. ඊට පස්සේ ඉංග්‍රීසින් අපිව පාලනය කරන කාලේ ‍තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයාගේ කාලේ ඇකඩමිය කියන උසස් අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලැබූ ස්වදේශිකයන්ට ගුරු පත්වීම් දීලා තිබෙනවා. ඒ අයට ක්‍රිස්තු ධර්මය හා ඉංග්‍රීසි ඉගැන්වීමට ප්‍රායෝගිකව හා න්‍යායිකව ගුරු පුහුණුව ආරම්භ කළා. ඒක තමයි ඇත්තෙන් ම නිලවශයෙන් මෙරට ගුරු පුහුණුවේ ආරම්භය සනි‍ටුහන් කරන්නේ. 1903 දී කොළඹ රජයේ ගුරු විද්‍යාලය ආරම්භ වුණා.


1944 වන විට ගුරු විද්‍යාල අටක් ක්‍රියාත්මක වුණා. ගුරු අධ්‍යාපනයේ වැදගත්ම පියවරක් විදිහට මෙය සලකන්න පුළුවන්. ඉන් පස්සේ එතැනින් පස්සේ කන්නන්ගර මැතිතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් උපාධිධාරී ගුරුවරුන් විශ්වවිද්‍යාලයෙන් ද සෙසු ගුරුවරුන් ගුරු පුහුණු ආයතනවලින් ද බඳවා ගැනීමට විධිවිධාන සලසනවා. විශ්වවිද්‍යාලවල ගුරුවරුන් වෙන්න පුහුණු කළේ නැතත් උපාධිධාරින් ගුරුවරුන් විදිහට බඳවා ගත්තා. රජයේ විශ්වවිද්‍යාල 3ක් ආරම්භ වුණා. ගුරු විද්‍යාලවලට 1950 ගණන්වල පාසල්වල දක්ෂම සිසුන්ට ඉගැන්වීමට අවස්ථාව දුන්නා ‘ශිෂ්‍ය ගුරු’ කියලා තමයි මේ අය හැඳින්වූයේ. එහෙම ගුරු වෘත්තියට ආව අය තවමත් ජීවතුන් අතර ඉන්නවා. මම මේ විස්තරය කිව්වේ ලංකාවේ ගුරු අධ්‍යාපනය දෙවිදිහකට ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි පූර්ව සේවා ගුරු අධ්‍යාපනය. ඒක ක්‍රියාත්මක කරන්නේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පීඨ හෝ දෙපාර්තමේන්තුවලින් සුළු පිරිසකුත්, 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් නිර්දේශ කළ හා 1985 ආරම්භ කළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින්. විශ්වවිද්‍යාලවලින් සුළු පිරිසක් ගුරුවරුන් විදිහට පිටවෙන්නේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ලෙස. නමුත් ගුරු අවශ්‍යතාවෙන් 80%කට වැඩි පිරිසක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබලා පිට වෙන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින්. අපේ රටේ වාර්ෂිකව විශ්‍රාම යන ගුරුවරුන් සංඛ්‍යාව 8000ක් විතර වෙනවා. මේ ගණන පුරවන්න තවමත් අපේ පද්ධතියට හැකියාව නෑ. ඒත් එක්කම අවුරුදු ගණනක් එහෙම හිඟයක් නිර්මාණය වුණාම විටින් විට බලයට ආව රජයයන් උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවා ගත්තා. ඒ වගේම තවත් විවිධ ආකාරවලින් බඳවා ගත්තා.


ඔබට මතක ඇතිනේ 1000 පත්වීම් කියලා 30 000ක් රණසිංහ ප්‍රේමදාස මහත්මයා දුන්නා. තවත් විවිධ ක්‍රමවලින් ගුරු වෘත්තියට ආවා. මේ අයගේ පුහුණුවක් නොමැතිකම නිසා ලොකු ගැටලු ඇති වුණා. ඒ නිසා ගුරු විද්‍යාලවලින් හා කලාප අධ්‍යාපන කාර්යාල, සම්පත් මධ්‍යස්ථාන ආදියෙන් මේ අයට පුහුණුවක් දුන්න. එතකොට ඒ අය සේවය කරන ගමන් තමයි පුහුණුව ලැබුවේ. අඛණ්ඩ ගුරු සංවර්ධනය කියන සංකල්පයත් සේවාස්ථ ගුරු සංවර්ධනය කියන සංකල්පයත් බිහි වුණේ මෙහෙම. ඉතින් අද වෙනකොට මේ අඛණ්ඩ ගුරු අධ්‍යාපනය එහෙම නැතිනම් සේවාස්ථ ගුරු පුහුණුව සෑම අධ්‍යාපන කලාපවල පිහි‍ටුවා තිබෙන ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන වෙත පැවරුණා. රජයේ ගුරු විද්‍යාලත් මේ සඳහා දායකත්වය දැරුවා. මේ දෙකම ඒ කියන්නේ පූර්ව සේවා ගුරු අධ්‍යාපනයේ විශාලම පංගුව 80%ක් හා අඛණ්ඩ ගුරු සංවර්ධනය පැවරිලා තියෙන්නේ ‘ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට.’ හැබැයි මේ ආණ්ඩුව බලයට ආව මොහොතේ ඉඳලා මේ දක්වා කරමින් තියෙන්නේ ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවලට පැවරී තිබුණු අඛණ්ඩ ගුරු අධ්‍යාපනය විනාශ කරලා ඒක ටියුෂන්කරුවන්ට භාර කරපු එක.


ඔබ බරපතළ ප්‍රකාශයක් කරන්නේ. අඛණ්ඩ ගුරු සංවර්ධනය ටියුෂන්කරුවන්ට භාර දුන්නා කියන්නේ කොහොමද?


2014 සංශෝධිත ගුරු සේවා ව්‍යවස්ථාවෙන් ගුරුවරුන්ගේ උසස්වීම් සඳහා මොඩියුල් ක්‍රියාවලියක් හඳුන්වා දී තිබුණා. එහි මොඩියුල් 21ක් තිබුණා. මේ සඳහා රජය වාර්ෂිකව යම් වැය බරක් දරලා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල සේවය කරන ගුරු අධ්‍යාපනඥයන් මගින් ප්‍රායෝගික හා න්‍යායිකව දැනුම, කුසලතා, ආකල්ප, ගුරු පෞරුෂය සංවර්ධනය කරමින් ක්‍රියාත්මක කළා. මෙම මොඩියුල ක්‍රියාවලියේ යම් යම් දුර්වලතා තිබුණා. විශේෂයෙන් ම සෑම ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයකම විශේෂඥතාව ලැබූ ගුරු අධ්‍යාපනඥයන් හිටියේ නෑ. දීර්ඝ කාලයක් ගුරු අධ්‍යාපනඥයන් බඳවා ගැනීම් සිදු කර තිබුණේ නෑ. තවත් ප්‍රශ්න ටිකක් තිබුණා. නමුත් ඒවා සොයා බලා ඒවාට විකල්ප විසඳුම් හොයන්නේ නැතුව කිසියම් ගුරු සංගමයක් හෝ කිහිපයක් කිව්ව පළියට මොඩියුල් ක්‍රමය මේ ආණ්ඩුව බලයට පත්වෙලා ඉතාම කෙටි කාලයකින් අහෝසි කළා.


දැන් ගුරුවරුන්ගේ උසස්වීම් ක්‍රියාවලිය අර්බුදයකට ගිහිල්ලා. පසුගිය සතියේ ගුරු සේවා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනත් විභාග ක්‍රමයක් (කඩ ඉම් පරීක්ෂණ) හඳුන්වලා දුන්නා මෙම උසස්වීම් ක්‍රියාවලියට. දැන් ගුරුවරයා එම උසස්වීම් ලබා ගැනීම සඳහා මුදලට මාර්ගගත පාඨමාලා හදාරමින් විභාගයට සූදානම් වෙනවා. තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලත් ගුරුවරුන්ගෙන් සල්ලි අයකරලා මේ පාඨමාලා මාර්ගගතව උගන්වන්න පටන් අරන්. ගුරුවරයාට ප්‍රායෝගිකව නැතිනම් ව්‍යවහාරික පරිචය ලබා දීමට හා න්‍යායික පරිචය ලැබීමට තියෙන අයිතිය අහෝසි වීම මං නම් හිතන්නේ නෑ දූරදර්ශී තීරණයක් කියලා. ආණ්ඩුවෙන් මේ සඳහා කලින් විශාල මුදලක් වැය කළත් දැන් ඒක කප්පාදු වෙලා. හැබැයි මේ රජය බලයට ආවේ වඩාත් උසස් ගුණාත්මක ගුරු අධ්‍යාපනයක් ස්ථාපිත කරනවා කියලා.


ඔබලා මේකට විරුද්ධ වුණේ නැද්ද?


ඇත්තෙන්ම අපි විරෝධය පළ කරත් අපි ගොඩක් සුළු පිරිසක් ඉන්නේ. ගුරු සංගම් ගොඩක් තියෙනවානේ. ගුරු සංගම්වත් දන්නේ නෑ මොකද්ද කරන්න යන්නේ කියලා. ඒ නිසා තමයි දැන් ඇතැම් ගුරු සංගම් මේ විභාග ක්‍රමයට විරුද්ධවත් පාරට බහින්න හදන්නේ. හරි නම් වෙන්න ඕන පැවැති ක්‍රමය ගැන සමාලෝචනය කරලා දෙපාර්ශ්වයම එක් වෙලා අඩුපාඩු හදාගෙන යන එක. ගුරුවරයාට දැන් මේ විභාග ක්‍රමය ඔස්සේ කිසිදු පුහුණුවක් නැතුව පළවැනි ශ්‍රේණියට උසස් වෙන්න පුළුවන් විභාග ටික ලියලා. ස්වේච්ඡාවෙන් වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් කැපවෙන ගුරුවරු අධ්‍යාපනයට අදාළ පශ්චාත් උපාධි හදාරයි. නමුත් එය අනිවාර්ය අංගයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි මම කිව්වේ සේවාස්ථ ගුරු අධ්‍යාපනය නැතිනම් අඛණ්ඩ ගුරු අධ්‍යාපනය විනාශ කළා කියලා.


පූර්ව සේවා ගුරු අධ්‍යාපනය ඉහළ නංවන්න මේ අවුරුද්දේ විශාල මුදලක් වෙන් කරලා කියලා අපි දැක්කා. පූර්ව සේවා ගුරු අධ්‍යාපනයට මොකද්ද ඇති වී තිබෙන ප්‍රශ්නය?


පූර්ව සේවා ගුරු අධ්‍යාපනයෙන් විශාලම පංගුව 80%ක් පමණ මේ රටේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් ක්‍රියාත්මක වෙන්නේ. එහි ඉගැන්වීමේ නිරත වන කථිකාචාර්යවරුන් ඉහළ ශාස්ත්‍රීය පරිචයක් හා ව්‍යවහාරික පරිචයක් තිබෙන අධ්‍යාපනයට අදාළ පශ්චාත් උපාධි හැදෑරූ අය. ඔවුන්ගේ නිල නාමයන් කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උප පීඨාධිපති, පීඨාධිපති. නමුත් ඔවුන්ට එම තනතුරට සරිලන වැ‍ටුපක් ගෙවන්නේ නෑ. ගුරුවරයාට, විදුහල්පතිවරයාට, ගුරු උපදේශකවරයාට වඩා අඩු වැ‍ටුපක් තමයි මේ අයට ගෙවන්නේ. ඒක පටන් ගත්තේ 2022.01.01 දින සිට. ගුරු විදුහල්පතීන්ගේ වැ‍ටුප් වැඩි වීමත් සමග. ගුරුවරුන් බිහිකරන කථිකාචාර්යවරුන් ගුරුවරුන්ටත් වඩා අඩු වැ‍ටුපක් ගන්නේ. මේ අවනඩුව පහුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් කිව්වා. දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිටත් කියනවා. ඒ විතරක් නෙමෙයි ගිය අවුරුද්දේ ගුරු සේවයේ විදුහල්පති සේවයේ ගුරු උපදේශක සේවයේ හිටිය අයගෙන් ගුරු අධ්‍යාපනඥයන් 570ක් බඳවා ගත්තා. මෙයින් බරපතළ අභ්‍යන්තර වැ‍ටුප් විෂමතාවක් නිර්මාණය කළා. ඒ කියන්නේ 2025 අලුතෙන් ආව ගුරු අධ්‍යාපනඥයන්ගේ වැ‍ටුප මීට වසර අවුරුදු ගණනාවකට පෙර එකතු වුණු ගුරු අධ්‍යාපනඥයන්ගේ වැ‍ටුපට වඩා ඉඅහළ වැ‍ටුප් තලයකින් පිහිටෙව්වා.


වැ‍ටුප් විෂමතාව ඇති වෙලා අවුරුදු පහයි මාස හයයි. අභ්‍යන්තර වැ‍ටුප් විෂමතාව ඇති කරලා අවුරුද්දයි. ඒ අභ්‍යන්තර වැ‍ටුප් විෂ්මතාව ඇති කළේ මේ ආණ්ඩුවයි. උත්තරයක් නෑ. ඒක පළවැනි කාරණය. දෙවැනි කරුණ තමයි දැන් විද්‍යා පීඨවලට ගුරු ශිෂ්‍යයන් බඳවා ගැනීම සිද්ධ වෙන්නේ ඉතාම ප්‍රමාද වෙලා. සාමාන්‍යයෙන් විද්‍යා පීඨවල අභ්‍යන්තර ගුරු ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් ඉන්න ඕන. සැම විටම (බාහිර සීමාවාසික පුහුණුව ලබන) එක කණ්ඩායමක් ඉන්න ඕන. එතකොට තමයි අර මම මුලින් කිව්ව වාර්ෂිකව විශ්‍රාම ගන්නා ගුරුවරුන් ප්‍රමාණයට වාර්ෂිකව අලුතින් පද්ධතියට පුහුණු ගුරුවරුන් පිරිසක් බිහි වෙන්නේ. දැන් එහෙම නෑ. මේ දිනවල පළවැනි වසර ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. 2023/2024 අ.පො.ස .(උ.පෙ.) විභාගය සමත් අපේක්ෂකයන්ගෙන්. නමුත් ඔවුන් බඳවා ගන්නකොටම දෙවන වසර ශික්ෂණලාභීන් සීමාවාසික පුහුණුව සඳහා විද්‍යා පීඨයෙන් පිට වෙලා යනවා. මේ රජයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හා අදූරදර්ශී බව නිසා ගිය අවුරුද්දේ සීමාවාසික පුහුණුවට යොමු කළ තුන්වැනි වසර ගුරු සිසුන් පිට වෙන්නත් කලින් තවත් කණ්ඩායමක් පාසල්වලට මුදා හරිනවා සීමාවාසික පුහුණුවට. සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වෙලා.


කලක සිට ඔබ සංගමය රජයන්වලට බලපෑම් කරනවා නේද විද්‍යා පීඨ විශ්වවිද්‍යාල කරන්න කියලා.


පසුගිය රජය මේ සඳහා සංකල්ප පත්‍රිකාවකුත් පනතකුත් සම්පාදනය කරලා. එහි මූලික අදියර සඳහා මුදල් ප්‍රතිපාදනත් වෙන් කරලා තිබුණේ. නමුත් මේ රජය ඒකට අවස්ථාව දෙන්නේ නෑ.


වත්මන් ආණ්ඩුව කියන්නේ විද්‍යා පීඨ විශ්වවිද්‍යාල මට්ටම දක්වා යටිතල පහසුකම් කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංවර්ධනය, මුදල් පාලනය වැනි අංශ දියුණු කරන්න ඕන කියලා. ඉදිරි අවුරුදු දෙකතුනේවත් වෙන්නේ නැති වගක් තමයි පේන්නේ.


දැන් ආපහු වෘත්තීය සටන්වලට අවතීර්ණ වෙන්නද හදන්නේ?


ගුණාත්මක ගුරු අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවෙන්න බලය ගත්ත ආණ්ඩුව මාස අට මාර්ග ගත පාඨමාලා ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධි ගත්ත අයට ගුරු සේවයේ II ඊට පත්වීම් දෙන්න මේ ආණ්ඩුව කටයුතු කළා නම් අපි අහන්නේ විද්‍යාපීඨවල ගුරු ශිෂ්‍යයන්ට ඒක දෙන්න බැරි ඇයි. විශේෂම කරුණ තමයි අපි ඇමැතිවරිය සමග සාකච්ඡා පහක් පමණ පැවැත්වූවා. අපේ ප්‍රධාන වෘත්තීය ගැටලු විසඳන්න මැදිහත් වෙන්න කියලා. නරකම දේ තමයි එහෙම කිසිම සූදානමක්වත් නෑ එක ප්‍රශ්නයක්වත් විසඳන්න. ඉතින් අපි ජනාධිපතිතුමාටත් ලිපි ලිව්වා. වැඩක් වුණේ නෑ. දැන් අපි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමි‍ටුව සමග එක්වෙලා රජයේ විධායක නිලධාරීන්ට වන වෘත්තීය ගැටලු විසඳන්න කියන බල කිරීම කරමින් ඉන්නවා.


රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමි‍ටුවේ සාමාජිකත්වය දරන ගුරු අධ්‍යාපනඥයන්ටත් තවත් විධායක සේවා අටකටත් බලපාන නිර්බාධ උසස්වීම් නොලැබීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවෙන් HRC/3511/24 මගින් රජයට නිර්දේශයක් ලබා දී තිබෙනවා නිර්බාධ උසස්වීම් මෙම විධායක සේවා නවයටද ලබා දෙන්න කියලා. නමුත් මේ රජය ඒ මානව හිමිකම් නිර්දේශයත් ක්‍රියාත්මක නොකර සිටීම මගින් පෙනෙන්නේ රජය මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවට ඒවාට වැට බඳින බවකුයි. ඒ නිසා අපි පසුගිය 22,23 දෙදින ජනාධිපතිතුමාට විදුලි පණිවුඩ දහස් ගණනක් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමි‍ටුව විදිහට යැව්වා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සියලු දෙනාම පාහේ මේකට දායක වුණා. රජය නෑසූ කන්ව ඉන්නවා නම් අපට සිද්ධ වෙනවා අකමැත්තෙන් වුවත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන්න.

 

More News..