දිට්වා ආපදාවේ සහන සේවා නාය ගිහින්
03 July 2026 | •සාලිය කුමාර ගුණසේකර
දිට්වා ආපදාවේ සහන සේවා නාය ගිහින්
03 July 2026 | •සාලිය කුමාර ගුණසේකර
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය මෙරටට බලපෑවේ ඉකුත් වසරේ (2025) නොවැම්බර් මස අගදීය. මේ වනවිට ‘දිට්වා’ බලපෑම එල්ලවී මාස හතක් ඉක්මවා ගොස් ඇතත් දිට්වාවෙන් බැට කෑ විශාල පිරිසක් තවමත් සිටින්නේ කුලී ගෙවල්වල හෝ ඥාති නිවාසවලය. නුවරඑළිය, බදුල්ල ආදී ප්‍රදේශවල තවත් පිරිසක් කූඩාරම්වල රැඳී සිටිති. දිට්වාවෙන් බැට කෑ පිරිසට සහන සැලසීම සඳහා රජය විසින් වරින් වර චක්‍රලේඛ, මාර්ගෝපදේශ නිකුත් කළද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අර්බුද ගණනාවක් පවතින බව ආපදාවට පත් ජනතාවට සහන සලසන රාජ්‍ය නිලධාරීහු කියා සිටිති.
සුළි කුණාටුව නිසා තහඩුවක් සුළඟේ ගියත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. නමුත් මේ වනවිට පූර්ණ හානි වූ නිවාස 20,000 කට වැඩි ප්‍රමාණයකින් තවමත් අලුතින් නිවාස ඉදිකර හෝ නිවාස ඉදිකරමින් පවතින්නේ 1,710ක් පමණක් බව ආපදා සහන සේවා නිලධාරීහු පවසති.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අදාළව බිම් මට්ටමේ කටයුතු කරන ග්‍රාම නිලධාරීහු සහ ආපදා සහන සේවා නිලධාරීහු අද වෙද්දී ගැටලු රැසකට මුහුණ පා සිටිති. ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් නොලැබීම, චක්‍රලේඛවල පවතින ගැටලු ආදිය නිසා ඔවුන් මේ වන විට විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමුවීමටද තීරණය කර ඇත.
සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරි වෘත්තිය සංගමයේ සභාපති උපුල් කුමාර කියා සිටින්නේ ක්ෂේත්‍ර රාජකාරිවලට අදාළව ඉන්ධන සඳහා දිනකට රුපියල් 3,000ක පමණ මුදලක් වැය වුවද මාසයකටම දීමනාව ලෙස ලැබෙන්නේ රුපියල් 3,000ක් බවයි.
“දිට්වා සමග ආපදා සහන සැපයීමේ ක්‍රියාවලිය සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබෙනවා. විධිමත් ලෙස චක්‍රලේඛ සකස් නොකිරීම නිසා සහන සේවා ක්‍රියාවලිය අවුල් ජාලයක් බවට පත්වෙලා තිබෙනවා. ආපදා සහන සැපයීමේ ක්‍රියාවලියේ මූලික පුරුක තමයි ආපදා සහන සේවා නිලධාරීන්. ආපදා තත්ත්වයට පසු සියලු කටයුතු සිදු කෙරෙන්නේ ආපදා සහන සැපයීමේ මධ්‍යස්ථානය හරහායි.
දිට්වා සුළි කුණාටුව පෙර සිටම ආපදා සහන සේවා නිලධාරීන්ගේ බරපතළ අඩුවක් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අවම වශයෙන් ආපදා සහන සේවා නිලධාරීන් දෙදෙනකුවත් සිටිය යුතුයි. සමහර කාර්යාලවල එක නිලධාරියෙක්වත් නෑ. මෙය බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
ආපදා සහන සේවා නිලධාරීන්ට දැනට වසර ගණනාවක සිට ඉන්ධන සඳහා මාසයකට ගෙවන්නේ රුපියල් 3,000ක මුදලක්. මේ නිලධාරීන් සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම ආපදා සහන සේවා කටයුතු පිළිබඳව සොයා බැලිය යුතුයි. එක දවසකට ක්ෂේත්‍රයේ යන්න ඉන්ධන සඳහා රුපියල් 3,000 කට වැඩිය වැය වෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ පූර්ණ හානි 22,585ක් තිබෙනවා. මේ නිවාසවල හිටපු අය මේ වෙද්දී ඉන්නේ එක්කෝ කුලී නිවාසයක, ඥාති නිවාසයක හෝ කූඩාරමක. මේ පූර්ණ හානි 22,585න් මේ මොහොත වනවිට අලුතින් නිවාස ඉදිකර හෝ ඉදිකරමින් පවතින්නේ 1,710ක් පමණයි. ප්‍රගතිය සියයට හතයි දශම පහයි හතයි (7.57%)යි. ආපදා සහන සේවා කාර්ය මණ්ඩලය නොමැතිවීම, චක්‍රලේඛවල පවතින ගැටලු, උපදෙස්වල පවතින ගැටලු ආදිය නිසයි මෙවැනි ප්‍රමාදයන් සිදුවී තිබෙන්නේ. දිට්වා ආපදාවෙන් නැවත පදිංචි කිරීමට අදාළව මාර්ගෝපදේශ හතරක් මේ වනවිට නිකුත් කර තිබෙනවා. නිවැරැදි අධ්‍යයනයකින් තොරව පළමු මාර්ගෝපදේශය සකස් නොකිරීම නිසා තමයි මෙලෙස වරින් වර මාර්ගෝපදේශ සකස් කිරීමට සිදුවෙලා තිබෙන්නේ.
අද ලංකාවේ තිබෙන බරපතළම ප්‍රශ්නය තමයි ඉඩම් ප්‍රශ්නය. ලංකාවේ තිබෙනවා සාම්ප්‍රදායික ඉඩම් නීතියක්. ඒ නීතියට බෑ දිට්වාවලින් අවතැන්වූ ජනතාවට ඉඩම් දෙන්න. හැබැයි එය සාකච්ඡා කෙරෙන්නේ නෑ. උදාහරණයක් ලෙස ගත්තොත් අනුරාධපුර බොහොමයක් තිබෙන්නේ ස්වර්ණ භූමි, ජය භූමි ඔප්පු හෝ බලපත්‍ර ඉඩම්. මේ ඉඩම්වලට සින්නක්කර ඔප්පුවක් නැති නිසා ඒවා රජයේ ඉඩම්. රජයේ ඉඩමකට සල්ලි ගෙවන්න රජයකට බෑ. ඒක තමයි නීතිය. දිට්වාවලින් මාස හතකට පසුව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලිපියක් නිකුත් කර තිබෙනවා. එම ලිපිය මගින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර තිබෙනවා නායගිය නිවෙසක් හිමි අයෙක් ජය භූමි, ස්වර්ණ භූමි, බලපත්‍ර ඉඩමක් ගන්න ගියොත් එයාට ඉඩම අයිති කෙනා හිමිකම් ඔප්පුවක් හදලා දෙන්න ඕනෑ කියලා. ඒ කියන්නේ සින්නක්කර ඔප්පුවක් හදලා දෙන්න ඕනෑ. සින්නක්කර ඔප්පුවක් හදන්න කාලයක් ගතවෙනවා.
දුම්රිය රක්ෂිතවල විශාල පිරිසක් පදිංචිව සිටිනවා. මේ රක්ෂිතවල ආපදාවට පත් නිවාසවල අයට දීමනා ගෙවන්න විදිහක් නෑ. මොකද මේ අය අනවසරයෙන් පදිංචිවෙලා ඉන්න නිසා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කළ ලිපියක තියෙනවා දුම්රිය රක්ෂිතවල පදිංචිව සිට බදු ගෙවන අයට අර්ධ හානි නිවාස සඳහා රුපියල් ලක්ෂ පහක වන්දි මුදල ගෙවන්න පුළුවන් කියලා. අනවසරයෙන් ඉන්න අයටත් මෙම ගෙවීම සම්බන්ධව විරෝධයක් නෑ කියලා කියනවා. මේ ලිපියේ අවසානයට තියෙනවා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට පුළුවන් ඒ ඉඩම්වල පදිංචිකරුවන් ඉවත් කරලා අදාළ ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගන්න පුළුවන් කියලා. මේවා ගැටලු සහගත තත්ත්වයන්’’ යැයි ඔහු කීවේය.
මේ අතර ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න කියා සිටින්නේ ආපදා සහන සේවා නිලධාරීන්ට ගෙවන දීමනා දිගින් දිගටම ප්‍රමාදවී තිබෙන බවයි.
“බලධාරීන් දැන් අපේ මානුෂික භාවය අවභාවිත කරන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ. මේ අය දැන් අපිව වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමු කරවනවා වැනි දෙයක් තමයි දැන් පෙනෙන්නට තිබෙන්නේ. අද වෙද්දීත් කඳවුරු තිබෙනවා. මේ ආපදාව වෙද්දී ග්‍රාම නිලධාරීන් ආපදාවට පත් ජනතාවට මුලින්ම කන්න දුන්නේ තමන්ගේ කණකර පවා උකසට තියලා කඩවල්වලින් බඩු අරගෙන. සහන කටයුතුවල නිරත වූ ග්‍රාම නිලධාරීන්ට ලබාදෙන දීමනා වැඩි කළ චක්‍රලේඛ එළියට ගන්න අපිට වර්ජනය කරන්න වුණා. අද වෙද්දීත් ඒ ගෙවීම් ටික දෙන්න රාජ්‍ය තන්ත්‍රය අසමත් වෙලා තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන්ට සත පහක් ගෙවලා නෑ.
පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් අඩු වුණාට තාම ලීටරයක මිල රුපියල් 400 කට වැඩියි. ග්‍රාම නිලධාරීන්ට ඉන්ධන දීමනාව විදිහට මාසයකට ගෙවන්නේ රුපියල් 600යි. ග්‍රාම නිලධාරීන්ට ඉන්ධන දීමනාව ලීටර් 20ක් දෙන්න කියලා අනුමත වෙලා තියෙනවා. මේක අනුමත වුණේ 2023 අවුරුදදේ. දැන් අවුරුදු තුනක් ගත වෙලා. මේක දැන් වැටුප් කොමිසම හමුවට දාලා තියෙනවා. රජය හිතන්නේ ඉන්ධන ගැන විතරයි. වැටුපෙන් සියයට හතළිහක් පනහක් (40% -50%) විතර දැන් ග්‍රාම නිලධාරීන්ට සේවා කටයුතු සඳහා වැය කරන්න වෙලා තියෙනවා. එතකොට අපිට ජීවත් වෙන්න විදිහක් නෑ.
අද වෙද්දී නැවත පදිංචිකිරීම් කරගන්න බැරිවෙලා තියෙනවා. ආපදාවට පත් පිරිසට කියපු විදිහට ගෙවීම් කරන්න බැරිවෙලා තිබෙනවා. ග්‍රාම නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ග ගත්තොත් මොකද වෙන්නේ? ආපදා සහන සේවා කටයුතු ඇන හිටිනවා. මේ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුවත් කර තිබෙනවා’’ යැයි හෙතෙම කීවේය.
කෙසේ නමුත් මෙම සියලු කාරණා නිසා අවසානයේදී පිීඩාවට පත්වීමට සිදුවී ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් බැට කෑ මහජනතාවටය. දිට්වා සුළි කුණාටුව නිසා නිවාස අර්ධ හානි 88,765ක් පමණ වාර්තා වුවත් අර්ධ හානියට අදාළ ගෙවීම් සිදුකර ඇත්තේ තවමත් හානි 36,985කට පමණක් බව ආපදා සහන සේවා නිලධාරීහු සඳහන් කළහ. මෙවැනි තත්ත්වයක් යටතේ ජනතාවට සිදුවී ඇත්තේ කබලෙන් ළිපට වැටීමටය.
දේශපාලනඥයන් විවිධ තීන්දු තීරණ ගත්තද ඒවා ක්‍රියාත්මක විය යුත්තේ බිම් මට්ටමේදීය. එම තීන්දු තීරණවලට අදාළව චක්‍රලේඛ, මාර්ගෝපදේශ සකස් විය යුත්තේද බිම් මට්ටමේ ක්‍රියාත්මක කළ හැකි පරිදිය. නිලධාරීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ සිය ගැටලු කඩිනමින් විසඳා දෙන ලෙසයි. දේශපාලනඥයන් සේම ඉහළ බලධාරීන් ද දැන් කළ යුතු වන්නේ එම ගැටලු පැටළුණු නූල් බෝලයක් බවට පත් නොකර නිසියාකාරව විසඳා දීමය.

