brand logo
logo
 බලපත්‍ර ප්‍රමාදයෙන් දේශීය ආයුර්වේද නිෂ්පාදකයන්ගේ ව්‍යාපාර අනතු​රේ

බලපත්‍ර ප්‍රමාදයෙන් දේශීය ආයුර්වේද නිෂ්පාදකයන්ගේ ව්‍යාපාර අනතු​රේ

30 June 2026 | රණහංසි රණවීර


දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතන සඳහා රජය විසින් වාර්ෂිකව නිකුත් කරන බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදයක් පැවතීම හේතුවෙන් සිය ව්‍යාපාර සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි ආයුර්වේද ඖෂධ හා ආලේපන නිෂ්පාදකයෝ චෝදනා කරති.


පසුගිය වසරේදී ද මෙලෙස බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදයක් පැවැති බවත් ඒ හේතුවෙන් එම වසරේ බලපත්‍ර ලැබු‌ණේ වලංගු කාලය අවසන් වීමට ආසන්නයේ දී බවත් ඔවුහු පෙන්වා දුන්හ.


මේ අතර අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආයුර්වේද ඖෂධ හා ආලේපන නිෂ්පාදකයන් බහුතරයක් මෙම ගැටලුව හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බව පැවසේ. ඒ හේතුවෙන් ව්‍යාපාර සඳහා ලබාගත් බැංකු ණය ගෙවීම මෙන්ම සේවක වැටුප් ගෙවීම පවා දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි එම නිෂ්පාදකයෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.


මේ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස් දීප්ති සුමනසේනගෙන් සිදුකළ විමසීමකදී ඇය කියා සිටියේ නියාමන සභාවක් හරහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකළ නමුත් 2024 වසරේදී ප්‍රකාශයට පත් කළ නව සංශෝධනයන්ට කර්මාන්තකරුවන් සහ අපනයනකරුවන්ගේ දැඩි විරෝධය එල්ලවීම හේතුවෙන් ඇතිවූ නීතිමය ගැටලුවක් මත බලපත්‍ර දීමේදී යම් ප්‍රමාදයක් පැවැති බවයි.


නමුත් නියාමන සභාවක් පැවතීම බලරහිත බවට නීතිපති දැනුම්දීමත් සමග මේ වන විට කැබිනට් අනුමැතිය ලබාගෙන ජුනි මාසයේ මුල සිට තාක්ෂණික කමිටුවක් හරහා බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බවද ඇය පැවසුවාය.


වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද සඳහන් කළාය.


‘‘ඒ අනුව අපට ලැබී තිබෙන ලිපිගොනු අටසීයක පමණ ප්‍රමාණයෙන් මේ වෙද්දි බලපත්‍ර 100-150ත් අතර ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඉතිරි ප්‍රමාණයත් ඉතා ඉක්මනින් දීමට කටයුතු කරනවා. කොහොම නමුත් මාස දෙකක් හෝ තුනක් ගතවෙයි ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න.


දැනට තිබෙන නියෝග මත 2026 වසරට පමණයි දැන් බලපත්‍ර නිකුත් කෙරෙන්නේ. නමුත් අපි මෙම නියෝග සංශෝධනය කරගෙන යනවා. ඒ අනුව දැනට වසරකට පමණක් වලංගු වන ලෙස දෙන බලපත්‍රය ඉදිරියේ දී වසර දෙකක් දක්වා දීර්ඝ කරන්නත් බලාපොරොත්තු වෙනවා.’’


 

More News..