brand logo
logo
සුක්කානම හුරු දෑතට මරුවා ආවේ කොහොමද?

සුක්කානම හුරු දෑතට මරුවා ආවේ කොහොමද?

26 June 2026


ඉකුත් 24 දා අම්පාර කොළඹ ලංගම බස් රථයක සේවය කළ අසංක සංජීව (44) නමැති රියැදුරු මහතෙක් සුක්කානම කරකවමින් සිටියදී මියගියේය. ඒ වනවිට බස්රියේ මගීහු පනස් දෙනෙක් පමණ ගමන් කළහ. රියැදුරු අන්තිම මගියාත් බස් රථයට ගොඩ කරගෙන ගත වූයේ විනාඩි කිහිපයකි. හදිසි හෘදයාබාධය ඔහුට දිවි අහිමි කළේය. සැබවින්ම අප මේ දකිමින් සිටින්නේ සිනමා පටයක ජවනිකාවක්දැයි යන කුකුස ඇතිවන තරමට මෙකී සිදුවීම් විස්මය දනවයි. ඒ එවැනි සිදුවීම් අප බොහෝ විට දැක තිබෙන්නේ සිනමා පටවල හෙයිනි. සිනමා පටවල සියලු ජවනිකා සැබෑ ජීවිතයේදී එසේම වේ යැයි අප කල්පනා කරන්නේ නැත. එහෙත් දැන් සිදුවන දේවල් දෙස බලන විට නම් එසේ නොසිතාද සිටිය නොහැකිය. රියැදුරු මහතා හෘදයාබාධ මාරයාගේ ග්‍රහණයට හසුව ජීවිතයක් මරණයත් අතර සටනක යෙදෙන අතරේ කිසිදු අතුරුආන්තරාවක් නොකර ඔහු විසින් ප්‍රවාහනය කරනු ලැබූ මගීහු බසයෙන් බැස හිස් ලූ ලූ අත දිව ගියෝය. මෙකී කතාව අපට බොහෝ කතා පැහැදිලි කරයි. එක් පැත්තකින් අප මුහුණ පා තිබෙන ඉතා බිහිසුණු සෞඛ්‍ය අර්බුදය කෙබඳු එකක් දැයි එමගින් පැහැදිලි කෙරේ. අනෙක් අතට මනුෂ්‍යත්වය පිළිබඳ සෞඛ්‍යද හොඳටම පිරිහුණු සමාජයක ජීවත්වීමට අපට සිදුව තිබෙන බව එමගින් ඉස්මතු කර තිබේ.


මිනිසකුගේ ජීවිතය මේ ආකාරයට අවසන් විය යුතුද? ඕනෑම මනුස්සයකුට ගෞරවනීය උපතක්, ගෞරවනීය ජීවිතයක් සහ ගෞරවනීය මරණයක් හිමි විය යුතු බව ශිෂ්ට සම්පන්න ලෝකයේ අදහසයි. ජීවිතය වුවද නිවී සැනහිල්ලේ අවසන් කිරීමට මිනිසෙකුට නොව සතෙකුට වුව ඉඩ තිබිය යුතුය. එහෙත් ඒ ඉඩකඩ මිනිසාට අහිමි කරන ප්‍රධාන මාරයා බවට හෘදයාබාධ පත්ව තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඉකුත් වසරේදී හෘදය රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ සඳහන් කර තිබුණේ කොළඹ ජාතික රෝහලට දිනපතා හෘදයාබාධ රෝගීන් එකසිය හැත්තෑවකට අධික පිරිසක් ඇතුළත් කරගන්නා බවය. දැන් එහි ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව නොරහසකි. World Heart Federation හි සංඛ්‍යා ලේඛන අනුව 1990 වසරේ ලෝක හෘදය රෝගීන්ගේ ප්‍රමාණය මිලියන 271කි. එහෙත් 2019 වසරේ එකී ප්‍රමාණය මිලියන 523කි. දෙගුණයක වර්ධනයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන අනුව බෝනොවන රෝගවලින් මිය යන පුද්ගලයන්ගෙන් සියයට තිස් දෙකකට වැඩි පිරිසක් මිය යනුයේ හෘදයාබාධ හේතුවෙනි. එසේම ගෝලීය වශයෙන් මානව මරණවලට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන රෝගාබාධය සේ මෙකී රෝගය හඳුනාගෙන තිබේ.


අපේ සාහිත්‍යයේ පපුව පැළී, ළය මඩල පැළී මියගිය පුද්ගලයන් පිළිබඳ සිදුවීම් ඕනෑතරම් හමු වෙයි. එකල පපුව පැළී, ළය පැළී මිය යාම සුලබ සිදුවීමක් නොවීය. එහෙත් අද එය සුලබය. හෘද රෝගයකු නොමැති තැනැත්තකු හෝ තැනැත්තියකු සොයාගෙන එන්න යැයි යමෙකුට පැවසුවහොත් ඔහුට බොහෝ දුර ගමන් කිරීමට සිදුවනු ඇත. වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට වයස අවුරුදු 20 සහ 40 අතර පුද්ගලයන්ට හෘදයාබාධ වැලඳීම ඉහළ ගොස් තිබේ. එය සැබෑවක්මය. බැලූ බැලූ අත අපට ආරංචි වනුයේ හෘදයාබාධ වැලඳී හිටි හැටියේ මියගිය තරුණ තරුණියන් පිළිබඳ දුක් මුසු කතාය. සමහරුන් සඳහන් කරන ආකාරයට කොවිඩ් -19 වසංගත රෝගයට එරෙහිව එන්නත් කළ බෙහෙත අතුරු ආබාධ ඉහළ යාමට හේතු වී තිබේ. එංගලන්තය වැනි යුරෝපීය රටවල ඒ පිළිබඳ නඩුහබ කියා වන්දි ලබා ගත් රෝගීන් පිළිබඳ වාර්තා ඕනෑ තරම් තිබේ. එහෙත් ලංකාව යනු රෝගීන්ගේ අයිතිවාසිකම් නමැති මාතෘකාවට කිසිදු වටිනාකමක් නොලැබෙන රටකි. අපේ රටේ බොහෝ රෝගීන් කල්පනා කරන්නේ එවැනි අයිතිවාසිකම් යනුවෙන් දෙයක් රෝගීන්ට නොමැති යැයි කියා විය හැකිය. කෙසේ වෙතත් බස් රථ රියැදුරකු බොහෝ විට ආහාර ගනුයේ මග තොටේ කඩවලිනි. ඔවුහු ලුණු අධික ආහාර ගනිති. රාත්‍රියට බෙහෙවින් අනුභව කරනුයේ රයිස් හෝ කොත්තුය. ඒවා ලුණු ආකරය. එසේම පැය පහ හය ඔවුන් බස් රථ ධාවනය කරනුයේ බුලත්විට හපමිනි.


එසේම බස් රථයෙන් බැසගත් විට හෝ ඊට ගොඩවීමට පෙර දුම් වැටි උරා දමති. ඔවුනට හරිහමන් විවේකයක් ද නැත. යළි පසුවදා බස් රථ ධාවනය කළ යුතුය. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ හෘදයාබාධ වලක්වා ගැනීමට නම් ලහිලහියේ ඇවිදිය යුතු බවය. රියැදුරන්ට කුමන ලහිලහියේ ඇවිදීමක්ද? මහා පාරේදී මාරාන්තික තරගයකට මුහුණ පෑමට ඔවුනට සිදුවෙයි. බස් රථ රියැදුරන්ගේ පමණක් නොව රජයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝදෙනාගේ ජීවන රටාව ඉහත සඳහන් කළ ආකාරයේ එකකි. එකී අස්වාභාවික ජීවන රටාවෙහි අනිවාර්ය ප්‍රතිඵලය හෘදයාබාධය. ඉකුත් දිනෙක ආණ්ඩුව පාසල් ළමයින් ගැන කල්පනා කර ඉතාම වැදගත් තීන්දුවක් ගත්තේය. ඒ පාසල් භෝජනාගාරවල ලුණු අධික ආහාර ඇතුළු රෝගවලට අත වනන ආහාරපාන වර්ග අලෙවි කිරීම තහනම් කිරීමය. අපට පෙනෙන පරිදි ආණ්ඩුව පාසල් ළමයින් පිළිබඳ පමණක් නොව රටේ සියලු වැසියන් පිළිබඳ අවධානය යොමුකර ප්‍රමිතියෙන් තොර ආහාර පාන සියල්ල තහනම් කිරීමට පියවර ගත යුතුය. රටේ ආහාර පාන පිළිබඳ ජාතික ප්‍රමිතියක් ඇතිකිරීමට නොපමාව තීන්දු තීරණ ගත යුතුය. එසේ වුවහොත් ආණ්ඩුවට සෞඛ්‍ය සඳහා යන වියදම් හරි අඩකටත් වැඩි ගණනකින් අඩුකර ගත හැකි වනු ඇත. එවැනි තීරණයකට නොපමාව නො එළඹුණහොත් මහමග දී මරු වැලඳ ගන්නා රට වැසියන්ගේ ප්‍රමාණය වේගයෙන් ඉහළ යනු ඇත. එහි ප්‍රබල අවදානමක් තිබෙන බව ලංගම බස් රථ රියැදුරු මහතාගේ මරණයෙන් පැහැදිලි වන බව මතක තබාගත යුතුය.

 

More News..