මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි කියාගෙන එන අයගේ නිල හැඳුනුම්පත පරීක්ෂා කරන්න
25 June 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි කියාගෙන එන අයගේ නිල හැඳුනුම්පත පරීක්ෂා කරන්න
25 June 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෙස පෙනී සිට විවිධ ආයතන මෙන්ම නිවාස හිමියන් පවා නොමග යවමින් අයථා ලෙස මුදල් ගන්නා වංචනික පුද්ගලයන් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි. විශේෂයෙන්ම මේ දිනවල පවතින ඩෙංගු වසංගත තත්ත්වයත් සමග නිවාස හා ආයතන පරීක්ෂා කර, ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා මුවාවෙන් මෙම වංචනිකයන් විවිධ ප්‍රදේශවල ජනතාව රවටා මුදල් ගැනීමේ සිදුවීම් රාශියක් වාර්තා වන බවද එම සංගමය පෙන්වා දෙයි. මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.
මේ දිනවල ඩෙංගු මර්දන රාජකාරීවල යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෙස පෙනී සිටිමින් යම් පිරිසක් අයථා ලෙස මුදල් ඉපැයීමේ ජාවාරමක නියැළෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියලා තිබුණා. මොකක්ද ඒ කතාව?
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් යම් කණ්ඩායමක් අයථා ලෙස මුදල් ඉපැයීමේ කූට ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා. මෙය ඩෙංගු රෝගයේ ව්‍යාප්තියත් සමග කරළියට ආ කූට ව්‍යාපාරයක් නම් නෙවෙයි. වසර කිහිපයක සිටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් වංචනිකයන් පිරිසක් එකතු වෙලා ජනතාවගෙන් වංචනික ලෙස මුදල් ගන්නා ජාවාරමක් තියෙනවා. මෙම ජාවාරම්කරුවන් මේ වන විටත් වංචනික ලෙස කුඩා හා මහා පරිමාණ ව්‍යාපාරවලින් ලක්ෂ ගණන්වලින් මුදල් මංකොල්ල කෑම් ගණනාවක්ම කර ඇති බව අපිට වාර්තා වෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් වංචනිකයන් පිරිසක් වසර ගණනාවක් තිස්සේ ජනතාවගේ මුදල් මංකොල්ලකනවා කියලා ඔබ කියනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද?
අපි මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක්ම පොලිසියට ලිඛිතව දැනුම් දී තිබෙනවා. නමුත් මේ පිරිස තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවෙලා නැහැ. මෙය ඉතාමත් කනගාටු තත්ත්වයක්.
ඒ වංචනිකයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හොයලා බැලුවේ නැද්ද?
අපි මෑත කාලයේදී ආරක්ෂක අංශයේ ඉහළම තනතුරක සිටින එක්තරා පුද්ගලයකු පෞද්ගලිකවම මුණ ගැහිලා මේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් ලිඛිතවම පැමිණිලි කළා. මෙය බන්ධනාගාරගතව සිටින රැඳවූවන් පිරිසක් මෙහෙයවනු ලබන ජාවාරමක් නිසා එය අල්ලා ගැනීම අපහසුයි කියලා ඒ පුද්ගලයා අපිට කිව්වා. පොලිසිය කිව්වෙත් ඒ ටිකම තමයි.
ඔය ජාවාරම බන්ධනාගාර රැඳවූවන්ම මෙහෙයවනවා කියලා හරියටම කියන්නේ කොහොමද?
අපිටත් තියෙන ප්‍රශ්නය ඒකම තමයි. ඔය කියන විදිහට රැඳවූවන් කරන ජාවාරමක් නම්, අපි දුරකථන අංක පවා අදාළ නිලධාරීන්ට ලබාදීලා තියෙනවා නම් ඒ ඔස්සේ හෝ ඒ වංචනිකයන් අල්ලා ගන්න බැරි ඇයි කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. මොකද අපි කළ ලිඛිත පැමිණිලිවල මුදල් ඉල්ලා කථා කළ දුරකථන අංක, මුදල් බැර කරන්න කියලා එවන ගිණුම් අංක ආදී විස්තරත් ලිඛිතව සඳහන් කරලා තියෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් වංචනිකයන් පිරිසක් ජනතාවගෙන් මුදල් මංකොල්ලකෑමේ ජාවාරමක නිරත වී සිටින බව අපි ජනතාවට ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරමු?
ඇත්තටම මේ වංචනිකයන් මෙම වංචාව වැඩිවශයෙන්ම කරන්නේ ව්‍යාපාර ඉලක්ක කර ගනිමිනුයි. ඔවුන් කිසියම් ප්‍රදේශයක පවත්වාගෙන යන වෙළෙඳසලක් සම්බන්ධයෙන් දින කිහිපයක සිටම හොඳින් අධ්‍යයනය කරලා තොරතුරු රැස්කර ගන්නවා. එම වෙළෙඳසලේ දුරකථන අංකය සටහන් කරගෙන අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නමත් සොයා ගන්නවා. වෙළෙඳසලකට දුරකථන ඇමතුමක් දීලා වෙළෙඳ බලපත්‍රය අරගෙන නැහැ කියලා හෝ පරිසර බලපත්‍රය ගන්න කියලා ව්‍යාපාරිකයන්ට දැනුම් දෙනවා. එම බලපත්‍රය දින කීපයක් ඇතුළත ගත්තේ නැතිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කියමින් වෙළෙඳසලේ අයිතිකරු බය කරනවා. දින කිහිපයක් තුළ අදාළ බලපත්‍රය දෙන බව කියමින් ගිණුම් අංකයක් යොමු කරලා එයට මුදල් බැර කරන්න කියනවා. නැතිනම් ඊසී කෑෂ් ක්‍රමයට මුදල් ගැනීමක් කරනවා. මෙම වංචනිකයන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නම පවා සඳහන් කරලා වැඩි විස්තර අවශ්‍යනම් දැන ගන්න කියලත් කියනවා. මේ අන්දමට මොවුන් වංචනික ලෙස ලක්ෂ ගණන්වලින් මුදල් තම ගිණුම්වලට බැරකර ගන්නවා. වසර ගණනාවක් සිටම මේ වංචනික වැඩේ කෙරෙනවා. ව්‍යාපාරිකයන් සහ වෙළෙඳසල් හිමියන් මහාපරිමාණයෙන් මොවුන්ගේ වංචාවට හසුවෙනවා. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් දුරකථනයෙන් කතා කර හෝ පැමිණ බලපත්‍ර නිකුත් කරන බව පවසා මුදල් ඉල්ලා සිටින කිසිම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මුදල් දෙන්න එපා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ට අදාළ බල ප්‍රදේශයේ සියලුම වෙළෙඳසල්, ව්‍යාපාරික ආයතන, කර්මාන්තශාලා ආදියෙහි හිමිකරුවන්ට සහ ජනතාවටත් නිරන්තරයෙන් උපදෙස් දෙනවා.
මොනතරම් දැනුම්වත් කිරීම් කළත් තවමත් ඇතැම් පිරිස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස රඟපාන වංචනිකයන්ට හසුවෙනවනේ?
ඔව් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවශ්‍ය දැනුම්වත් කිරීම් නිරන්තරයෙන් කරද්දිත් බොහෝ දෙනෙක් තවමත් ඒ වංචනිකයන්ට රැවටෙන්නේ ඇයි කියන එක අපිටත් ප්‍රශ්නයක්. මේ වංචනිකයන් ආහාර පනත ගැන පවා හොඳ අධ්‍යනයක් කරලා එන්නේ. එකවරම වෙළෙඳසල් තුළට කඩා පැනලා ව්‍යාපාරිකයන් බය ගැන්වෙන ආකාරයට කතාකරනවා. වෙළෙඳසල්හිමියන් හිටිහැටියේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස වෙළෙඳසල් තුළට කඩා පැනලා ඒ තුළ ඉන්න පිරිස බය ගන්වමින් කතා කරන නිසා වෙළෙඳසල් හිමියනුත් රැවටිලා ඒ වංචනිකයන්ට මුදල් දෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතු සඳහා යන්නේ ඔවුන්ට නියමිත නිල ඇඳුමින් සැරසිලා නේද ?
ඔව්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අඳින්නේ කාකි පාට නිල ඇඳුම. පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සුදු පැහැති නිල ඇඳුමක් අඳිනවා. නිල ඇඳුමේ දකුණු පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නම සඳහන් කරලා තියෙනවා. වම් පැත්තේ සාක්කුවේ නිල ලාංඡනය තියෙනවා. උරහිසේ තිබෙන පටි දෙකෙන් ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ අයෙක්ද නැතිනම් පළාත් පාලන ආයතනයට අනුබද්ධ අයෙක්ද යන වග සඳහන් කරලා තියෙනවා. සමහර වෙලාවට අර මුදල් වංචා කරන පිරිසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් ඇඳගෙන එන බව අපිට වාර්තා වෙනවා. සමහර වංචාකරුවන් සාමාන්‍ය ඇඳුමෙන්ම සැරසිලා එන අවස්ථාත් තියෙනවා.
ඒ නිසා නිල ඇඳුම දුටු සැණින් මේ පුද්ගලයා මහජන පරීක්ෂකවරයෙක්මයි කියලා රැවටෙන්න එපා කියලා අපි ජනතාවට මතක් කරනවා.
එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව හරියටම හඳුනාගන්නෙ කොහොමද ?
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයන්ට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ පළාත් පාලන ආයතනය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කරලා තියෙනවා. තම පරිශ්‍රයට හෝ වෙළෙඳසලට ඇතුළු වීමට පෙර ඒ එන පුද්ගලයා ළඟ අදාළ නිල හැඳුනුම්පත තිබෙනවාද කියලා පරීක්ෂා කරන්න කියලා අපි ජනතාවට මතක් කරනවා.
සූක්ෂ්මව ජනතාවගේ මුදල් මංකොල්ලකන ජාවාරම්කරුවන්ට ව්‍යාජ හැඳුනුම්පතක් හදාගන්න එක මහලොකු දෙයක් නොවෙයිනේ?
ඔව්. සමහර වෙලාවට ඒ ජාවාරම්කරුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හැඳුනුම්පතට සමාන හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස සකස් කරගෙන තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් යැයි කියමින් කවුරුන් හෝ තම ආයතන පරිශ්‍රයට හෝ ව්‍යාපාරික ස්ථානයට ඇතුල් වෙන්න උත්සාහ කරනවා නම් තමන්ගේ ප්‍රදේශයට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් දීලා ඒ බව සනාථ කර ගන්න එකයි හොඳම දේ. මේ ගැන අපි නිරන්තරයෙන් සියලු දෙනාම දැනුම්වත් කරනවා. එහෙම දැනුම්වත් කර තිබියදීත් තවමත් සමහරු වංචනිකයන්ට අහුවෙන එකයි කනගාටුව.
රට පුරා ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන මොහොතක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාව දැනුම්වත් කරමින් විශාල කාර්යභාරයක් කරනවා අපි දකිනවා. ඒත් කිහිපදෙනෙක් කරන වංචනික වැඩ නිසා සැබෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න
වෙනවා නේද?
අනිවාර්යයයෙන්ම. මේ වගේ අවස්ථාවක වංචනිකයන්ට තවත් සංවිධානාත්මකව ජනතාව රවට්ටන්න අහනවාවෙන්න පුළුවන්. ඇත්තටම දැනටත් එවැනි දේවල් වෙන බවට අපට තොරතුරු ලැබිලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි කියාගෙන පැමිණෙන පුද්ගලයන්ව තම පරිශ්‍රයට ඇතුළු කරගැනීමට පෙර ඔවුන්ගේ නිල හැඳුනුම්පත පරීක්ෂා කරන්න කියලා අපි ජනතාවට නැවත මතක් කරනවා. යම් හේතුවකින් දඩ මුදලක් ගැනීමට ඔවුන් කටයුතු කළොත් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැනුම්වත් කරන්න. මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දඩ මුදලක් නියම කළත් ඒ මුදල ගෙවිය යුත්තේ අදාළ පළාත් පාලන ආයතනය වෙත ගොස් හෝ උසාවියේදීයි. එහෙම නැතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මොනම අවස්ථාවකදීවත් පෞද්ගලිකව මුදල් ගැනීමක් කරන්නේ නැහැ. ඒ නිසා වංචනික පුද්ගලයන්ට නිකරුණේ මුදල් දෙන්න එපා. ඒ ගැන වඩාත් සැලකිල්ලෙන් ඉන්න කියලයි අපි ජනතාවට කියන්නේ.

