brand logo
logo
 වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් දින 8කට පසු පුද්ගලයෙකු බේරා ගනී

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් දින 8කට පසු පුද්ගලයෙකු බේරා ගනී

02 July 2026


වෙනිසියුලාවට ඉකුත් ජුනි 24 බලපෑ දරුණු භූමිකම්පාවෙන් පසු, කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් (08) තිස්සේ සිරවී සිටි පුද්ගලයෙකු පණපිටින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.


ටොන් ගණනක් බරැති සුන්බුන් යට මෙම පුද්ගලයා ජීවතුන් අතර සිටින බව සහන කණ්ඩායම් මුලින්ම හඳුනාගෙන ඇති අතර, ඔහුව ආරක්ෂිතව පිටතට ගැනීමට පමණක් පැය 100කට වඩා වැඩි කාලයක් ගතවී ඇත.


ගලවාගැනීමේ නිලධාරීන් ඔහු වෙත ළඟා වීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම, කඩාවැටුණු ගොඩනැගිල්ලේ ඉතිරි කොටස් ද යළි යළිත් කඩා වැටීම හේතුවෙන් මෙම මෙහෙයුම දැඩි අවදානම් සහගත මෙන්ම අතිශය දුෂ්කර එකක් බවට පත්ව තිබුණි.


සිය ගණනක් වූ දෙස් විදෙස් සහන කණ්ඩායම් දිවා රෑ නොබලා සිදුකළ මෙම සෝදිසි මෙහෙයුම සඳහා ලෝකයේ සෙසු රටවල් රැසක සහයෝගය ද හිමිවිය. 


ඒ අනුව මෙම පුද්ගලයා මුදාගැනීමේ විශේෂ මෙහෙයුමට චිලී රාජ්‍යය, කොස්ටාරිකාව, එල් සැල්වදෝරය, මෙක්සිකෝව, පෘතුගාලය, එක්සත් ජනපදය සක්‍රීයව දායකත්වය ලබා දී ඇත.


මෙම ද්විත්ව භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 2,300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ. තවමත් දස දහස් ගණනක් අතුරුදහන්ව ඇති අතර, ඔවුන් සොයා සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මකය.

 

More News..