brand logo
logo
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920ක් දක්වා ඉහළට

27 June 2026


වෙනිසියුලාවට ඇතිවූ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් පසු අද (27) දිනයේදී නැවතත් තවත් භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ.


ඒ අනුව රික්ටර් මාපකයේ 4.9ක අගයක් ගෙන ඇති මෙම භූකම්පන තත්ත්වය ද උතුරු වෙරළ තීරය ආශ්‍රිතව හටගෙන ඇති බවත් සඳහන් වේ.


පසුගිය බදාදා දින වෙනිසියුලාවට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් දරුණු භූ කම්පන තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.


එම භූ කම්පන තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 900කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ඒ අනුව මේ වන විට පසුගිය බදාදා දින සිදුවූ භූකම්පනයෙන් මරණ 920ක් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය අනාවරණය කර ඇති අතර භූකම්පනයෙන් තවත් පුද්ගලයින් 243 දෙනෙකු බේරාගෙන ඇතැයිද එහි සඳහන් වේ.


මෙම භූකම්පනවලින් පුද්ගලයින් 3,360කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වේ.


පසුගිය බදාදා ඇති වූ මෙම භූකම්පන තත්ත්වවලින් එරට කැරකස් අගනුවර ඇතුළු උතුරු ප්‍රදේශයේ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර තුවාල ලැබූවන් තාවකාලික වෛද්‍ය පහසුකම් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.


භූකම්පන තත්ත්වයෙන් පසු තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර එම පිරිස සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ද දියත්වේ.


මේ අතර භූකම්පනවලින් ගලවා ගැනීමේ කටයුතු සහ සෝදිසි මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර ගලවා ගැනීමේ සේවකයින් රැසක්ද වෙනිසියුලාවට පැමිණ තිබේ.


එමෙන්ම ඇතිවූ මුල් භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන 214ක් සිදුව ඇති බවත් සඳහන් වේ.


භූකම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එරට අගනුවරට උතුරින් පිහිටි ලා ගුවයිරා ප්‍රදේශයටය.


මේ අතර වාර්තාවනුයේ ගලවා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බැවින් ඇතැම්විට මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය.


මෙම තත්ත්වයෙන් පසු එරට යටිතල පහසුකම් සපයන ස්ථාන 1,000කට අධික පිරිසකට හානි සිදුව ඇති බවත් තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර ඇත.

 

More News..